Main Logo

Wednesday 20 March 2024

වඩුන්නාගල පාර්ලිමේන්තුවේ

 

වඩුන්නාගල පාර්ලිමේන්තුවේ

 

දෙමළ වෙල්ලාල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අඩව්වක් අල්ලලා. ඔවුන් තමන්ට බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ ශිවලිංග සහිත හින්දු කෝවිල් ඉදි කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීමට විරුද්ධ කතානායක ඉදිරියේ විරෝධය දක්වලා. සජිත් ප්‍රේමදාසත් මන්ත්‍රීවරුන්ට එකතු වෙලා. මා හිතන්නෙ නැහැ ඔහුගේ පියාණන් එවැන්නක් කරාවි කියා. මාලිමාව ගැන මුනිවත රකින්නේ උතුර දකුණ හොයා ගැනීමට බැරි වීම නිසා.

 

මෙරට නොවෙයි ලෝකයේ කොහේවත් ජාතිය කියා දෙයක් නැති බව කියන බටහිර පඬියන් ඉන්නවා. ඒක අහුලගත්ත පඬිනැට්ටන් වලිගෙ වනනවා. සිංහල ජාතිකත්වය මිථ්‍යාවක් ලෙස ඔවුන්ට පේනවා. එහෙත් දෙමළ ජනයාට සිදූ වී ඇති අසාධාරණයක් ගැන ඔවුන් අවුරුදු හතළිහකටත් වැඩි කාලයක් කතා කරනවා. දෙමළ ජාතියේ ස්වයං නිර්ණ අයිතියක් ගැන කියවනවා. මාත් කාලයක් වල්මත් වී සිටි අවධියේ මාක්ස්වාදී (ට්‍රොට්ස්කිවාදී) බහුබූත කී දවස්වල ඔය කතා කිවුවා. එහෙත් දැනට අවුරුදු හතළිහකටත් ඉහත ප්‍රසිද්ධියේ බහුබුත සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂෙප කර මාක්ස්වාදයෙන් කැඩී වෙන් වුණා. දැන් මා බුදුන් වහන්සේ පෙන්වූ මගේ යනවා. එහෙත් ඇතැමුන් මෙන් මා අහන්නේ නැහැ සිදුහත් තවුසාණන් ආළාර කාළාමලා උද්දකාරාමපුත්‍රලා කරා ගියේ ඇයි කියලවත් දුෂ්කරක්‍රියා කෙළේ ඇයි කියලවත්.

 

අද මෙරට ඇත්තේ ජාතික හා බටහිර නිර්මාක්ස්වාදී දේශපාලන පමණයි. කලක් තිස්සේ වමක් බදාගෙන සිටි වමාලා අද වම ප්‍රතික්‍ෂෙප කරන්නේ පශ්චාත්නූතනවාදය පශ්චාත් මාක්ස්වාදය සමගින්. ඔවුන්ට අද ඇති එක දේශපාලනය සිංහල බෞද්ධ විරෝධී වීම පමණයි. ඔවුන් සඳහා මාලිමාව තෝරා ගෙන. ඔවුන්ගේ තෝරා ගැනීම නම් නිවැරදියි.

 

වඩුන්නාගල බෞද්ධ සිද්ධස්ථානය රනිල්ට නම් ප්‍රදීපාගාරයක් (ලයිට් හවුස්) වෙන්න පුළුවන්. දෙමළ වෙල්ලාලයන් කරන්නේ තමන් පාගා ගෙන ඉන්න වෙල්ලාල නොවන දෙමළ ජනකොටස් රැවටීමට මෙවැනි සංදර්ශන පැවැත්වීම. වඩුන්නාගල තිබුණේ බෞද්ධ සිද්ධස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුච සාක්‍ෂි දරණවා. මා දන්නවා ඇතැම් හිටපු හා වත්මන් වමාලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිංහල බෞද්ධ දෙපාර්තමේන්තුවක් ලෙස හඳුන්වන බව.  සොළින් විසින් පොළොන්නරුවේ තනන ලද කෝවිල් කිහිපයක් හැරුණු විට මෙරට රජ කළ රජුන් තැනූ කෝවිල් කීයක් තියෙනවා ?

