ගණනාත්ගේ නොනිමි ව්යාපෘතිය
බුදුදහම (ඉතිහාසය) පාවාදිම මැයෙන් ලියූ කෙටි සටගන බොහෝ දෙනකු අතරට ගිහින් තිබුණා. මට අවශ්ය වුණේ ඊනියා ජාත්යන්තර කීර්තියට පත් වූ සමාජ විද්යාඥයන් මානව විද්යාඥයන් සිංහල බෞද්ධ විරෝධීන් බව කීමටයි. ජෙප්පන් හා ජෙප්පියන්ට පුළුවන් මා ලියන දේට හිනහ වෙන්න පමණයි. සෙප්පන්ටත් එහෙමයි. බුදුහාමුදුරුවන්ට වඩා ජෙපි සෙපි නායකයන්ට සලකන හාමුදුරුවරුන්ටත් පුළුවන් නාථ දෙවියන්ට සමච්චල් කිරීම පමණයි. ඒ හාමුදුරුවරුන්ට අනුව නාථ දෙවියන් එනම් මතු බුදුවන මෛත්රී බෝසාතාණන් වහන්සේ ජෙපි සෙපි නායකයන්ට බොහොම පහතින් ඉන්නෙ.
එක් ජෙප්පියක් ද කොහෙ ද මගේ වරදක් හොයා ගන්න ගිහින් හිතල මා බුදුදහම හා ඉතිහාසය එකක් ලෙස සලකනවා කියලා. එහි ඉතිහාසය යන්න වරහන් ඇතුළෙ දැම්මෙ බුදුදහමට ඉතිහාසය යන්න පර්යාය පදයක් හැටියට කියන්න නො වෙයි. හාවඩ් විද්යාර්ථියා බුදුදහම පාවා දෙන විට ප්රින්ස්ටන් විද්යාර්ථියා ඉතිහාසය පාවා දෙන බව කියන්නයි. ජෙප්පන් හිතනවා නම් මා ඉතිහාසය බුදුදහම හා සාහිත්යය අතර වෙනස දන්නෙ නැහැ කියා ඔවුන්ට මෝදිදාස් සරණයි.
තවත් පඬි නැට්ටකු කියා තිබුණා මා ලියන්නේ ද මට ඇති කීර්තියක් මත පදනම් වෙමින් කියා. මට ඇති කීර්තිය ඔය ප්රතිචාර කියවීමෙන් දැන ගන්න පුළුවන්. පඬි නැට්ටන්ට ජෙප්පන්ට සෙප්පන්ට හා ඔවුන්ගේ ස්ත්රී ලිංගිකයන්ට මා විහිළුකරුවකු මෝඩයකු මිථ්යා මතධාරියකු මහල්ලකු මැන්ටලයක් හා එවැනි තවත් දේ පමණයි.
මා කතා කරන්නේ ගණනාත් ඔබේසේකර හා ඔහුගේ නවතම කෘතිය ගැනයි. මා ඔහුවත් ස්ටැන්ලි තම්බයියා මෙන්වත් ඊනියා ජාත්යන්තර කීර්තියට පත් විද්වතකු නො වෙයි. මා විද්යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයකු පමණයි. මා මානව විද්යාව තබා ගණිතය හා භෞතික විද්යාවවත් දත් අයකු නො වෙයි. මට මහාචාර්ය පදවියක් නම් ලැබුණු බව සෑබෑව. ඒකත් හැට පැන්නට පස්සෙ.
මට ජාත්යන්තර තියා ජාතික සම්මානයක්වත් ලැබී නැහැ. මගේ ලෝකය ග්රන්ථ ප්රකාශන මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවෙ වයි කරුණාදාස එය නුසුදුසු ග්රන්ථයක් කියා නිර්දේශ කළෙ නැහැ. ඔහු බෞද්ධ දර්ශනය දත් ඉහළ ම විද්වතෙක්. අදත් බොහෝ දෙනා මා බුදුදහම ගැන කියන දේ ප්රතික්ෂෙප කරනවා. මට තේරෙන විධියට මහායානිකයන් බුදුදහම විඥානවාදයක් කරලා. අප එය භෞතිකවාදයක් කරලා. මා දන්නා බුදුදහම විඥානවාදයක්වත් භෞතිකවාදයක්වත් නො වෙයි. විිඥානවාදයක් භෞතිකවාදයක් යන දෙකෙන් එකක් වෙන්න ඕන ආසියාවෙ මහා දාර්ශනිකයන් ලොකුවට කියන ඇරිස්ටෝටලීය ද්වයංගී (binary) ක්රමය අනුවයි.
