Main Logo

Friday 8 July 2016

ඊනියා යුද්ධය ගැන තවත් කොමිසම් එපා

ඊනියා යුද්ධය ගැන තවත් කොමිසම් එපා


මංගල සමරවීර කියන්නෙ මහානාම සමරවීරගෙ පුතා. මහානාම සමරවීර 1964 දි බණ්ඩාරනායක මැතිණියගෙ  ආණ්ඩුව කඩා දාලා විරුද්ධ පක්‍ෂයට ගිය කෙනෙක්. මොකක්දෝ හේතුවකට මංගල ශ්‍රී ල නි ප දේශපාලනයට ආවා. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයට එවුවා වෙන්නත් පුළුවන්. 1992 අග   ශ්‍රී ල නි පක්‍ෂයට වැලේ වැල් නැතිව ඉන්න කාලෙ මංගල, එස් බී හා බර්ටි දිසානායක එක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති උපවාසය බලන්න ආවා. ඔවුන්ට එතැන දී වැදගත් කමක් ලැබුණෙ නැහැ. මංගල ඊට පස්සෙ චම්පක, රතන හාමුදුරුවො එක්ක එකතුවෙලා රට බෙදන පෙරමුණක් හැදුවා. මටත් ඒකට කතා කළා. ඒකෙ ෆෙඩරල් යෝජනා තිබුණ නිසා මා විරුද්ධ වුණා. චන්ද්‍රිකා ගෙන්න ගත්තට පස්සෙ මංගල ශ්‍රී ල නි පක්‍ෂයෙ ඉහළට ගියා. 1994 මැතිවරණයෙදි චම්පක හා රතන හිමි මාතර පැල් බැඳගෙන මංගලට වැඩ කළා. 1994 චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ පැකේජ් ව්‍යාපාරයට අවලම් තවලම් ගියෙ සුදු නෙළුම් මල් ගත්තෙ මංගල. 


මංගල ඊයෙ පෙරේදා ප්‍රකාශයක් කරලා  තිබුණා ඊනියා යුද්ධෙ ගැන හොයන්න කොමිසම් පත්කරනවා කියලා. ඒවා කිසිම ජාත්‍යන්තර බලපෑමක් නැතිව පත්කෙරෙන ඒවා කියලා ඔහු කියනවා. ඔහුට සත්‍යය දැනගන්න ඕනළු. දකුණූ අප්‍රිකාවෙ වගේ කොමිසම් පත්කරන්න තමයි සූදානම . ඒත් දැන් දකුණු අප්‍රිකාවක් ගැන කියන එකක් නැහැ. කලකට ඉහත නම් ඔය කවුරුත් දකුණු අප්‍රිකාව ගැන මහ ඉහළින් කතා කළා. ලංකාව හා දකුනූ අප්‍රිකාව අතර කිසිම සමාන කමක් නැති බව අප එදා සිට ම කියනවා. මට මැන්ඩලා ගැනත් විශ්වාසයක් නැහැ. බටහිරයන් මැන්ඩලාට ගරු කරනවා. බටහිරයන් ගරු කරන්නෙ තමන්ගෙ ආධිපත්‍යය පවත්වාගෙන යන්න කටයුතු කරන අයට. මැන්ඩලා දකුණු අප්‍රිකානු සුද්දන්ට විරුද්ධව සටන් කරලා හිරේ ගිය එක ඇත්ත. ඒත් ඔහු හිරෙන් නිදහස් වුනෙ ඔවුන්ගෙ නියෝජිතයකු හැටියට. හිරේට ගිය මැන්ඩලා නෙවෙයි හිරෙන් ආවෙ. දකුණු අප්‍රිකාවෙ නාමික බලයක් පමණක් කළු අප්‍රිකානුවන්ට තිබෙනවා. ආර්ථිකය හසුරුවන්නෙ සුද්දන්. 

