හඳ අයිති කාට ද?
මාස හතරක් පමණ මුහුණු පොත නැත්නම් තරුණයන් කියන විධියට බුකිය පරිහරණය කිරීමෙන් පසු එසේ පරිහරණය කිරීමෙන් වැඩක් ඇත් ද යන ප්‍රශ්නය හිතට නැගෙනවා. මේ පොත වැඩි ප්‍රමාණයක් පරිහරණය කරන්නේ තරුණයන්. මගේ වයසේ අය එය පරිහරණය නොකරන තරම්. මේ මාධ්‍යය හැම දෙනාට ම පරිහරණය කරන්න බැහැ. පුවත්පතක් තරම්වත් ජනතාව අතරට යන්නේ නැහැ. රූපවාහිනිය හා ගුවන්විදුලිය සමග සංසන්දනය කළ විට නොගිණිය හැකි ප්‍රමාණයක් එය පරිහරණය කරන්නේ. තරුණයන් කිහිප දෙනකු පමණක් කල්පනා කරන බවයි පෙනෙන්නේ. ඔවුන් සමහරකු ඉතා වැදගත් ප්‍රශ්න අහනවා. අනෙක් බොහෝ දෙනාට ඔවුන්ගේ වචනවලින් ම නම් බුකිය පොඩි ආතලයක් ගන්න තැනක්. මෙහි දේශපාලනයක් තියෙනවා. ජාතික ව්‍යාපාරයෙ තියෙන බෙදීම් කුලල් කා ගැනීම් මෙතනත් තියෙනවා. මගේ ලිපි කියවා ඒවාට කැමති (ලයික් දැමූ) වූ හා බෙදාහදා (ෂෙයා කළ) ගත් කිහිප දෙනකු එයින් දැන් ඈත් වෙලා. ඒ මා කවුද කියා ඔවුන් දැනගත් පසු. ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනකු මට කැමති නැහැ. ඒ අතර මිථ්‍යා මත ප්‍රචාරය කරන අප්‍රබුද්ධයකු ලෙස සලකා ජනමාධ්‍යයෙන් මා පිටමං කෙරී තිබෙනවා.
ඔවුන් කුමක් කළත්, වැඩක්් වුනත් නැතත් මට කල්පනා නොකර ඉන්න බැහැ. ප්‍රශ්න අහන්න, ඒවට උත්තර හොයන්න. උත්තර නිසා නැවත ප්‍රශ්න අහන්න මා කැමතියි. අපි ප්‍රශ්නයක් අහමු. හඳ අයිති කාට ද? මේ ප්‍රශ්නෙන් ඇති වැඩේ මොකක් ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඒත් අප මෙහෙම ඇහුවොත්, ලංකාව අයිති කාට ද? බුදු හාමුදුරුවන් අයිති කාට ද? මේ ප්‍රශ්න නම් රටේ සාකච්ඡා වෙනවා. මේ ඔක්කොම යට අයිතිය කියන සංකල්පය තියෙනවා. හැබැයි අයිතියට විවිධ අර්ථකථන තියෙනවා. මට පේන විධියට චීනය බුදු හාමුදුරුවන් අයිති කරගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරළා. ඒක ලංකාවෙ කතාවෙන්නෙ නැහැ. ඉන්දියාව හා චීනය අතර තිබෙන දේශපාලන ප්‍රශ්නයත් මෙයට බලපානවා. මේ ළඟදී බුදු හාමුදුරුවන්ගෙ හිස් කබළෙහි කොටසක් චීනයෙන් මතුවෙලා. එහෙම වෙන්න බැරිද කියලා අහන්න පුළුවන්. ධාතූන් වහන්සේලා බෙදා දීමේ දී චීනයටත් දුන්න ද? නැත්නම් පස්සෙ චීනෙට ගෙනිච්ච ද? මේ ප්‍රශ්න ඉස්සරහට සාකච්ඡා වේවි. සිදුහත් කුමරු උපන්නෙ ලංකාවෙ කියල මතයකුත් තියෙනවා. එ මොකක් වුනත් මා කලකට පෙර කියා සිටියෙ බුදු හාමුදුරුවො අපේ කියලා. ඒක එහෙම වෙන්නෙ කොහොම ද?
