Main Logo

Tuesday 26 July 2016

මාක්ස්වාදී අවතාර

මාක්ස්වාදී අවතාර

ඡන්ද විසිදාහක් ගන්න බැරි ඩිව් ගුුණසේකර, තිස්ස විතාරණ, රාජා කොල්ලුරේ ජාතිවාදයට විරුද්ධව ලොකු කතා කියලා. ඒකාබද්ධ විපක්‍ෂෙ පාගමනට ඔවුන් එක්වෙන්නෙ ජාතිවාදී සටන්පාඨ සමග නෙවෙයි කියලයි මේ පුස් කෑ මාක්ස්වාදීන් කියන්නෙ. ඔවුන් මේ ජාතිවාදයක් ගැන කියන්නෙ දෙමළ ජාතිවාදය ගැන නෙවෙන බව හොඳට ම පැහැදිලියි. මොකද දෙමළ ජාතිවාදීන් ඔය පෙළපාලියෙ එන්නෙ නැති නිසා . ඔවුන් මේ කතාකරන්නෙ ඔවුන් හිතන විධියට සිංහල ජාතිවාදයට විරුද්ධව. වාසුදේව ඒ ගැන මොනවද කියන්නෙ කියන එක පැහැදිලි නැහැ.


තිස්ස විතාරණ කියලා තියෙන්නෙ ජනතාවට ඇති පීඩනයට විරුද්ධව පමණක් පාගමනට එක්වන බව. මේ ජනතාවට තියෙන පීඩන අතර යාපන විශ්වවිද්‍යාලයට දැන් සිංහල සිසුන් යෑමට නොහැකි තත්ත්වයක් උදාවී තියෙනවද කියන එක මේ ඊනියා සමාජවාදීයා කියන්නෙ නැහැ. රණවිරුවන් දංගෙඩියට දැක්කවීමට ගෙනෙන අතුරුදහන්වුවන්ගේ කාර්යාලය තිස්ස විතාරණට පීඩනයක් වෙන්නෙ නැතිව ඇති. ඒක රණවිරුවන්ට විතරක් නෙවෙයි, ඔවුන්ගෙ පවුල්වල අයට විතරකුත් නෙවෙයි, සිංහලයන් අති විශාල බහුතරයකට නම් පීඩනයක්. ඒව ඊනියා කම්කරු පංතියට පීඩනයක් වෙන්නෙ නැද්ද? තිස්ස විතාරණ කම්කරු පංතියේ ද? ඒ කම්කරු පංතියේ ඉන්න අනෙක් අය කවු ද? ඒක තියෙන්නෙ කොහෙද? යාපන විශ්වවිද්‍යාලෙ සිංහල සිසුන් වෙනුවෙන් පාගමනේ සටන් පාඨ කියනවට ඊනියා කම්කරු පංතිය විරුද්ධ ද?

ඩිව් ගුණසේකර හොඳ බුද්ධිමතෙක්! ඔහු ඉතා බුද්ධිමත්ව අහනව අලුතෙන් ගෙනෙන ව්‍යවස්ථාවෙ මොනව තියෙනව ද කියලා දන්නෙ නැතිව ඒකට විරුද්ධ වෙන්නෙ කොහොමද කියලා. ඒක ඇත්ත ඉපදෙන්න ඉන්න ළමයින්ට කේන්දර බලන්නෙ කොහොම ද? මට වැරදුණා, ඩිව් ගුණසේකර කියන කොමියුනිස්ට්වාදියා කේන්දර බලවන්නෙ නැතිව ඇති. ඒක එහෙමයි කියමුකො. ඔය මාක්ස්වාදෙ විද්‍යාත්මකයි කියලා කියනව නෙව. කාල් පොපර් නම් කියලා තිබුණෙ කාල් මාක්ස්ගෙ කතන්දර විද්‍යාත්මක නෙවෙයි කියලා. කාල් අනෙක් කාල් ගැන මොනව කිව්වත් ලංකාවෙ ඉන්න පඬියන් නම් කාල්ට (මොන කාල්ට ද කියලා මගෙන් අහන්න එපා) ආමන්ත්‍රණය කරලා කාල් අනේ ඔයා මොන තරම් නිවැරදි ද කියලා කියනවා. ලංකාවෙ විශ්වවිද්‍යාලවලත් ඉන්නෙ, හිටියෙ කාල්ලා නෙවෙයි අරික්කාල්ලා! මාක්ස්වාදයටවත් පොඩි එකතුකිරීමක් කළ අරික්කාල් කෙනකු නැහැ. කාල් පොපර් විද්‍යාත්මක කියලා කිව්වෙත් පට්ටපල් බොරුවලට හින්ද අරික්කාල්ල ඒ කාල්ගෙ කියමන් එච්චර ගණන් ගන්න ඕන නැහැ.