ඒ කොයි හැටි වෙතත් මෙරට මට පිළිගැනීමක් නැතත් මා ප්රතික්ෂෙප වුණත් මට හිතෙන දේ මා කියනවා. ගණනාත් ඔබේසේකර ගැනත් එසේමයි. ස්ටැන්ලි තම්බයියාට නම් විරුද්ධ ව මා බුදුදහම පාවාදීම නමින් පොත් පිංචක් ද පළ කළා. ඔබේසේකර ගැන කතාව ඈදණේ සුමේධ වීරවර්ධන කළ කතාවක් නිසා. ඒ කතාවට අද සම්පූර්ණ වශයෙන් පුරාවිද්යා හා උරුම අධ්යයතන ආයතනයේ වෙබ් අඩවියෙන් සවන් දෙන්න පුළුවන්. තම්බයියාගේ අදාළ පොත මා කියෙවුවත් ඔබේසේකරගෙ පොත් නම් කියවල නැහැ. මෙහි දී මා පදනම් වෙන්නෙ සුමේධගෙ කතාව මත.
මා දැක්කා සුමේධට මහා විද්වත් විශේෂඥයන් පරිභව කරල තියෙනවා. ඔවුන් ඉතා සරල ව කිවුවොත් අහන්නෙ ඔබේසේකරට අභියෝග කරන්න තරම් සුමේධ කවුද කියා. සුමේධගේ ඉංගිරිසි දැනුම කවරේ ද? ඔබේසේකර පළමු උපාධියට ඉංගිරිසි විෂය හදාරා ඇතිවා පමණක් නොව ව්යක්ත ඉංගිරිසියෙන් ලියන්නෙක්. සුමේධගේ ඉංගිරිසි දැනුම ගැන මා දන්නේ නැහැ. මගේ නම් ඉංගිරිසි එතරම් හොඳ නැහැ. මට ටිකක් හරි පුළුවන් සිංහල පමණයි.
මෙරට ප්රශ්නය ම මෙයයි. අද ලෝකයේ දැනුම් ආධිපත්යය ඇත්තේ ඇංග්ලිකන් ක්රිස්තියානින් ප්රධාන බටහිරයන්ට මෙන් ම මෙරට දැනුම් ආධිපත්යය ඇත්තේ බටහිර ඊනියා විධික්රම හා දැනුම පුනරුච්චාරණය කරන ඉංගිරිසි උගතුන්ට. සුමේධ ඉතා දක්ෂ ලෙස මූලාශ්ර ගෙනහැර දක්වමින් ගණනාත් මතය බිඳහෙළනවා. සුමේධ මූලාශ්ර දක්වා නැතැයි කියන අයට ඔහුගෙ කතාවට සවන් දීමෙන් මූලාශ්ර දැන ගන්න පුළුවන්.
මෙයට පෙර බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ කථිකාචාර්යවරයකු වූ ද පුරාවිද්යාඥයකු වූ ද ඉෂංක මල්සිරි දුටුගැමුණුගේ හෘදය ශාක්ෂිය නමින් පොතක් ලියා ඔබේසේකර මත ඛණ්ඩනය කළා. එහෙත් මෙරට ඉංගිරිසි උගතුන් ඔහුට නිසි පිළිගැනීමක් ලබා දුන්නේ නැහැ. සුමේධටත් එහෙමයි. මා ඔවුන් දෙදෙනා ගැන ලිවීමෙන් ඔවුන්ට යහපතක් නොවන බව මා දන්නවා. ඒත් මේ වෙලාවෙ ඒ නොකර බැහැ.
