Main Logo

Sunday 24 July 2016

යාපනයට සිංහල එපා- විග්නේස්වරන්

යාපනයට සිංහල එපා- විග්නේස්වරන්

උතුරු පළාත් සභාවේ මහා ඇමති විග්නේස්වරන් හා එහි විපක්‍ෂ නායක තවරාසා යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා. මෙය ඉතා වැදගත් කරුණක්. තවරාසා කියන්නේ ඩග්ලස් දේවානන්දගේ පක්‍ෂයේ සාමාජිකයෙක්. විග්නේස්වරන් සම්බන්ධන්ලාගේ පක්‍ෂයේ. සසිදරන්ට ඇපදෙන්න ගිය සුමන්තිරන් ද සම්බන්ධන්ලාගේ පක්‍ෂයේ. සියළු දෙමළ පක්‍ෂ නායකයන් යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් එක් මතයක ඉන්න බව පේනවා. සිංහලයන්ගේ දේශපාලන පක්‍ෂ එක මතයක නැත්තේ මොක ද? පක්‍ෂ අමතක කරමු. මේ සම්බන්ධයෙන් සිංහලයන්ට ඇත්තේ එක ම මතයක් පමණ ද? සිංහලයන්ට දෙමළ කොටි ත්‍රස්තවාදය පැරදවීම ගැන පවා එක මතයකට පැමිණීමට නොහැකි වූ විට මේ ගැන කතා කිරීම වැඩක් නැද්ද? 


අද අපට දේශපාලන විශාරදයන් වැහි වැහැලා. හැමෝම ප්‍රශ්න විසඳන්න හදන්නෙ තම තමන් ඉගෙන ගත්ත දේශපාලන විද්‍යාවල් අනුව. නෝර්වේහි, සිංගප්පූරුවේ, කියුබාවේ ආදී ක්‍රමවලට ප්‍රශ්න විසඳන්න ඉදිරිපත්වෙන අයට ජනමාධ්‍යයෙහි ඉඩ දෙනවා. ලංකාවේ ක්‍රමයක් ගැන කතාකරන්න ජනමාධ්‍යත් ඉඩ දෙන්නේ නැහැ. දෙමළ ජාතිවාදය බටහිරින් හා ඉන්දියාවෙන් පෝෂණය වන්නක්. පළමුවෙන්  එයට විරුද්ධව සිංහලයන් එකතු කරන්න ඕන. දෙවනුව චීනය රුසියාව සහ වෙනත් රටවල්වලට ප්‍රශ්නය පැහැදිලි කරලා දෙන්න ඕන. සිංහල පඬියන් හා පඬිනියන් හා එ ජා පාක්‍ෂිකයන් එකතු කරගන්න බැහැ. අපට අඩු තරමෙන් සිංහලයන්ගෙන් 75%ක් එකතු කරගන්න පුළුවන් නම් ප්‍රශ්නය විසඳේවි. පිටරටවලට යන්න ඉස්සෙල්ල ගෙදර පිරිස එකතු කරමු. පිටරට කියන එකෙන් මා බටහිර රටවල් අදහස් කරන්නේ නැහැ. ඔවුන් තමයි ප්‍රශ්නය. ඔවුූන්ට ඒ ගැන කීම හොරට නිදාගෙන ඉන්න එකකු අවදි කරන්න යනවා වගේ වැඩක්. යාපන විශ්වවිද්‍යාල ප්‍රශ්නය හා රණවිරුවන්ට එරෙහිව ඊනියා අතුරුදහන් කාර්යාලය පිහිටුවීම ආදිය වටා සිංහලයන් එකතු කරන්න පුළුවන්.  

දැන් විග්නේස්වරන් හා තවරාසා කියන්නේ මොකක් ද? ඔවුන් කියන්නේ යාපන විශ්වවිද්‍යාලයේ සමස්ත සිද්ධිය ගැන පරී්ක්‍ෂණ කිරීම සඳහා කොමිසමක් පත්කළ යුතු බවයි. ඔවුන් කියන විධියට ප්‍රශ්නය උඩින් අතගා සිසුන්ට දඬුවම් කිරීම හරි නැහැ. ඔවුන් කියන්නේ ප්‍රශ්නයේ සමස්ත පසුබිම සොයාබැලිය යුතු බවයි. මා ඔවුන්ගේ ප්‍රකාශය ඉංගිරිසියෙන් ම උපුටා දක්වන්නම්. “At a time when the demographic pattern of the North and East after the war is being consciously changed, when the independent war crimes’ Inquiry is being dragged on indefinitely, when students from other Provinces are being admitted in large numbers into the Jaffna University, when such entrants are bent on forcing their arts and cultural background on the Jaffna soil, when there is reluctance and delay on the part of the powers in delivering political solution that would allow the Tamils to look after their political affairs in their areas of historical habitation, when there is a tendency to retain in the Province the Military far in excess of its needs (seven years after the War), all these activities must be considered by such a Commission in consonance with the recent violence to determine whether all such activities added fuel to the behavior of the students,”        