 

දෙමළ වෙල්ලාල මන්ත්‍රීන් විරෝධය පළ කර ඇත්තේ වඩුන්නාගල කෝවිල් ඉදිකරන්න යන ඇතැම් දෙමළ කතා කරන පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරුද්ධ . පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණ නියෝගයකට යටත්ව. කතානායකට හරි පාර්ලිමේන්තුවට හරි ආණ්ඩුවට හරි රජයට හරි ගැන කරන්න දෙයක් නැහැ. වෙල්ලාලයන් මේ සෙප්පඩ විජ්ජා පෙන්වන්නේ වෙල්ලාල නොවන්නන් රවටා තවදුරටත් ඔවුන් පෑගීමට. අදත් වෙල්ලාල නොවන්නන්ට යා නොහැකි කෝවිල් කීයක් උතුරු හා නැගෙනහිර පළාත්වල තියෙනවා ? වෙල්ලාල නොවන්නන්ට කිසිම අවහිරයක් නැතිව යන්න පුළුවන් කෝවිල් තියෙන්නෙ දිවයිනේ අනෙක් පළාත්වල.

 

මේ වෙල්ලාල මන්ත්‍රින් මෙහෙයවන්නෙ ඉන්දියාව. ඉන්දියාවට උතුරු හා නැගෙනහිර පළාත් ගැන ඇති කැක්කුම අනෙක් පළාත් ගැන නැහැ. කන්කසන්තුරේ වරාය දියුණු කරන්න ඉන්දියාව ඩොලර් මිලියන ගණනක් දීලා. අද ඉන්දියාව සජිත්ට ආධාර කරනවා. සජිත් ඉන්දියාවට අවශ්‍ය විධියට  වෙල්ලාලයන් වෙනුවෙන් පෙනී ඉන්නෙ ඔවුන් මගින් දෙමළ ඡන්ද දිනා ගන්න. අතර රනිල් අරුන් සිද්ධාර්ථ මගින් වෙල්ලාල නොවන ඡන්ද දිනා ගන්න හදනවා. මාලිමාව සිංහල බෞද්ධ විරෝධීන්ගේ මග පෙන්වීම යටතේ මුනිවත රකිනවා.

 

ඉන්දියාව භාරතීය ජනතා පක්‍ෂයක් හදා ගත්තා. එහි අරම්භය 1951 ඔක්තෝම්බර් 21 දක්වා අතීතයට යනවා. එය මුල දී භාරතීය ජන සංග් යනුවෙන් හැඳින්වුණෙ. අද එය ආණ්ඩු පක්‍ෂය. ළඟ දී පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජාතිකවාදී මෝදිගේ නායකත්වයෙන් පක්‍ෂය නැවතත් බලයට පත්වේවි. ඉන්දියාවෙ පමණක් නොව අමෙරිකාවෙත් ජාතිකත්වය තියෙනවා. ජාතිකවාදී ට්‍රම්ප් නැවත බලයට පත්වීමට ලොකු ඉඩක් තියෙනවා. ජාතිකවාදී පුටින් පස්වැනි වරටත් රාජ්‍ය නායකයා වෙලා. මගේ ලෝකයට අවුරුදු තිහක් පිරීම නිමිත්තෙන් 2016 දි පැවති රැස්වීමේ දී මා මේ නායකයන් සමග මහින්ද රාජපක්‍ෂගේ නමත් සඳහන් කළා. අද සිංහල බෞද්ධයනට ජාතිකත්ව නායකයකු නැති කරලා. බටහිරයන් හා ඉන්දියාව විසින්.

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගත්තේ 1951 සැප්තැම්බර් දෙවැනි දා. භාරතීය ජන සංග් පිහිටීවුමට මාස එකහමාරකට පමණ කලින්. අපේ ප්‍රශ්නය සිංහල බෞද්ධ ජාතික පක්‍ෂයක් පිහිටුවා ගැනීමට නොහැකි වීම. අප කෙළේ 1952 සිට ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වය දෙසට තල්ලු කිරීම. එහි සීමාවන් තියෙනවා.  සිංහල බෞද්ධයනට උතුරු ඉන්දියාවේ හින්දුන්ට නැති දෙයක් තියෙනවා. බොරු උගත්කම. ඉන්දියාවේ හින්දුන් ජාතිකවාදී පක්‍ෂයක් පිහිටුවා ගත්තත් මෙරට මුස්ලිමුන් හා වෙල්ලාලයන් තම පක්‍ෂ තනා ගත්තත් සිංහල බෞද්ධයන් බොරු උගත්කම නිසා සිංහල බෞද්ධ පක්‍ෂයක් තනා ගන්නේ නැහැ. එහෙත් සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂ කණ්ඩායම් සංවිධාන ඕනෑ තරම් තියෙනවා.

 

ඡායාරූපයෙන් වඩුන්නාගල බෞද්ධ සිද්ධස්ථානය වෙල්ලාලයන් විසින් විනාශ කර ඇති ආකාරය බලා ගන්න පුළුවන්.