Main Logo

Saturday 9 March 2024

ගෝඨාභය ඉවත් කෙළේ ඇයි?

 

ගෝඨාභය ඉවත් කෙළේ ඇයි?

 

ගෝඨාභය රාජපක්‍ෂ පොතක් පළ කර තියෙනවා. මා එය කියවා නැහැ. එහෙත් මට මිතුරන් කිහිප දෙනකු එහි පිටුවක (192)  පිටපතක් එවා තිබුණා. ඔහු එහි පැහැදිලිව මෙසේ කියනවා. "කෙසේ වෙතත් මා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන මා ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම්, සිංහලයන් හා විශේෂයෙන් සිංහල බෞද්ධයන් තමන්ගේ රට තුළ අවමානයට ලක් වෙමින් දෙවැනි පෙළට වැටී සිටීම, රටේ දැවැන්ත ණයගැති භාවය හා ආර්ථිකයේ පිරිහීම සහ බුද්ධි අංශ සහ ජාතික ආරක්‍ෂාව සම්පූර්ණයෙන් බිඳ වැටීම යන කාරණා තුනය." මා කරුණු තුන කෙටි සටහනක් ලෙස පළ කළා එයට සුපුරුදු පරිදි ප්‍රතිචාර ලැබී තිබෙනවා. තවත් ලැබේවි.

 

එක් ප්‍රතිචාරයක් මෙසේයි. "සිංහලයන් දෙවන පෙලට වැටිලා කියන එක නම් ජාතිකවාදී දේශපාලනය තමන්ට බලය ගන්න කියන කථාවක් නේ”. මා දන්නේ නැහැ ගෝඨාභය බලය ගන්න බලා ඉන්නවා කියා. සමහර විට පොත පළ කරන්න ඇත්තේ බලය ගන්න වෙන්න ඇති. වගේ මා දන්නේ නැහැ ගෝඨාභය බලය ගැනීමට පෙර එවැනි කතාවක් කීවා කියා. ප්‍රතිචාර දක්වන්නන් කොහොමත් පඬි රුවන්. එමෙන් මා දන්නෙ නැහැ සිංහල බෞද්ධයන් දෙවැනි පෙළට වැටීම ගැන වෙනත් ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් බලය ගැනීමට පෙර හෝ පසුව හෝ එවැනි ප්‍රකාශයක් කර ඇත් කියා.

 

වුණත් මා නම් ගෝඨාභයට ඡන්දය දුන් ප්‍රධාන හේතුවක් නම් සිංහල බෞද්ධයන්ට කරන කෙරෙන අවමානවලින් සිංහල බෞද්ධයන් නිිදහස් කර ගැනීමට ඔහු ක්‍රියා කරනූ ඇතැයි තිබූ බලාපෙරොත්තුව. එය ඉටු කිරීමට ඔහුට කාලයක් හා උපකාරයක් නොදීම වෙන කරුණක්. නොදුන්නේ ප්‍රධාන වශයෙන් බටහිරයන් හා ඉන්දියාව.  සිංහල බෞද්ධයනට මෙරට හිමි තැන නොදීමට ක්‍රියා කරන්නේ අද ඊයේ නො වෙයි. අප පාසල් යන අවධියේත් සිදු වූවා. ඊට පෙරත් සිදු වෙලා තියෙනවා. පෘතුගීසි කාලයේ ඉඳල සිද්ධ වෙනවා.

 

දොන් ජුවන් ධර්මපාල කතෝලික වුණෙ කතෝලික ආගමේ නිවැරදි බවක් දැකලා නො වෙයි. ඔහුට ආරක්‍ෂාව ලබා ගැනීමට නම් බුදුදහම අත්හරින්න වුණා. දේවානම්පිය තිස්ස රජු බෞද්ධ වුණෙ රජකම ගන්නවත් මිහිඳු හිමියන් සමග පැමිණි යුද හමුදාවක ආරක්‍ෂාව ගන්නවත් නො වෙයි. සිංහල බෞද්ධයන් දෙවැනි පෙළට දැමීම ආරම්භ කෙළේ පෘතුගීසින් දොන් ජුවන් හා එකල සිටි වරප්‍රසාද තනතුරු බලාපොරොත්තු වූවන් මගින්. කිසිවකු ආගමක් පිළිගැනීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් තනතුරු බලාගෙන එසේ කිරීම මෙරට සංස්කෘතියට ප්‍රශ්නයක්.

 

ලන්දේසීන් කාලයේත් සිදු වුණා. පාසල්වලට ඇතුල් වීමේ දී රෙපරමාදු ක්‍රිස්තියානිය වැළඳ ගන්න සිද්ධ වුණා. සමහරු පාසලේ දී ක්‍රිස්තියානි වී ගෙදර දී බෞද්ධ වුණා. සමහරුන්ට නම් දෙකක් තිබුණා. පාසලට ක්‍රිස්තියානි නම ගෙදරට බෞද්ධ (සිංහල) නම. එය අපේ දෙමවුපියන්ගේ කාලයේත් තිබුණා. ඔවුන්ට නම් දෙකක් තිබුණ බව නොවෙයි මා කියන්නේ. සමහරු මගෙනුත් අහල තියෙනවා ඉස්කෝලෙට නම මොකක් කියා.