ඒකට උත්තරේ තියෙන්නෙ අයිතිය කියන්නෙ මොකක් ද යන්න උඩ. මේකත් අර දරු ප්‍රශ්නය වගේ. දරුවා අයිති වැදූ මවට ද? හැදූ මවට ද? බටහිර ක්‍රමයට නම් අධිකරණය මගින් ඩී එන් ඒ පරීක්‍ෂණයක් කරවල දැනගන්නව වැදුවෙ කවු ද කියලා. අයිතිය එයාට. එතැන දි අයිතිය දැනගන්න මහෞෂධ පඬිතුමා බොහෝම ප්‍රායෝගික වැඩක් කළා. දරු දුක තේරෙන්නෙ කාට ද දරුවා අයිති ඒ තැනැත්තියට කියලයි මහෞෂධ පඬිතුමා කිවුවෙ. මෙය හුණුවටයෙ කතාවෙත් තියෙනවා කියලා පඬියෙක් කියාවි. එතැනදීත් මතුවෙන්නෙ අයිතිය කියන ප්‍රශ්නය. දරුදුකෙන් අයිතිය හොයන ක්‍රමයෙ අයිතිය තියෙන්නෙ කාට ද? කවුද ඒ ක්‍රමය ඉස්සෙල්ලා ක්‍රියාත්මක කළේ. අඩු තරමෙන් ඉස්සෙල්ල සංකල්පගත කෙළෙ. චීන්නු ද අපි ද? එහෙමත් නැත්නම් බ්‍රෙෂ්ට් ද? හෙන්රි ජයසේන ද?
අයිතිය තියෙන්නෙ ඉස්සෙල්ල ම කරපු එක්කෙනාට කියන එක බටහිර සංකලපයක්. මටත් මේ ලෙඩේ තිබුණා.ඒ බටහිර විද්‍යාව හැදෑරීමේ ප්‍රතිඵලයක්. අර කතාව මේ කතාව ඉස්සෙල්ලා කිවුවෙ කවු ද? බටහිරයන් අපට මොන තරම් ලෙඩ දීලා තියෙනවාද? රෝග කියන අර්ථයෙන් වුවත් ඇමරිකාවේ ස්වදේශික ජනතාව වැඩිපුර මැරිලා තියෙන්නෙ සුද්දන්ගෙන් බෝවුණු ලෙඩවලින්. මගේ ලෙඩේ නම් දැන් හුඟක් සුව අතට හැරිලා. ඒත් තවමත් නිට්ටාවට හොඳ වෙලා නැහැ. බටහිර විද්‍යාඥයන් තම පර්යේෂණ වැදගත් කියල කියන සඟරාවල පළකරන්නෙ අනෙක් අයට කියවීමට ම පමණක් නෙවෙයි. ඉස්සෙල්ලම පළ කරපු අයට තමයි අදහසක අයිතිය තියෙන්නෙ. අනුන්ගෙ අදහසක් හරි කමක් නැහැ ඉස්සෙල්ල පළ කර ගත්තොත් ඒක තමාටයිි අයිති. මේ අයිතිය එක්ක දැන් මුදලුත් ගැටගැහිලා. නිර්මාණ පිළිබඳ හිමිකම් (පේටන්ට්) අයිතිය එන්නේ එබැවිනුයි.
ඇමරිකානු භූමියට සුද්දන් මුලින් ම අයිතිවාසිකම් කිවුවෙ ඒ භූමිය කවුද ඉස්සෙල්ල හොයාගත්තෙ කියන එක උඩ. ඉංගිරිසින් ද ප්‍රංශයන්ද, ස්පාඤ්ඤයන් ද, පෘතුගීසීන් ද ආදී වශයෙන්. ඒත් මේ සියළු සුද්දන් අමතක කරපු දෙයක් තමයි, ඔවුන්ගෙ සංකල්ප අනුව වුවත් ඇමරිකාව ඔවුන්ට ඉස්සෙල්ලා ස්වදේශීකයන් හොයා ගත්ත කියන එක. හැබැයි අයිතිය ගැන සුද්දන්ට තවත් සංකල්ප තියෙනවා. ඒ සටන් හා ගිවිසුම් මගින් පරම්පරාවෙන් ලබාගන්න අයිතිය. සුද්දන් ස්වදේශිකයන් රවටලා ගිවිසුම් අත්සන් කර ගෙනත් තියෙනවා ස්වදේශිකයන්ගෙ දඩයම් භූමි අයිති කර ගැනීමට. ස්වදේශිකයන්ට පෞද්ගලික අයිතිය ගැන සංකල්ප තිබිලා නැහැ. ඔවුන්ට තිබිලා තියෙන්නෙ දඩයම් කිරීමේ සාමූහික අයිතියක් පමණයි. සුද්දන් කාව හරි අල්ලගෙන ඔහු ලවා අර සාමූහික අයිතිය සුද්දන්ට ලැබෙන විධියට ගිවිසුමක් අත්සන් කරගෙන. ස්වදේශිකයන්ගෙ සිරිත් අනුව එහෙම ක්‍රමයක් නැහැ. සාමූහික අයිතිය තනි මිනිහෙකුගෙ භාරයට පත්වෙන්නෙ නැහැ. ලංකාවෙත් ඉඩම් අයිතියක් තිබුණෙ නැහැ. රජ්ජුරුවො ඉඩම්වල භාරකාරයා වුනා. මිහිඳු හාමුදුරුවන් අපට උගන්නලා තියෙන්නෙ එහෙමයි. දැන්නම් අපට බටහිර පෞද්ගලික අයිතිය සංකල්පය ලැබිලා තියෙනවා.