මංගලගෙ කොමිසම්වලින් පස්සෙ ප්‍රභාකරනුත් විරයකු ලෙස පිළිගැනීමට ලක්වේවි. මහින්ද හා ගෝඨාභය වැරදිකරුවන් වේවි. සරත් ෆොන්සේකා ඒ දෙදෙනාට විරුද්ධව කොමිසම්වල සාක්කි දේචි. ප්‍රභාකරන් බටහිරයන්ගෙ නියෝජිතයා. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමටයි ක්‍රියා කෙළේ. ඔහු ඉංගිරිසින් පෝෂණය කළ දෙමළ ජාතිවාදයෙ විකාශයෙ එක් අවස්ථාවක් පමණයි. තවමත් සිංහල උගතුන් කියන අය මේ කාරණෙ පිළිගන්නෙ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ ඒ සමස්ත දෙමළ ජාතිවාදය ම පරාජය වුනා. දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා දේශපාලනික ව පරාජය වුනා. ප්‍රභාකරන් බේරගන්න එංගලන්ත හා ප්‍රංශ විදේශ ඇමතිවරුන් ලංකාවට ආවා. මහින්ද ඔවුන් ආපහු යැවුවා. අපේ ඉතිහාසයෙ ඒ සිද්ධිය එදා වාරියපොළ සුමංගල හාමුදුරුවො සුද්දන්ගෙ කොඩිය පහත දැමීම වගේ ම වැදගත්. මැන්ඩෙලාගෙ සටනින් කළු අප්‍රිකානුවන්ට වෙච්ච සෙතක් නැහැ. ප්‍රභාකරන්ගෙ සටනින් (රාමනාදන්ගේ සිට ඔහුගේ ඥාති මුණුබුරකු වූ විග්නේශ්වරන් දක්වා දේශපාලනයෙන්) දෙමළ ජනයාට වෙච්ච සෙතකුත් නැහැ. දෙමළ ජනයාටත් සෙතක් වුණේ මහින්දගෙන්. අද අඩු තරමෙන් ඔවුන්ට බයක් සැකක් නැතිව ජීවත් වෙන්න පුළුවන්. 

කොමිසම් පත් කරලා යුද්ධාපරාධ ගැන හොයන්න මෙහෙ යුද්ධයක් තිබුණෙ නැහැ. යුද්ධය කියන එක බටහිරයන් මැවූ දෙයක්. ඒක ප්‍රචාරය කරන්න මර්වින් ද සිල්වා උදවු කරා. මහින්ද හමුදා මෙහෙයුම්වලින් පස්සෙ තත්වය හොයන්න උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක් හා අතුරුදහන් වූ අය ගැන හොයන්න පරණගම කොමිසමක් පත් කළා. මේ සංහිඳියා කියන වචනය නම් හරි නැහැ. මහින්දට උපදෙස් දෙන අය අතර හාමුදුරුවරු නැහැ. ගැමුණු රජ්ජුරුවො එළාර පරද්දලා ඉන්න වෙලාවෙ අහිංසකයන් මැරුණ ද කියන ප්‍රශ්නය ආවා. ඒ දකුණු අප්‍රිකාවෙවත් බටහිරයන්ගෙවත් වෙනත් කගෙන්වත් ආභාසය ලැබිලා නෙවෙයි. එතැන දී රජතුමාට උපදෙස් දුන්නෙ පුවඟු දිවයිනෙන් වැඩම කළ රහතන් වහන්සේ. පුවඟු දිවයින දෙමළකරණයෙන් අද පුංඩතිවු වෙලා. 

මහින්ද පත්කළ කොමිසම් හොඳට ම ඇති. කරන්න තියන්නෙ ඒවායෙ රටට හොඳ නිර්දේශ පමණක් ක්‍රියාත්මක කරන එකයි. දෙමළ ජාතිවාදීන්, බටහිරයන් හා ඉන්දියාවට ඒ කොමිසම් මදී. ඔවුන්ට වුවමනා මහින්ද හා ගෝඨාභය ඊනියා යුද්ධාපරාධවලට අණ දුන් අය ලෙස වරදකරුවන් කරල ප්‍රභාකරන් විරයකු කරන්නයි. මංගල අණ දුන්න අය ගැන කතාකරන කොට ගොනා හැරෙන්නෙ මොකට ද කියලා තේරෙනවා. 

