Main Logo

Tuesday 12 July 2016

රට විනාශවීම 1

රට විනාශවීම 1 

මේ ලිපියෙන් පසු නැවතත් ලිපියක් පළවන්නේ විසිවැනි දා. මේ ලිපිය තරමක් දිග බැවින් කොටස් කිහිපයක් ලෙස පළවනවා.  

හැකි ඉක්මණින් මේ ආණ්ඩුව පළවා නොහැරියොත් රටට මහා විනාශයක් අත් වෙනවා. අප තව තවත් යටත්විජිතවාදයට ලක්වෙනවා. පසුගිය මැතිවරණ සමයේ දී අප මේ රනිල් මෛත්‍රී හවුල බටහිරයන් හා ඉන්දියානුවන් විසින් මෙහෙයවනු ලබන බව කීවත් ඇතැමුනට ඒ බවක් ඇහුණේ නැහැ. ඇහුණත් සමහරු ගාණකට ගත්තේ නැහැ. බොහෝ දෙනාට වුවමනා වුනේ මහින්ද හොරා පන්නා දැමීම පමණයි. ඔහු කළ හොරකම් මා දන්නේ නැහැ. ඒත් අප බොහෝ දෙනා මහජන මුදල් වංචා කරනවා. රජයේ කාර්යාලයක නොමිළේ දුරකතන ඇණවුමක් ලබාගැනීම, කඩදාසි පැකට්ටුවක් ගෙදර ගෙන යෑම, නියමිත පැය ගණන වැඩ නොකිරීම, අනවශ්‍ය ආකාරයෙන් නිවාඩු ගැනීම ආදියත් මහජන මුදල් වංචා කිරීමක්. ඒ් මිලියන ගණනින් නොවන බව සැබැයි. ඒත් ඒ වංචාවල්. 


පසුගිය මැතිවරණයේ ප්‍රශ්නය වුනේ හොරකම නෙවෙයි. ඒ ජාතිකත්වය හා නිදහසයි. බටහිරට හා ඉන්දියාවට (ඉන්දියාවත් පාලනය වන්නේ බටහිරට අවශ්‍ය අන්දමට, චීනයට විරුද්ධව. මා චීන ගැත්තකු නොවෙයි. ඔවුන්ගේ දේශපාලනය ද මට දැනෙනවා. ඔවුන් දැන් ඉන්දියාවට විරුද්ධව බුදුහාමුදුරුවන් අයිති කරගන්නත් ආසියාව නතු කර ගැනීමටත් උත්සාහ ගන්නවා. තායිලන්තය, කාම්බෝජය වගේ රටවල ඇත්තේ චීන සංස්කෘතිය මත ආරෝපණය වූ සිංහල බෞද්ධ සංස්කෘතියක්. මේ කරුණු ගැන සෙවීමට අප තව තවත් උනන්දු විය යුතුයි) අවශ්‍ය අන්දමට රට පාලනය කෙරෙන්නේ ද, ඒ නිසා ම දෙමළ ජාතිවාදයට තව තවත් කප්පන් දී සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කරන්නේ ද සිංහලයාට සිංහල සංස්කෘතියට මෙරට හිමි තැන නැති කරන්නේ ද ආදිය තීරණය කෙරෙන්නේ ඒ මැතිවරණයෙන් බව අප කීවා. එහෙත් මේ බව බොහෝ දෙනාට කීමට අපට විද්‍යුත් ජනමාධ්‍යවලින් අවස්ථාව ලැබුණේ නැහැ. දෙරණ පමණක් ඉතා සුළු කාලයක් ඒ සඳහා අපට ඉඩ දුන්නා. ඒකත් සවිස්තර ව කියන්න ඉඩ දුන්නේ්් නැහැ. හොරා කතාව මේ ජාතිකත්වය හා නිදහස පිළිබඳ කතාව යටපත් කිරීමට යොදාගත්තක් පමණයි. එහෙත් අවාසනාවකට සංධානයේ බොහෝ අය ද ඒ ගැන කතා කෙළේ නැහැ. ඔවුන් එදත් අදත් එක්කෝ ඊනියා ජාතිවාදී ලේබලයට බයයි. නැත්නම් ඔවුන් ද දෙමළ ජාතිවාදයට යටවෙලා. සංධානයේ, ඒකාබද්ධ විපක්‍ෂයේ කී දෙනකු තවමත් සිංහල ජාතිකත්වය වෙනුවෙන් කතාකරනවා ද? කට ඈරියොත් සමහරුන් කතා කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා ගැන. දෙමළ මුස්ලිම් ජනයාට ඇති ප්‍රශ්නය මොකක් ද කියා මේ අය කියන්නේ නැහැ. 

