Main Logo

Saturday 2 July 2016

දේශපාලන සිරකරුවා

දේශපාලන සිරකරුවා

මහා බැංකුවේ මහා අර්බුදයක්. ආණ්ඩුව පුපුරා යෑමේ ඉඩක් තිබෙන අර්බුදයක්? බලය ඇත්තේ කාට ද? ජනාධිපතිට ද? නැත්නම් අගමැතිට ද? විසඳන්න ඇත්තේ ඒ ප්‍රශ්නයයි. අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රශ්නයේ උත්තේජකයක් පමණයි. චන්ද්‍රිකාට මේ ආණ්ඩුවේ කවදාවත් කිසි බලයක් තිබුණේ නැහැ. ඇයට තිබුණේ ඇය විසින් ජනමාධ්‍යයේ ආධාරයෙන් මවන ලද ව්‍යාජ බලයක් පමණයි. පඬියන් එයට ෆැන්ටසියක්, අතථ්‍ය යථාර්ථයක් (ඉංගිරිසියෙන් වර්චුඅල් රියැලිටි) යැයි කීමට ඉඩ තියෙනවා. ඒ කොහොම වුනත් ඇය දැන් පේන්න නැහැ. 


ඊනියා ජාතික ආණ්ඩුවේ බංකොළොත් බව දැන් හොඳට ම පේනවා. මේ ආණ්ඩුව ඇති කෙරුණො එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව විසින් මිස සෝභිත හාමුදුරුවන්ගෙ සාධාරණ සමාජය විසින්වත් යුග පෙරළි කාරයන් විසින්වත් කඩමාළු පත්තරකාරයන් විසින්වත්, ඊනියා සිවිල් සමාජ පරඬැලුන් විසින්වත් නො වෙයි. ඒ සියළු දෙනාම බටහිරයන්ගේ හෝ ඉන්දියාවේ හෝ දෙගොල්ලන්ගේ ම හෝ ඉත්තන් වුනා පමණයි. මේ ආණ්ඩුවට මේ රටේ බලයක් නැහැ. ඇත්තේ බටහිර හා ඉන්දියාවේ බලය පමණයි. 

බටහිරයන්ට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව (රනිල් බටහිරෙන් ණයට ගත් රෙජිමය) පරදවා මහින්ද ගෙදර යැවීමටයි. ඒ සඳහා බටහිරයන් සිංගප්පූරු වසන්තය යොදා ගෙන තිබෙන බව අර්ජුන්ගෙන් ම වුවත් දැනගන්න පුළුවන්. බටහිරයන්ට අරාබි වසන්තයේ දී මෙන් සිංගප්පූරු වසන්තයේ දි විශාල මුදලක් වියදම් කරන්න ඕන උනේ නැහැ. කොහොමත් බටහිරයන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගැනීමට එතරම් මුදලක් අවශ්‍ය නැහැ. 

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය තනිකර ම මහින්ද ගෙදර යැවීමට සකස් කළ එකක්. මහින්දගේ කණ්ඩායමේ අයත් එයට සහාය දුන්නා! ඔවුන් ද බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට රැවටිලා. එදත් අදත් රැවටිලා. සංශෝධනයකට දෙකකට ආණ්ඩුව එකඟ වුනොත් ඔවුන් රාජ්‍ය විරෝධී ආණ්ඩුවේ පනත්වලට සහාය දෙනවා. අද ඒකාබද්ධ විපක්‍ෂය තොරතුරු ලබාදීම පිළිබඳ පනතට ඡන්දය දුන්නා. හෙට එය ඔවුන්ට ම විරුද්ධව යොදා ගනීවි. ඔවුන් ව්‍යවස්ථා සංශෝධනයටත් සහාය දෙනවා. ව්‍යවස්ථාව සම්මත වුවහොත් රට ඉවරයි. ඒකාබද්ධ විපක්‍ෂයේ උපදේශකයන් කවු ද? 

දහනවවැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපති බලතල ටිකක් කපා දැමුණා. ඒවා පාර්ලිමේන්තුවට නොව අගමැතිට හිමිවූවා. කොහොමටත් ආණ්ඩුවේ ප්‍රධානියා රනිල්. මෛත්‍රිපාල මහින්දට පාඩමක් උගන්වන්න, මහින්ද හා බැසිල් සමග තිබූ වෛරය පිරිමහා ගන්නට, ජාතිය ම පාවා දී ශ්‍රී ල නි ප මරාදැම්මා. ඔවුන් ඔහු ජනාධිපති කළා තමයි. ඒ රනිල්ට ඡන්දයකින් ජනාධිපති වෙන්න බැරි නිසා. රනිල් තමාට ඡන්දයකින් ජනාධිපති වෙන්න බැරි නිසා වෙන වෙන අය යොදා ගන්නවා. කලින් සරත් ෆොන්සේකා යොදා ගත්තා. ඔහු අද එ ජා පක්‍ෂයේ ම සාමාජිකයකු වෙලා. ඔහුට දැන් හිමි එකම කාර්යය මහින්දට බැණ වැදීම පමණයි. ඒ සඳහා ඔහුට සුඛොපභෝගි මෝටර් රථයක් හා තවත් වරප්‍රසද ලැබෙනවා.

මෛත්‍රිපාලට කළ හැකි කිසිවක් නැහැ. දුමින්ද දිසානායකත් එක්ක රාජිතත් එක්ක, චම්පකත් එක්ක මොනවා කරන්න ද? ඔවුන් එක් අයකුටවත් ජනතා පදනමක් නැහැ. මෛත්‍රිපාලටත් ඕන නම් ඒ අයත් එක්ක හරි නැතිව හරි එ ජා පක්‍ෂයට බැඳෙන්න පුළුවන්. නැත්නම් රනිල්ට නීතියෙනුත් සම්පුර්ණ බලය දීල දේශපාලනයෙන් විශ්‍රාම ගන්න පුළුවන්. අර්ජුන් නැවතත් මහා බැංකුවේ ප්‍රධානියා කරන්න රනිල්ට ඕන වෙලා තියෙනවා. ඒකට ඉඩකඩත් තියෙනවා.  චරිත රත්වත්තෙ දැනට මහා බැංකුවේ ප්‍රධානියා කරලා පස්සෙ ඔහු ඉල්ලා අස්කරවලා අර්ජුන් පත්කරන එක අමාරු වැඩක් නෙවෙයි. කෝප් වාර්තාව කෝපි වාර්තාවක් වෙන්න පුළුවන්. එවිට අර්ජුන් වැනි නිර්දෝෂි පුද්ගලයකු පත්කිරීමට විරුද්ධ වන්නෙ කොහොම ද? මහින්ද නිර්දෝෂි නොවුනත් අර්ජුන් නිර්දෝෂියි!

මේ අර්බුදයෙන් වෙන්න පුළුවන් වැඩිම දෙය ඊනියා ජාතික ආණ්ඩුව වෙනුවට එ ජා පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් සංධාන ආණ්ඩුවක් බිහිවීම. ඊනියා ජාතික ආණ්ඩුව කියන්නෙත් එ ජා පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් ඇති සංධාන ආණ්ඩුවක් තමයි. බොරු ජාතික ආණ්ඩු කතාවෙන් දහනවවැනි සංශෝධනය මගින් ඇමති ධුර ගණන වැඩිකරගන්න අවස්ථාව ලැබිල තියෙනවා. ඇමති ධුර දාලා එන අය කී දෙනෙකු ඉන්නවාද? අර්ජුන් සිංගප්පුරු වසන්තයේ ජාතකය දිග හරීවි ද? මෛත්‍රිපාලට චරිත රත්වත්තෙ පත් නොකර ඉන්න පුළුවන් ද? මෛත්‍රිපාල ඊනියා ජාතික ආණ්ඩුවේ අගමැති ඉවත් නොකරන තාක් එකී ආණ්ඩුව පවතිවි.

මෛත්‍රිපාලට වැඩිය බලපෑම් කෙළේ/කරන්නේ මහින්ද ද? රනිල් ද? නිකම් හිතන්න බැරිවෙලාවත් රනිල් ජනාධිපති වෙලා මෛත්‍රිපාල අගමැති වුනා නම් බලපෑම් කොහොමට තියෙන්න පුළුවන් ද? මෛත්‍රිපාලට නිදහස ලබාගන්න තියෙන්නෙ එකම එක විධියයි. ඒ මහින්ද අගමැති කිරීමෙන්. ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාව අනුව ඒක කරන්න පුළුවන්. ඒත් දේශපාලන සිරකරුවකුට ඒක කරන්න පුළුවන් ද? 

මේ ලිපිය තමන්ට අවශ්යඑ පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)




නලින් ද සිල්වා

2016 ජූලි 02