මංගලලා රනිල්ලා මේ රටේ ස්වෛරීභාවය පාවා දීලා. තමන් බලයට පත්කළ බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට ඔවුන් දුන් පොරොන්දු ක්‍රියාත්මක කරනවා. මේ පොරෙන්දුවල ප්‍රධානම එක තමයි බටහිරයන් කියන විධියට රට පාලනය කරන එක. මංගල කොමිසම් පත් කරන්නෙ ස්වාධීන තීරණ මත කිවුවට මේ යෝජනා ගැන අර ජෙනීවා කුමාරයයි දෙමළ ජාතිවාදයෙ විසිරුණු දෙමළ ජනයායි එකඟ වෙනවා. ජෙනීවා කුමාරයා කියන්නෙ එක්සත් ජාතීන්ගෙ මානව අයිතිවාසිකම් කොමිසමේ මහා කොමසාරිස්. මේ ආයතනය බටහිරයන් තම ආධිපත්‍යය ලොව පුරා ගෙන යෑමට යොදා ගන්නා තවත් උපකරණයක් පමණයි. හැටේ දශකයේ බටහිරයන් ඇරඹූ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද එහි දී යොදා ගැනෙන එක් උපකරණයක්. මොවුන් ඔක්කොම පොඩි පොඩි වෙනස්කම් සහිත ව කියන්නෙ එකම දේ. මංගල කියන්නෙ මේ එකඟවීම්  අහම්බයක් කියලා ද? කවුරු හරි පඬියකු ඒ එකඟවීම් අහම්බයක් වීමට ඇති සම්භාවිතාව ගණනය කරනවා ද? 

මේ රටට වෙනත් කොමිසමක් නම් අවශ්‍ය වෙනවා. ඒ බටහිරයන් මෙහෙය වූ දෙමළ ජාතිවාදීන් හා බටහිර ගැති සිංහල දේශපාලනඥයන්, පූජකවරුන්, පඬියන් ක්‍රියා කර ඇති ආකාරය සෙවීමට. එහි දී රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ තමාට විවාහයෙන් ලැබුණු විජේවර්ධනලාගේ ලේක්හවුසියෙ බලතල යොදමින් එය මෙහෙය වූ ආකාරය ගැනත් මංගලගේ මව ලේක්හවුසියෙ කෙළේ මොනව ද කියන එකත් සොයන්න වේවි. මහානාම සමරවීර බණ්ඩාරනායක මැතිණියගෙ ආණ්ඩුව කැඩුවෙ ලේක්හවුසිය ජනසතු කිරීම උඩ. ඒ සී පී ද සිල්වත් එක්ක. සී පී 1964 දෙසැම්බර් මාසෙ තුන්වැනි දා රාජාසන කතාවට විරුද්ධව ඡන්දෙ දීලා ආණ්ඩුව පැරැද්දෙවුවා. ඔහු එයට කලින්දාත් කියලා තියෙන්නෙ ආණ්ඩුවෙන් යන්නෙ නැහැ කියලා. පිටිපස්සෙන් ඉඳලා පිහියෙන් ඇන්න නිසා ඔහුට සී පිහි සිල්වා කියලා පස්සෙ කිවුවා. ඔහු පිටිපස්සෙන් හිටියෙ රනිල්ගෙ පියා එස්මන්ඩ් හා මාමා ජේ ආර්. සී පිහි එදා රෑ ආප්ප කෑවද දන්නෙ නැහැ. ඒත් ඊට අවුරුදු පනහකට පස්සෙ 2014 දවසක මෛත්‍රීපාල ආප්ප කාලා විරුද්ධ පක්‍ෂෙට ගියා. සී පිහි හා මෛත්‍රිපාල දෙන්නම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙ මන්ත්‍රීවරන්. සී පිහි ඒ දවස්වල මින්නේරියෙ මන්ත්‍රී. 




මේ ලිපිය තමන්ට අවශ්ය  පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)





නලින් ද සිල්වා

2016 ජූලි 08