ඒත් ඩිව් ගුණසේකර බුද්ධිමතා විද්‍යාත්මක මාක්ස්වාදියෙක්. අප වගේ නාථ දෙවියන්ගෙන් අහන්න යන්නෙත් නැහැ. කේන්දර බලන්නෙත් නහැ. අංජනම් එළි බලන්නෙත් නැහැ. ඒත් අර විද්‍යාත්මක මාක්ස්වාදය අතගාලා ව්‍යවස්ථාව ගැන අනාවැකියක් කියන්න බැරි ද? ඒකෙන් බුද්ධාගමට නිති තැන ලැබේවි ද? ඒකීය රාජ්‍යය පවත්වාගෙන යාවි ද? ඩිව් ගුණසේකරට ඒ ප්‍රශ්න වැදගත් නැතිවනවා විතරක් නෙවෙයි, ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී ද වෙනවා. ඒ නිසා ඩිව්ට ඕව වැඩක් නැහැ. රංජිත් මැල්කම් කාදිනල්වරයා නම් කියලා තිබුණා බුද්ධාගමට නිසි තැන දෙන්න ඕන කියලා. මොන එහෙකට එහෙම කිවුව ද දන්නේ නැහැ. මේක අනාගමික රාජ්‍යයක් කරන එකටත් විරුද්ධලු. ඩිව් නම් ඒවට විරුද්ධ නැතිව ඇති. 

ඒ වුනත් ඩිව්ගෙ යුතුකමක් තියෙනවා බුද්ධිමතකු විධියට අප වැනි හුදී ජනයා කෙරෙහි අනුකම්පාවෙන් එහෙමත් නැත්තන් පහන් සංවේගයෙන් හරි අලුත් ව්‍යවස්ථාවෙ මොනව තියේවි ද කියලා විද්‍යාත්මක මාක්ස්වාදය යොදා ගෙන පොඩි අනාවැකියක් කියන්න. අඩු ගණනේ පාගමනට එන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ලක්‍ෂ සංඛ්‍යාත සහෝදරයන්ට කියන්න සටන් පාඨයක් හදාගන්න පුළුවන් විධියට අනාවැකියක් කියන්න. අර අරික්කාල් වගේ කාල්ට ලියුමක් ඇරලාවත් පොඩි අනාවැකියක් අහගන්න තිබුණා. දැනුත් ප්‍රමාද නැහැයි කියලයි මට හිතෙන්නෙ. කාල්ට එක්කො ඊ මේල් පණිවුඩයක් යවන්න, නැත්නම් ස්කයිප් මගින් හරි වයිබර් මගින් හරි කතාකරන්න. චන්ද්‍රිකා කුමාරතුංග වයිබර් ගැන කියා දේවි. කාල් වලෙන් නැගිටියි ද කියලා දැනගන්න බ්‍රෙක්සිට් කැමරන්ට හරි කම්කරු පක්‍ෂයෙ ඉන්න සුප්‍රසිද්ධ මිලිබෑන්ඩ්ට හරි හතරවැනි ජාත්‍යන්තරයෙ කාට හරි කියන්න පුළුවන්. ස්ටැලින් නැති හින්ද හතරවැනි ජාත්‍යන්තරයත් එක්ක ගණුදෙනු කරන්න බය වෙන්න ඕන නැහැ. ඉස්සර සසෙක්ස් විශ්වවිද්‍යලෙදි මං දැන හිටිය ඇලන් වුඩ්ස් තාමත් කම්කරු පක්‍ෂයෙ ඉන්නවද කියලා මං දන්නෙ නැහැ. ඔහුවත් ටෙඩ් ග්‍රාන්ට්වත් මිලිටන්ට් කණ්ඩයමෙන් අනූවෙ දශකයෙ මුල පැන්නුව. ඕන ම නම් ඔහුගෙන් පොඩි උදවුවක් ගන්න පුළුවන්.  ටෙඩ් දැන් ජීවතුන් අතර නැහැ. අසූවෙ දශකයෙ මුල ඔහු අපේ ගෙදර දින කිහිපයක් නැවතී හිටියා, ඒ ඇයි ද කියලා අහන්න එපා. ඒ දවස්වල නව සමසමාජ පක්‍ෂය මිලිටන්ට් කන්ඩායමේ හතරවැනි ජාත්‍යන්තරය සමග සම්බන්ධකම් පැවැත්වුවා.

ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න ඡන්ද පන්දාහෙ කෑලිවලට යටවෙලා ඒ කණ්ඩායම තීරණ ගන්නෙ නැති බව පැහැදිලියි. මොවුන්ට ඒකාබද්ධ විපක්‍ෂෙන් පිට කිසිම පැවැත්මක් නැහැ. මොවුන්ටත් ජ වි පෙරමුණටත් දැන් ලංකාවේ දේශපාලනයෙ තැනක් නැහැ. ඔවුන් ජනතාව අතින් ප්‍රතික්‍ෂෙප වෙලා. ඔවුන් හා එ ජා ප අතර විශාල වෙනසක් නැහැ. සියලු දෙනාම සිංහල විරෝධීන්. ඔවුන් මෙහෙයවෙන්නේ බටහිර මතවාදවලින්. මේ ඊනියා මාක්ස්වාදීන් අන්තිම සටනින් පරාද වෙලා ජනමාධ්‍යයට පින්සිද්ධවෙන්න දේශපාලනයෙ හොල්මන කරන අවතාර පමණයි.මේ අයට ඕන නම් මාක්ස්වාදයෙ දරිද්‍රතාව කියවන්න පුළුවන්. 

   



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 ජූලි 26