පසුගිය දා අප රාමළාන් උත්සවය පැවැත්තුවා. අපට ඒ සඳහා  නිවාඩුත් ලැබුණා. මුස්ලිම් නොවන රටවල් කීයක රාමළාන් උත්සවය සඳහා නිවාඩු ලැබෙනවා ද? හින්දු ඉන්දියාවේත් එදා ජාතික නිවාඩු  දිනයක්.  මුස්ලිම් ජනයා විශාල සංඛ්‍යාවක් එහි ජීවත්වනවා. පාස්කු සිකුරාදා හා නත්තලත් ඉන්දියාවේ ජාතික නිවාඩු දවස්. ඒත් බුද්ධ පූර්ණිමා යනුවෙන් හඳුන්වන වෙසක් උත්සවය ජාතික නිවාඩු දිනයක් නොවෙයි. එදාට ප්‍රාන්ත කිහිපයක පමණක් නිවාඩු. සිදුහත් කුමරු බුදුවුණේ බුද්ධගයාවෙ කියලා නෙ කියන්නෙ. ඒත් බුදුවීම ඉන්දියාවට ඒ තරම් වැදගත් නැතුව ඇති. නැතිනම් බුදු වුනෙ බුද්ධගයාවෙ දි නොවෙන්න ඇති. එහෙමත් නැතිනම් වෙනත් හේතුවක් වෙන්න ඇති. තමන්ගෙ රටේ සිදුවුනා කියලා ඉතිහාසෙ ලියා තියෙන සිද්ධිය ඉන්දියාවට වැදගත් නැහැ. එහෙත් ක්‍රිස්තු උත්පත්තිය වැදගත්. මේ දේශපාලන ආධිපත්‍යය නිසා සිදුවන දේ. සිදුහත් කුමරු කොහේ බුදු වුනත් බුදුහාමුදුරුවො අපේ. 

හොරකම ගැන කතා කරලා එයට විරුද්ධ ය කියලා, අධිකරණයේ ස්වාධීනත්වය රකිනවා කියලා බලයට පැමිණි රනිල් දැන් මොකද කරන්නෙ. රනිල්ගෙ නැන්දගෙ පුතා රජිව් විජේසිංහ කියන විධියට රනිල් මහා බැංකු කොල්ලයේ සල්ලි එ ජා පක්‍ෂයට අරගෙන ඒකෙන් ඡන්ද කරලා. ඒකාබද්ධ විපක්‍ෂයට මේකෙ බරපතලකම තේෙැරන්නෙ නැද්ද දන්නෙ නැහැ. බැරි වෙලාවත් මහින්ද එහෙම දෙයක්් කරලා බලයට පත්වුනා නම් එ ජා පක්‍ෂය අද වන විට කොහොම ක්‍රියා කරාවිද? එ ජා පක්‍ෂයට උපදෙස් දෙන සුද්දන් ඉන්නවා. මේ ළඟදිත් එක් අයකු ඇවිත් උපදෙස් දීලා. එයා ආවෙ කාගෙ සල්ලිවලින්ද කියලා කියනවා ද? එ ජා පක්‍ෂයෙ මුදල්වලින් ද රජයේ මුදල්වලින් ද? කොහොම ආවත් ඇවිත් තියෙන්නෙ අපේ සල්ලිවලින්. බටහිරයනුත් ඔවුන්ගෙ කලාපීය නියෝජිතයා වූ ඉන්දියාවත් එකතු වී අප විනාශ කරනවා. ඔවුන් ඊනියා ජාතික ආණ්ඩුව හැදුවෙ ඒ සඳහා මිස වෙනත් දෙයකට නො වෙයි. අර සුද්ද ඇවිල්ල කියලා ගියෙ ඊනියා ජතික ආණ්ඩුව හෙවත් විජාතික ආණ්ඩුව කෙසේවත් නොකඩන ලෙසයි.






මේ ලිපිය තමන්ට අවශ්යු පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

   



නලින් ද සිල්වා

2016 ජූලි 12