Main Logo

Tuesday 5 March 2024

තාගෝර්තුමා හා මා එක ම ජාතියකට අයත් ද?

 

තාගෝර්තුමා හා මා එක ජාතියකට අයත් ?

 

කලකට පෙර බීබීසියේ අගුපිලේ ඇති සංදේශය වැඩ සටහනෙහි ප්‍රධානියා වූයේ හෙදෙක්. එහෙමත් නැත්නම් පිරිමි හෙදියක්. පිරිමි හෙදියක් කියන යෙදුම පිරිමි ගැහැණියක් කියනව වගේ. එය අද  බටහිර (LGBT) පඬිවරුන්ට හා ඔවුන්ට වලිගය සොලවන පඬි නැට්ටන්ට නම් ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. එහෙත් සිංහල ව්‍යවහාරයෙහි එය නුසුදුසුයි. නිසා මා හෙදා කියන වචනය යොදා ගන්නවා. සමහරවිට කොකා කෙකී අනුව වඩා සුදුසු හොදා වෙන්න පුළුවන්. භාෂා විශාරදයන් ගැන තීරණයක් ගනීවි කියා හිතනවා.

 

කෙසේ වෙතත් මේ හෙදා එකල එංගලන්තයේ සිටි මට සංදේශය වැඩ සටහනකට බීබීසියට එන්න කිවුවා. ඔහු එහි දී තැත් කළ කාරණයක් වුණේ මා සිංහල නොවන බව අසන්නන්ට ඒත්තු ගැන්වීමටයි. එය ඩිල්කා සමන්මලී හා දෙරණ ආයතනය මගේ දරුවන් යන පාසල ගැන කියමින් මා බොරු කාරයකු වංචනිකයකු බව ප්‍රේක්‍ෂකයන්ට ඒත්තු ගැන්වීමට තැත් කිරීමට සමානයි. ජඩමාධ්‍ය මා සමග ඇත්තේ සුහද සම්බන්ධයක් නොවෙයි. එසේ නොවුණේ එඩ්මන්ඩ් රණසිංහ මහතා යටතේ දිවයින ක්‍රියාත්මක වන කාලයේ පමණයි.

 

හෙදාට අවශ්‍ය වුණේ අප කේරළයෙන් පැමිණියකුගෙන් පැවත එන බව කියමින් මා දෙමළ බව කීමටයි. එකල දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ විරෝධීන් චෝදනාව මට එල්ල කළා. අදත් ඇතැම් පඬි නැට්ටන් ඔය කේරළ කතාව කියනවා. එහෙත් මේ අය නොදන්න කරුණු බොහොමයි. පළමුවෙන් කේරළ ජනයා දෙමළ නොව මලයාලම් බවයි. දෙවනුව අප කේරළයෙන් පැමිණි අය නොව දඹදෙණි යුගයේ රාජස්ථානයේ සිට පැමිණි ඨකුර කෙනකුගෙන් පැවත එන බව. සංදේශය වැඩ සටහන ප්‍රචාරය වූ කාලයේ මා ඨකුරගේ කතාව දැන සිටියේ නැහැ.

 

එහෙත් මා හෙදාට කිවුවේ ජාතිය හරි ජනවර්ගය හරි ජාන මගින් පරම්පරවෙන් නීර්ණය වන්නක් නොව සංස්කෘතියෙන් නීර්ණය වන බවයි. කේරළයෙන් රාජස්ථානයෙන් නොව තූත්තුකුඩියෙන් පැමිණියත් මෙරටට පැමිණ මෙරට සංස්කෘතියට අවශෝෂණය වූ පසු පැවත එන්නන් සිංහල වන බවයි. අවශෝෂණය සම්පූර්ණ වීමට පරම්පරා දෙක තුනක් යන්න පුළුවන්. එහෙත් අවශෝෂණය වීමෙන් පසු මලයාලම් දෙමළ ආදී වශයෙන් කියන්නෙ නැහැ.

 

විජයගේ සිට ගත්තත් මෙරටට පැමිණි අයගෙන් පැවත එන්නන් සිංහල සංස්කෘතියට අවශෝෂණය  වීමෙන් පසු ඔවුන් සිංහල. මෙරට ජනයාගෙන් යම් ප්‍රමාණයක් එසේ සිංහල වූ අය. අවුරුදු හැත්තෑහයක් පමණ නායක්කාර් වාංශිකයන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වීම ප්‍රතික්‍ෂෙප කරලා. එහෙත් පෙනී යන්නේ ඉංගිරිසින්ට යටත්වීමෙන් පසු නායක්කාර් වාංශිකයන් සිංහල වී ඇති බවයි. අද මහනුවරවත් වෙන කොහේවත් නායක්කාර් වාංශිකයන් දකින්න නැහැ. ඔවුන් සියලු දෙනා ආපසු මදුරෙයි නගරයට ගිය බවක් දැන ගන්නත් නැහැ. එය තරමක සරදමක්.

