Main Logo

Monday 11 March 2024

රෝයල් තෝමියන් කතා

 

රෝයල් තෝමියන් කතා

 

 

පහුගිය දා රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය 145 වැනි වතාවටත් පැවැත්වුවා. එහි දී රනිල් වික්‍රමසිංහ වදකහ සුදිය බයිලාව ගායනා කරනු ඡායාරූපයේ දැක්වෙනවා. රනිල් කොහොමත් කියන්නෙ බයිලා වෙන්න පුළුවන්. ඒත් මේ බයිලා ගැන නොවෙයි. රාජකීය ශාන්ත තෝමස් විදුහල් ගැන.

 

පළමුව රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය ගැන. එය ලෝකයේ දෙවැනි පැරණි පාසල් ක්‍රිකට් තරගය. එය පටන්ගෙන තියෙන්නෙ 1880. ඊට කලින් 1878 දි ඇඩිලේඩ් නුවර ඇල්ෆ්‍රඩ් කුමාර විද්‍යාලය (Prince Alfred College) හා ශාන්ත පීටර විද්‍යාලය අතර ක්‍රිකට් තරගය පටන් ගෙන තියෙනවා. ඕස්ත්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඉයන් චැපල් හා ග්‍රෙග් චැපල් සහෝදරයන් ඇල්ෆ්‍රඩ් කුමාර විද්‍යාලයට ක්‍රීඩා කර තියෙනවා. ඇඩිලේඩ් තරගය පැරණිතම තරගය වුණත් එය නොකඩවා පවත්වා නැහැ. රාජකීය ශාන්ත තෝමස් තරගය 1880 සිට නොකඩවා පැවැත්වෙනවා. ප්‍රභූ පාසල් එංගලන්තයේ ඕස්ත්‍රේලියාවේ හා වෙනත් රටවලත් තියෙනවා.

 

රාජකීය විද්‍යාලය ආරම්භ කර ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාව. 1835 දී හිල් ස්ට්‍රීට් පාසල ලෙස. පසුව එය කොළඹ ඇකඩමිය ලෙස පවත්වා ගෙන ගොස් තියෙනවා. ඉන් පසු එංගලන්තයේ රජුගේ රාජාඥාවක් මගින් පාසල රාජකීය විදුහල ලෙස නම් කර තියෙනවා. එය ලංකාවේ ඉහළ ප්‍රභූ පාසල ලෙස පවත්වාගෙන ගොස් තියෙනවා. එකල මෙරට ඉහළ ප්‍රභූ පවුල්වල පුතුන් ඉගෙන ගත්තේ රාජකීය විදුහලේ. එංගලන්ත ආණ්ඩුවේ පාසලක් ලෙස වෙනත් ආගම්වල දරුවන්ටත් පාසල විවෘත වූ නමුත් එහි වැඩියෙන් උගත්තේ ඇංග්ලිකන් ප්‍රභූ දරුවන්.

 

ශාන්ත තෝමස් විදුහල පටන් ගෙන ඇත්තේ 1851 දී කොළඹ ඇංග්ලිකන් ක්‍රිස්තියානි බිෂොප්තුමා. එය අදත් පෞද්ගලික ඇංග්ලිකන් ක්‍රිස්තියානි  පාසලක්. රාජකීය ශාන්ත තෝමස් විදුහල් එංගලන්තයේ ඊට්න් විදුහල අනුකරණය කරමින් පටන් ගෙන ඇත්තේ. මේ පාසල් දෙක අදත් ප්‍රභූ පාසල් ලෙස සැලකෙනවා. මෙරට රාජ්‍ය නායකයන් වූ ඩී එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, එස් ඩව් ආර් ඩී බණ්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ මේ පාසල් දෙකේ ආදි ශිෂ්‍යයන්. එමෙන් එන් එම් පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර් සිල්වා පාසල් දෙකේ ආදි ශිෂ්‍යයන්. අනගාරික ධර්මපාලතුමා පාසල් දෙකේ ඉගෙනුම ලබා තියෙනවා. 

 

මේ අය අතරින් බණ්ඩාරනායක, ජේ ආර්, ලෙස්ලි හා රනිල් හැරෙන්න අනෙක් අය සිංහල බෞද්ධ පවුල්වල උපත ලැබූ අය. රනිල්ගෙ මව බෞද්ධ පියා ක්‍රිස්තියානි. සේනානායකලාත් කලකට පෙර ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඩී එස් ශාන්ත තෝමස් විදුහලේ උගත් අතර ඔහුගෙ වැඩිමහල් සොහොයුරු එෆ් ආර් රාජකීය විදුහලේ ඉගෙනීම ලැබුවා. එෆ් ආර්ගෙ පුතා අර් ජී (රිචඩ් ගෝඨාභය) උගත්තෙත් රාජකීය විදුහලේ. ආර් ජී හා ජේ ආර් දේශපාලන විරුද්ධවාදීන්. ආර් ජී ජාතිකවාදියෙක්. මාර්ටින් වික්‍රමසිංහත් මහින්ද රාජපක්‍ෂත් තම පුතුන් ශාන්ත තෝමස් විදුහලට ඇතුල් කළා.

