Main Logo

Friday 29 July 2016

කාදිනල් ප්‍රකාශය

කාදිනල් ප්‍රකාශය

බුද්ධාගමට නිසි තැන දිය යුතු බවටත් ලංකාව අනාගමික රාජ්‍යයක් නොවිය යුතු බවටත් මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කර ඇති ප්‍රකාශය වැදගත්. ලංකාවේ කතෝලික පල්ලිය ක්‍රියාකර ඇති ආකාරය දෙස බැලූ විට මේ ප්‍රකාශය එක්වර ම විශ්වාස කිරීම තරමක් අපහසුයි. එයින් කියන්නේ් ඒ ප්‍රකාශයෙන් කියැවෙන දේ කතෝලික පල්ලිය සැබවින් ම අදහස් කරන්නේ ද යන්න පිළිබඳ මට ප්‍රශ්නයක් ඇති බවයි. පෘතුගීසීන් පැමිණි දා සිට ඔවුන් කර කියා ඇති දේ බලන විට කතෝලික නායක පූජකයන් කෙරෙහි විශ්වාසයක් තැබීම අපහසුයි. පෘතුගීසි නිලධාරීන් ද මුල සිට ම අප රැවැට්ටුවා. ගෙරි හමේ කතාව මතක නේ.


අප කුඩා කළ ධර්මරාජ, ආනන්ද විදුහල්වල සේවය කළ මෙත්තානන්ද මහතා කතෝලික ආක්‍රමණයක් ගැන එදා කතා කළා. බුද්ධ ශාසන කොමිසම් වාර්තාවෙන් ආගමික පාසල් රජයට පවරා ගැනීමට නිර්දේශ කළා. එය බණ්ඩාරනායක මැතිණියගේ 1960 ජූලි ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කළා. ඒත් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැරිවුනා. ශාන්ත තෝමස්, ත්‍රිත්ව ආදී එංගලන්ත සභාවේ හෙවත් ඇංග්ලිකන් ප්‍රධාන පාසල් මෙන් ම ශාන්ත ජෝසප්, ශාන්ත පීටර්, ආදී කතෝලික ප්‍රධාන පාසල් ද රජයට පවරා ගත්තේ නැහැ. කතෝලික පල්ලිය පාසල් පවරා ගැනීමට විරුද්ධව විශාල ව්‍යාපාරයක් දියත් කළා. කතෝලික දෙමවුපියන් පාසල් අරක් ගත්තා. මැතිණියගේ ආණ්ඩුවට විරුද්ධව 1962 දී හමුදා පොලිස් කුමන්ත්‍රණයක් ඇති කිරීමට ගියා. එහි ප්‍රධානීන් කතෝලික. කුමන්ත්‍රණය අවසන් මොහොතේ ව්‍යවර්ථ වුනා. රවි කරුණානායකගේ සියා ඇතුළු කුමන්ත්‍රණ නායකයන්් ලංකාවේ අධිකරණයේ දී වරදකරුවන් වූවා. ඒත් එංගලන්තයේ සාමි මන්ත්‍රණ සභා අධිකරණයෙන් තාක්‍ෂණික කරුණක් මත ඔවුන් නිදහස් කෙරුණා.

මෙරට කතෝලික නායක පූජකවරුන් සාමාන්‍යයෙන් මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව  එ ජා පක්‍ෂය වෙනුවෙන් කටයුතු කළා. ඒ ශ්‍රී ල නි ප චන්ද්‍රිකාගේ කාලයේ හැරුණු විට මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වූ නිසා හා එ ජා ප බටහිර ගැති නිසා.  දෙමළ ජාතිවාදය පිටුපස ලංකාවේ මෙන් ම තමිල්නාඩුවේත් කතෝලික පූජකයන් සිටියා. උතුරෙ කතෝලික පූජකවරුන් විශාල ප්‍රමාණයක් දෙමළ ත්‍රස්තවාදය සමගත් කටයුතු කළා. මෙරට කතෝලික ආච් බිෂොප්ලා ඒ නැවැත්වීමට හෝ ඒ පූජකවරුන්ට හෝ විරුද්ධව කටයුතු කෙළේ නැහැ. ඒත් මේ පව් සමාකරගන්න බැරි නැහැ. 

අපට මිනිසුන් කතෝලික වීම ගැන ප්‍රශ්නයක් නැහැ. සිංහල රජවරුන් (වඩිග වුවත් ඔවුන් සිංහල රජවරු) ජුසේ වාස් පියතුමාට උදවුකර තිබෙනවා. මා කියා ඇති කරුණක් තමයි යටත්විජිතවාදය නොවන්නට සිංහල බෞද්ධයන් යේසුස් වහන්සේ බෝධිසත්වයකු කර ගැනීමට තිබුණු බව. අප හැමදාමත් ඉල්ලා සිටියේ ආගම කුමක් වුවත්, ජනවර්ගය කුමක් වුවත් රටවැසියන් මෙරට සංස්කෘතියට හා ඉතිහාසයට ගරු කළ යුතු බවත් තම අනන්‍යතාව නැති කරගන්නේ නැතිව ඒ ඔවුන්ගේ කරගත යුතු බවත්. බුදුන්වහන්සේ උපාලි ගෘහපතියාට අවවාද කෙළේ නිඝන්ඨ පූජකයන්ට දන් දීම නතර නොකරන ලෙසයි. සිංහල බෞද්ධයන් ඒ අනුගමනය කරනවා. ඔවුන් ඉතාම සහනශීලීයි.  