 

ඉංගිරිසින් සිංහල බෞද්ධයන්ට තැන නොදී දෙවැනි තුන්වැනි පෙළට දැමීම ඉතා සියුම් හා සාර්ථක කළා. එකල පත් වූ සිංහල බෞද්ධ මහා මුදලි කෙනකු ගැන දන්නවා ? ඇංග්ලිකන් ක්‍රිස්තියානින්ට තමයි ඉහළ තනතුරු ලැබුණ. ලංකාවේ ඉහළ පාසල් බවට ඇංග්ලිකන් ක්‍රිස්තියානි පාසල් පත් කළා. රාජකීය විදුහලත් මුල දී ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඉංගිරිසින් දැනුවත් මෙරට ප්‍රධාන පවුල බවට කුමාරස්වාමි පොන්නම්බලම්  පවුල පත් කළා. ඔවුන් පසුව හින්දු වුණත් මුල දි ඇංග්ලිකන් ක්‍රිස්තියානි.

 

පාණදුරා වාදය ඇතුළු පංච මහා වාද ඇති වුණෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානින් හා මෙතෝදිස්තවරුන් බුදුදහමට අපහාස කිරීම නිසා. ඉංගිරිසි ආණ්ඩුව අපහාස කිරීම්වලට විරුද්ධ කළේ කුමක් ? අදත් ඇතැමුන් බුදුදහමට අපහාස කරනවා. ඔවුන්ට විශාල වශයෙන් මුදල් ලැබෙනවා. ඇංග්ලිකන් ක්‍රිස්තියානින්ට හා මෙතෝදිස්තවරුන්ට විරුද්ධ සිංහල බෞද්ධයන් ක්‍රියා කළා. ඔවුන් ඉංගිරිසි ආර්ථිකය නිසා ධනවත් වූ අය. අදත් ඊනියා බුද්ධිමතියන් ඔවුන්ට ගරහනවා. ඉංගිරිසි ආර්ථිකය නිසා ධනවත් වී තනතුරු ලබා ගත් ඇංග්ලිකන් ක්‍රිස්තියානින්ට ගරහන්නෙක් නැහැ.

 

සිංහල බෞද්ධයන් තමන් දෙවැනි පෙළට දැමීමට විරුද්ධ කලක සිට ක්‍රියා කරනවා. භික්‍ෂූන් වහන්සේ එහි නායකත්වය ගත්තා. අනගාරික ධර්මපාලතුමා ගිහි නායකත්වය ගත්තා. එතුමාට මුට්ටිකාසි කාරයා කීමෙන් හා තවත් අපවාද කිරීම් මගින් රට එපා කෙරෙව්වා. ඉන්පසු අමද්‍යප ව්‍යාපාරය ඇරඹුණා. සිංහල බෞද්ධයන් මෙරට ඇංග්ලිකන් ක්‍රිස්තියානි මෙතෝදිස්ත කතෝලික හින්දු හැමට පහතින් හිටියෙ. අද ඔවුන් යම්තම් ඔළුව ඔසවා ගෙන ඉන්නවා නම් නොකඩවා සටන් කිරීමේ ප්‍රතිඵලයක්. එහෙත් තවමත් සිංහල බෞද්ධයන් ඉන්නෙ දෙවැනි පෙළේ.

 

සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු විශේෂත්වය ලැබෙන්නේ නැහැ. සිංහල බෞද්ධයන් දීනයන් පිරිසක් කරලා. අද ඊනියා බහු සංස්කෘතික බහුබුත කතා කරන්නේ විශේෂත්වය නැති කිරීමට. බටහිර රටවල විශේෂිත සමහර විට අධිපතිවාදී සංස්කෘතිය යම් ආකාරයක ක්‍රිස්තියනි. බටහිර රටවල ඉන්න බෞද්ධයනට හා බෞද්ධ සංස්කෘතියට ඇති තත්වය කුමක් ? රටවල ඊනියා සර්වාගමික කතා තියෙනවා ? හැම රටක් බහු සංස්කෘතිකයි. එහෙත් ඉතිහාසයක් ඇති ලංකාව හැර සෑම රටක විශේෂිත සංස්කෘතියක් තියෙනවා. ලංකාවේ සර්වාගමික උත්සව තියෙනවා.

 

අද මෙරට ඊනියා නිරාගමිකයන් පිරිසක් බිහිවෙලා. ඔවුන් ඉතා විශාල බහුතරය සිංහල බෞද්ධ පවුල්වල උපන් අය. කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් පවුල්වල උපන් කී දෙනකු ඊනියා නිරාගමිකයන් වෙලා ? මේ නිරාගමිකයන් පඬි නැට්ටන් පමණයි. සකර්බර්ග් ඔවුන්ට වේදිකාවක් සපයලා.

 

සිංහල බෞද්ධයන් තාමත් දීනයන් ලෙසයි ඉන්නෙ. ඉංගිරිසින් ගෙන ගිය වැඩ පිළිවෙලේ ප්‍රතිඵලයක්. අද අපේ දැනුමට තැනක් නැහැ. මතු බුදුවෙන නාථ දෙවියන්ට ගරහනවා. ඊනියා තර්කයක් කියා ඇරිස්ටෝටල්ගෙ බහුබුත හුවා දක්වනවා. බටහිරයන්ට රේඛීය චින්තනයෙන් හා ද්විකෝටික න්‍යායෙන් ගැලවෙන්න බැහැ. අපට උගන්වනවා එය තමයි බුද්ධියේ අග්‍රඵලය කියා. බටහිර ගැති පඬි නැට්ටන් දන්නේ අප පටු ජාතිවාදීන් කියන්න පමණයි. එහෙත් ඔවුන් තමයි සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදීන්. ක්‍රිස්තියානි බටහිරයන් හා හින්දු ඉන්දියාව ගෝඨාභය ඉවත් කෙළේ ඔහු සිංහල බෞද්ධයන් දෙවැනි පෙළට දැමීමට විරුද්ධ කටයුතු කිරීමට සිටි නිසා. ඔහු දෙමළ ජාතිවාදී කොටි පැරදවීමට මහින්දට ආධාර කළ නිසා.