මේ කතාකරන්නේ හිටපු විනිසුරුවකු ද බව අමතක කරන්න එපා. ඔවුන් නිගමනවලට ඇවිත්. ඔහු මොන විධියකට නඩු ඇහුවාද කියා හිතාගැනීම ඔබට භාරයි. “උතුරු හා නැගෙනහිර පළාත්වල ජනගහන රටාව සවිඥානිකව වෙනස්කරන විට, ස්වාධීන යුද්ධාපරාධ විමර්ෂණය දිගින් දිගට ම කල්දමන විට, අනෙක් පළාත්වලින් ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් යාපන විශ්වවිද්‍යාලයට  ඇතුල්කරන විට, ඒ සිසුන් තම කලාශිල්ප හා සංස්කෘතික පසුබිම යාපන භූමිය මත බලයෙන් පටවන විට, බලධාරීන් දෙමළ ජනතාවට තම ඓතිහාසික වාසභූමියෙහි තම දේශපාලන කටයුතු කරකියා ගැනීමට දේශපාලන විසඳුමක් දීමට අකමැති වෙමින් ඒ ප්‍රමාද කරන විට, (යුද්ධයෙන් අවුරුදු හතකට පසු) පළාතෙහි අවශ්‍යතාවට බෙහෙවින් වැඩියෙන් හමුදා පවත්වාගෙන යෑමේ ප්‍රවණතාවක් ඇති විට, කොමිසමක් විසින් ඒ කරුණු පසුගිය දා ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියා සමග එක්ව ගෙන, සිසුන්ගේ හැසිරීමට ඒ සියළු ක්‍රියාකාරකම් ගින්නට පිදුරු දැමීමක් වීද යන්න  නිර්ණය කළ යුතුය." 

 ඔවුන් කියන දේ ඉතා පැහැදිලි ය. ප්‍රභාකරන්ගේ අවි ගැනීම, ත්‍රස්තවාදී ක්‍රියා ද මේ දෙමළ ජාතිවාදී නායකයන් යුක්තියුක්ත කෙළේ එවැනි ම කරුණු ඉදිරිපත් කරමින්. ඔවුන් කියන්නේ දෙමළ සිසුනගේ ප්‍රචණ්ඩ හැසිරීම යුක්තියුක්ත බවයි. ඔවුන් යොදා ගන්නා  වචන අතර යාපන භූමිය, ඓතිහාසික වාසභූමි ආදිය ද වෙනවා. ඔවුන් පැහැදිලිව ම එක් පැත්තකින් ශිෂ්‍යයන් තව තවත් ප්‍රචණ්ඩත්වයට පොළඹනවා. මේ නායකයන්ගේ දරුවන් යාපනයේ නැති බවත් අමතක කරන්න එපා. තම දරුවන් වෙනුවෙන් අනෙක් දරුවන් ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම එදා සිට ම දෙමළ නායකයන් කළ දෙයක්. විග්නේෂ්වරන් පොන්නම්බලම් අරුණාෂලම්ගේ ඥාති මුණුබුරෙක්. මේ නායකයන් හැදුනේ වැඩුනේ කොළඹ. 

අද මොවුන් පැහැදිලිව ම සිංහල සිසුන් යාපන විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට විරුද්ධයි. වෙස් නැටුමක් නවකයන් පිළිගැනීමේ උත්සවයක දී ඉදිරිපත් කිරීම සිංහල සංස්කෘතිය යාපන භූමිය මත බලයෙන් පැටවීමක්ලු. මොවුන්ගෙ සංස්කෘතිය හින්දු නොවෙයි. රෝම ලන්දේසි නීතිය තබා තේසවලාමේවත් හින්දු නොවෙයි. විග්නේෂ්වරන් යාපනයේ දී වේට්ටිය ඇන්දත් කැමරන් හමුවීමට ගියේ කලිසම් කබා හැඳ ටයිටියක් පැළඳ. යාපන විශ්වවිද්‍යාලය ජාතික විශ්වවිද්‍යාලයක් මිස උතුරු පළාත් සභාව යටතේ ඇති දෙමළ විශ්වවිද්‍යාලයක් නෙවෙයි. බටහිර සංස්කෘතිය වැළඳගත් මොවුන් සිංහල සංස්කෘතියෙහි අංශු මාත්‍රයකටවත් කැමති නැහැ. ඊනියා සංහිඳියාවක් ගැන කතා කරන්නේ මොවුන් සමග ද? විග්නේස්වරන් කියන දෙයින් පැහැදිලි වන්නේ හමුදාව උතුරු හා නැගෙනහිර පළාත්වලට තව තවත් අවශ්‍ය බවයි.  

සිංහලයන් තම අයිතිවාසිකම් රැක ගැනීමට එක්විය යුතුයි, මේ නිවට ආණ්ඩුව පළවා හැරිය යුතුයි.  





මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 ජූලි 24