 

නායක්කාර් වාංශිකයන් සිංහල වීමට ඉංගිරිසින්ට යටත් වීමට පෙර ප්‍රතික්‍ෂෙප කළත් ඉංගිරිසින්ට යටත්වීමෙන් පසු එයට විරෝධයක් දක්වලා නැහැ. ඔවුන් මුල දී සිංහල සංස්කෘතියට අවශෝෂණය වුණා නම් මෙරට ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා. තඹුත්තේගම වැනි ප්‍රදේශවල ඉන්න ආඬි ජනයා ආන්ද්‍ර ප්‍රදේශයෙන් පැමිණ තෙළිඟු කතා කරන නමුත් ඔවුන් නායක්කාර වාංශිකයන් නො වෙයි. ඔවුනුත් අද ක්‍රමයෙන් සිංහල වේගෙන යනවා. වැදි ජනයා ගැන කියන්න ඇත්තේ එවැන්නක්.

 

නායක්කාර් වාංශිකයන් සිංහල සංස්කෘතියට අවශෝෂණය වූවා නම් මෙරට ගිහි පැවිදි ජාතික නායකත්වයට සියමෙන් හරි බුරුමයෙන් හරි කුමාරවරුන් සොයන්න වෙන්නෙ නැහැ. වගේ නායක්කාර් වාංශිකයන් නෙරපීමට ඉංගිරිසින්ගේ සහාය ලබා ගැනීම අවශ්‍ය වන්නෙත් නැහැ. එය පාවාදීමක් නො වෙයි. පාවාදීමක් නම් පෘතුගීසීන් පැන්නීමට ලන්දේසීන් සමග ගිවිසුම් අත්සන් කළ රජවරුනුත් කර ඇත්තේ පාවා දීමක්.

 

මා දැක්කා ඇතැමකු කියා තිබුණා අහවල් අහවල් අයට සිංහල වෙන්න ඉඩ තියන සංස්කෘතික ජාතියට ඉඩ දෙන්න බැහැ කියා. ඔවුන්ට අවශ්‍ය ජාන මගින් ජාතිය නිර්ණය කරන්න. ජානවලින් පරම්පරාවෙන් ජාතියක් නිර්ණය කරන්න බැහැ. ථකුර්ලා අදත් රාජස්තානයේ හා හිමාලය ප්‍රදේශවල ඉන්නවා. බෙංගාලයේ දී ඔවුන් තාගෝර්ලා වෙලා. දකුණු ඉන්දියාවේ තාගුර්ලා වෙලා ලංකාවේ දී ථකුරලා වෙලා. (ථකුර අර්ථදේව ආදිත්‍ය ලිඳමුලගේ පරම්පරාව). එහෙත් ප්‍රදේශවල දී ඔවුන් ජනවර්ගවලට ජාතිවලට  අවශෝෂණයෙන් අයත් වෙලා. මට තාගෝර්තුමාට නෑකමක් ඇති. ඒත් ඒකෙන් ඇති වැඩේ මොකක් ? අර හෙදා හිතුවේ දේවාදිත්‍ය (දේව ආදිත්‍ය) යන්න කේරළ නමක් කියා.

 

කෙසේ වෙතත් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වීම යන්නෙන් සියල්ලන් බෞද්ධයන් විය යුතු කියා මා අදහස් කරන්නේ නැහැ.  සිංහල කතෝලිකයන් සිංහල බෞද්ධ සංස්කෘතියේ තමයි. ඉස්ලාම් භක්තිකයන්ටත් තම ආගම වෙනස් නොකර සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙන්න පුළුවන්.

 

අද බටහිර රටවල  විවිධ ආගම් අදහන අය ඉන්නවා. එහෙත් ඔවුන් යම් ක්‍රිස්තියානි සංස්කෘතියකට  අවශෝෂණය වෙලා හරි  ක්‍රමයෙන් අවශෝෂණය වෙමින් හරි ඉන්නවා. විශේෂයෙන් අධ්‍යාපනය හා ජනමාධ්‍ය හරහා එය සිදුවෙනවා.