බුදු හාමුදුරුවන්ගෙ දහම අනුව නම් ඔය අයිතිය ගැන වධ වෙන්න ඕන නැහැ. බුදු හාමුදුරුවන් කාට ද අයිති කියලා ඇහුව නම් උන්වහන්සෙ පිළිතුරක් දෙන එකක් නැහැ. උන්වහන්සෙ ශක්‍යයන්ට අයිති ද කියලා ඇහුව නම් නැහැයි කියන්න තිබුණයි කියලා මට හිතෙනවා. අනෙක් අතට කෝලියයන්ට ද කියලා ඇහුව නම් ඒකටත් නැහැයි කියන්න තිබුණා. ශාක්‍යන්ටවත්, කෝලියයන්ටවත් හැර වෙනත් අයට ද කියලා ඇහුව නම් ඒකටත් නැහැයි කියන්න ඉඩ තිබුණා. ඒ මට හිතෙන හැටි. දැන් ඕක බුදු හාමුදුරුවන්ගෙන් අහන්න බැහැ. තථාගතයන් වහන්සේ ඉන්නවද කියලා ඇහුවම දුන්න උත්තර මතක නේ. ඒත් ඉතින් අප පෘථග්ජනයො නිසා මා කිවුව බුදු හාමුදූරුවො කොහේ වැඩ විසුවත් අප උන්වහන්සේගේ ධර්මය ආරක්‍ෂා කළ නිසා උන්වහන්සේ අපේ කියලා. කියලා. ඒක තවත් සංකල්පයක් පමණයි.
ලංකාව අයිති කාට ද? එතැනදිත් අයිතිය කියන සංකල්පය පැහැදිලි කරගන්න වෙනවා. දෙමළ ජාතිවාදීන් කීියන්නෙ දෙමළ ජනයා සිංහලයන්ට ඉස්සෙල්ල ලංකාවෙ හිටිය කියලා. ඒ බව පෙන්වන්න ඔවුන් විවිධ කතා කියනවා. අයිතිය තීරණය වෙන්න ඉස්සෙල්ලා ආපු එකෙන් ද? සටන්වලින් ද? ගිවිසුම්වලින් ද? රටේ පවතින සංස්කෘතිය ගොඩ නැගූ කියන එකෙන් ද? එහෙම නැත්නම් වෙන මොන විධියකට ද? අපි ඒ ගැන පස්සෙ කතාකරමු. ඒත් දැනට නම් හඳේ අයිතිය තියෙන්නෙ ශක්‍රයට. ශක්‍රය නෙ ඉස්සෙල්ලා හඳේ හාව ඇඳලා තියෙන්නෙ. ඒත් ඇමරිකාව ඒකට ඉඩ දෙන එකක් නැහැ. ඔවුන් කියාවි ඉස්සෙල්ලම හඳට ගිය මිනිහා ඇමරිකානුවෙක් කියලා. ඒත් ආම්ස්ට්‍රොංග් හඳට අඩිය තිබ්බෙ නැහැයි කියන අයත් ඉන්නචා. දැන් මොකද කරන්නෙ.
මේ ලිපිය තමන්ට අවශ්යෙ පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 ජූලි 10