ඔබේසේකරගේ ඊනියා විධික්රමය හා තර්ක මොනවා ද? මට පේන විධියට ඔහු තර්ක කරන්නේ නීතිඥයකු මෙන්. එහෙත් දක්ෂ නීතිඥයකු ලෙස නො වෙයි. ඔහුට යම් මතයක් තියෙනවා. ඔහු ඒ බව සනාථ කිරීමට කරුණු හා තරක ඉදිරිපත් කරනවා. තම්බයියා කෙළෙත් එයමයි. අනෙක පැත්තට ඇති කරුණු ඔවුන් සලකන්නේ නැහැ. මූලාශ්ර කියා පෙන්වන්නේ තම මතයට ගැලපෙන දේ පමණයි. බටහිරත් බොහෝ දෙනා කරන්නේ එයමයි. භෞතික විද්යාවේ මා ඒ බව අත්දැක තියෙනවා.
සුමේධ දෙපැත්තට ම අදාළ කරුණු දක්වා නිගමනයකට එනවා. ඔහූ අනුගමනය කරන්නෙ මට තේරෙන විධියට රාජවල්ලියෙ ක්රමය. මා කලින් ලිපියේ සඳහන් කළාක් මෙන නායක්කාර් වාංශිකයන් ඊට පෙර මෙරටට පැමිණි විවිධ වාංශිකයන් අනුගමනය කළේ නැහැ. ඔවුන් රටේ සංස්කෘතියට අවශෝෂණය වුණේ නැහැ. ඔවුන් තම හින්දු සංස්කෘතිය අතහැරියේ නැහැ. නමට බෞද්ධයන් වුණාා පමණයි. ඒ මිනිසුන් රැවටීමට. අදත් ඇතැම් දේශපාලනශයන් තම ඇංග්ලිකන් ක්රිස්තියානිය අත් නොහැර නමට බෞද්ධයන් වෙනවා.
ශ්රී වික්රම පිළිමතලාවේ විසින් රජකමට පත්කරනු ලැබූ කන්නසාමි. ඔහු මුල දී සිංහලකමට හොඳට වැඩ කරලා තියෙනවා. ඉංගිරිසින්ට විරුද්ධ ව සාර්ථක ව සටන් කරල තියෙනවා. අදත් බොහෝ දෙනා ශ්රී වික්රමට කැමති එනිසයි. එහෙත් පසුව ඔහු තම සංස්කෘතියට ආපසු ගිහින් තියෙනවා. ඒ ඇයි ද කියන එක පැහැදිලි නැහැ. ඔහුට නෑයන්ගේ බලපෑමට ඔරොත්තු දෙන්න බැරි වුණා ද? රජකම තහවුරු කර ගැනීමට නෑදෑයන් අවශ්ය වුණා ද? කෙසේ නමුත් ඔහු මොන පැත්තේ හිටියත් කෘරකමින් නම් අඩුවක් වෙලා නැහැ.
ඔබේසේකර නොනිමි ව්යාපෘතියක් ගැන කියනවා. ඒ මොකක් ද? ඔහු හදිසියේ අධිරාජ්ය විරෝධියකු වී නැහැ. ඔහු සිංහල බෞද්ධ විරෝධී ව සිටිමින් බටහිර පාලකයන් තරමක් කොනිත්තනවා. ඉන් ඔහුට බටහිරයන් අතර තවත් පිළිගැනීමක් ලැබෙනවා. බටහිරයන්ට ඉන් කිසිවක් දැනෙන්නේ නැහැ. බටහිරත් එවැනි කොනිත්තන් ඉන්නවා. ඔහු දිගට ම සිංහල බෞද්ධ ජාතික බලවේගයට පහර දෙනවා. සුමංගල හිමියන් බටුවන්තුඩාවේ පඬිතුමන් වැනි සිංහල බෞද්ධ සංස්කෘතියට මහඟු සේවයක් කළ උතුමනට ඉංගිරිසින්ට සේවය කළ අය කියමින් පහර දෙනවා. ඔහුගේ මූලික අවශ්යතාව ඩොයිලිට පහර දීම නොව සිංහල බෞද්ධ ජාතික බලවේගයේ නායකයන්ට පහර දීමයි.