අද ලෝකයේ කතෝලික චින්තනයක් ඉතාලියේවත් නැහැ. බටහිර රටවල ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ  ඇංග්ලිකන් සංස්කෘතික ආධිපත්‍යය. පාප්වහන්සේත් ඇංග්ලිකන් සංස්කෘතියේ හිරකාරයෙක්. පහළොස්වැනි සියවසේ ඇරඹි චින්තන විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස මාටින් ලූතර ආදීන්ගෙන් පසු පාප්වහන්සේගේ බලය පිරිහුණා. එංගලන්තයේ අටවැනි හෙන්රිගෙන් පසු ආගමික නායකත්වය ක්‍රමයෙන් පූජකවරුන්ගෙන් පාලකයන් අතට පත්වුනා. මිනිසුන් පල්ලි යෑම ක්‍රමයෙන් අඩු කළා. ඒත් ඔවුන්ගේ සංස්කෘතිය විවිධ ක්‍රිස්තියානි ආගම් මත පදනම් වෙනවා. කතෝලික ආගම මත කතෝලික චින්තනය මත අද බටහිර රටවල් නැහැ. බටහිර පඬියන්් අනාගමික රාජ්‍ය කියන්නෙ ඇත්තට ම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූනූ විවිධ ක්‍රිස්තියානි සංස්කෘතික රාජ්‍යවලට. වල් මැඩියන් වූ මෙරට පඬියන්ට මේ කපේ දී ඒක තේරෙන එකක් නැහැ.

කාදිනල්තුමාට මේ සියල්ල කෙසේ වැටහෙනවා ද කියන එක මට කියන්න බැහැ. කෙසේ නමුත්් බටහිර රටවල් කතෝලික චින්තනයට පටහැණි බව නම් එතුමාට වැටහෙනවා ඇති. සමලිංගික ප්‍රශ්න, ගබ්සාව සම්බන්ධ ප්‍රශ්න කතෝලික සදාචාරයට එකඟ නැති බව එතුමා දන්නවා. රනිල්ගේ ආණ්ඩුව ඇංග්ලිකන් මිසක් කතෝලික සංස්කෘතියේ නෙවෙයි. මෙරට ප්‍රධාන කතෝලික පූජකවරුන් කුමක් කීවත් මෙරට සිංහල කතෝලිකයන් සිංහල බෞද්ධ සංස්කෘතියට සමීපයි. (හින්දු සංස්කෘතිය වඩාත්ම සමීප බෞද්ධ සංස්කෘතීන්ට). ඒත් මැතිවරණ කාලවල දී නායක පූජකයන් හා ප්‍රභූන් සිංහල කතෝලිකයන් මෙහෙයවනවා. විශේෂයෙන් ම පසුගිය ජනාධිපතිවරණයේ දී හා මැතිවරණයේ දී එසේ වූවා. 

නායක පූජකයන්ට තවමත් තමන්ට විරුද්ධ ඇංග්ලිකන් සංස්කෘතිය මිස සිංහල බෞද්ධ සංස්කෘතිය නොවන බව තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙරට කතෝලික ජනයා ක්‍රිස්තියානි ජනයාට වඩා සංඛ්‍යාවෙන් අධිකයි. ඉංගිරිසින් ඒ නිසා කතෝලික නායක පූජකවරුන් මෙන් ම ප්‍රභූ නායකයන් ද සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව යොදා ගත්තා. කතෝලික ආක්‍රමණය එහි ප්‍රතිඵලයක්. අදත් මේ යොදා ගැනීම කෙරෙනවා. ශාන්ත ජෝසප් විද්‍යාලයේ ලැබෙන්නේත් ඇංග්ලිකන් අධ්‍යාපනයක්. එහි කතෝලික ආගම ඉගැන්වෙනවා ඇති. අපේ කාලයේ දී නම් ඒ ඉගැන්වුයේ සාමාන්‍ය පෙළ ක්‍රිස්තියානි (රෝමානු කතෝලික) ප්‍රශ්න පත්‍රය සඳහා.  

අද අප සියල්ලන්ට ම ඇත්තේ බටහිර ඇංග්ලිකන් යටත්විජිතවාදයෙන් මිදීම. ඒ බව කාදිනල්තුමා නිසියාකාරයෙන් ම තේරුම් ගෙන ඇතැයි මා සිතන්නේ නැහැ. කෙසේ වෙතත් කාදිනල්තුමා පසුගිය දා කළ ප්‍රකාශය වැදගත්. ඒත් එක ප්‍රකාශකයකින් පමණක් නිගමනයකට එන්න බැහැ. සිංහල බෞද්ධයන්ට නැවත නැවතත් රැවටෙන්න බැහැ.       




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 ජූලි 29