 

මා කියන්න යන්නේ රාජකීය හා ශාන්ත තෝමස් විදුහල් අතර වෙනස. මා ඉඳහිට කියන කතාවක් නැවතත් කියන්නම්. මා හතේ අටේ පංතිවල උගන්නා අවධියේ පාණදුරේ ප්‍රදේශයේ අර්ධ ප්‍රභූවරයකු වූ පියා මා සමග පාණදුරේ ප්‍රභූවරයකු හමු වීමට ගියා. ප්‍රභූවරයා පියා සමග කතා කරන අතර මගෙන් ඇහුවා මොන පාසලට යන්නෙ කියා. මා රාජකීය විදුහලට යන බව කී විට ඔහු කීවේ තමා මුල දී රාජකීය විදුහලේ ඉගෙන ගත් නමුත් එහි රශ්නය වැඩි නිසා ශාන්ත තෝමස් විදුහලට ඇතුල් වූ බවයි. ඔහු එයින් කිවුවේ රාජකීය විදුහලේ එකල ප්‍රභූත්වය ඉතා අධික බවත් ප්‍රාදේශීය බෞද්ධ ප්‍රභූන් වූ ඔවුන්ට කොළඹ ඇංග්ලිකන් ප්‍රභූත්වය  ඔරොත්තු නෙදුන් බවත් බව මට පසු කලෙක වැටහුණා.

 

මට මේ කතාව මතක් වුණේ රනිල්ගෙ බයිලා අහලා නොවෙයි. සිංහල බෞද්ධයන් තවමත් දෙවැනි පෙළේ බව ගෝඨාභය රාජපක්‍ෂ කී කතාව නිසා. මට හිතෙන විධියට ශාන්ත තෝමස් විදුහල විශේෂයෙන් ප්‍රාදේශීය ප්‍රභූන් සඳහා ඇති කළ පාසලක්. එහි සිංහල බෞද්ධ ප්‍රාදේශීය ප්‍රභූන්ගේ දරුවන්ට රාජකීය විදුහලේ තිබූ සැලකිල්ලට වැඩි සැලකිල්ලක් ලැබුණා කියා හිතන්න පුළුවන්. සේනානායකලා මීරිගම ප්‍රභූන්.

 

කුමාරි සොයිසා ජයවර්ධන ලියා ඇති ලොක්කන් වූ සොක්කන් ගැන හිතන විටත් මේ කතාව කියැවෙනවා. මේ ලොක්කන් වූ සොක්කන් බොහොමයක් සිංහල බෞද්ධ. ඔවුන් බොහෝ දෙනකු ශාන්ත තෝමස් විදුහලේ උගත් අය. මෙහි ව්‍යතිරේක තියෙනවා. සමාජයීය විද්‍යා භෞතික විද්‍යාව වගේ නො වෙයි. භෞතික විද්‍යාවෙත් ව්‍යතිරේක නැතුවා නො වෙයි. එකල සිංහල බෞද්ධයන් අදටත් වඩා සොක්කන්.

 

අනගාරික ධර්මපාලතුමා එෆ් ආර් සේනානායක වැනි අය සොක්කන් ලොක්කන් කිරීමේ මූලික කටයුතු කළ අය. එෆ් අර් සේනානායක අමද්‍යප ව්‍යාපාරය මගින් මෙරට දේශපාලනයේ සිංහල බෞද්ධ නායකත්වයක් සනිටුහන් කළා. ඔහු දෙමළ වෙල්ලාල නායකත්වයට අභියෝග කළා. දෙමළ වෙල්ලාල ප්‍රභූ නායකයන් ඉතා වැඩි දෙනකු උගත්තේත් රාජකීය විදුහලේ.

 

රාජකීය විදුහලේ ප්‍රභූත්වය නිදහස් අධ්‍යාපනයත් සමග ශාන්ත තෝමස් ප්‍රභූත්වයට වඩා පහතට වැටුනා. මා වැනි ප්‍රාදේශීය අර්ධ ප්‍රභූවරුන්ගේ දරුවන්ටත් රාජකීය විදුහලට ඇතුල්වීමට ලැබුණා. එහෙත් තවමත් රාජකීය විදුහලේ ප්‍රභූත්වය බෞද්ධ කියන පාසල්වල ප්‍රභූත්වයට වඩා තරමක් ඉහළයි. මා එය කියන්නේ අගෞරවයකට නොව අප කර ඇත්තේ බෞද්ධ රාජකීය විදුහල් ඇති කර ගැනීම පමණක් බව කීමටයි. ආනන්ද නාලන්ද විදුහල්වල ඉගෙන ගත් මා දන්නා පියවරුන් තම පුතුන් රාජකීය විදුහලට ඇතුල් කර තියෙනවා. ගුණදාස අමරසේකරත් ඉන් එක් අයෙක්. එය ඔහුගේ වරදක් නොව රටේ පවත්නා ප්‍රභූ මිනුම් දණ්ඩ නිසා වූ දෙයක්. එය ඔහුට පමණක් සීමා වූවක් නො වෙයි. පහේ ශිෂ්‍යත්වයෙන් සුසුදුකම් ලබන දරුවන්ගේ පියවරුන්ගේ අභිලාෂය බව ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණූවලින් පෙන්නුම් කරනවා.