Main Logo

Wednesday, 6 July 2016

අවකාශය

අවකාශය

සංකල්ප එක විධියකට එකම අරුතක් දෙන ලෙස පවතින්නේ නැහැ. සංකල්පත් අනෙක් දේ වගේ ම වෙනස් වෙනවා. මා මේ කතාකරන්නේ වෙනස්වීම මිස අනිත්‍ය නොවෙයි. සංකල්ප කියන්නෙ මිනිසුන් හා අනෙක් සත්වයන් විසින් නිර්මාණය කෙරෙන චිත්ත රූප. මා හිතන ආකාරයට අප සසරේ සැරිසරන්නේ මේ සංකල්ප නිර්මාණය කර ඒවාට ඇලීම නිසා. සසර සැරිසරන සෑම සත්වයකුම සංකල්ප නිර්මාණය කරනවා, එනම් සංස්කරණය කරනවා. එසේ කරන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අවිද්‍යාව නිසයි. සංකල්ප නිර්මාණයට භාෂාවක වචන අවශ්‍ය නැහැ. තිරිසන් සතුන්ටත් කුඩා ළදරුවන්ටත් වචන නැහැ. එහෙත් ඔවුන්ට චිත්ත රූප තියෙනවා. සංකල්ප නිර්මාණය කෙරෙන්නෙ සිතෙන්. සිතෙන් සංකල්ප නිර්මාණය කරන්නෙ පෙර සසර පුරුදු වී ඇති පරිදි, මනස ඇතුළු ඉන්ද්‍රියන්ට සාපේක්‍ෂව, මිනිසුන්ගෙ නම් සංස්කෘතියටත් සාපේක්‍ෂව.


බටහිර විද්‍යාවෙ සංකල්ප නිර්මාණය වෙන්නෙ බටහිර චින්තනයෙ ඉහළට ගිය අයගෙන්. ඔවුන් ඒ කරන්නෙ ඔවුන්ගෙ සංස්කෘතියකට සාපේක්‍ෂව, ඔවුන්ගෙ චින්තනය මත පදනම්වෙලා. ඒ චින්තනයට අප ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය කියලා කියනවා. එහි ප්‍රවාදත් නිර්මාණය කෙරෙනවා. අවකාශය කියන සංකල්පය කලක් ඉඳලා තිබුණා. අපේ සංස්කෘතියෙත් තිබුණා. අප පංච මහා භූතයන් ගැන කතාකරනවා. ඒ ආපෝ තේජෝ වායො පඨවි ආකාශ කියලා. එහෙත් බුදුදහමෙහි ආකාශ අයින් වෙනවා. එක් එක් සංස්කෘතීන්වල මේ භූතයන් ගැන කියැවෙන්නේ එක් එක් ආකාරයට. බැබිලෝනියාවෙත් පංච මහා භූතයන් ගැන කියවුණා. ජපානයේත්, තිබ්බතයේත් ග්‍රිසියේත් චිනයේත් පංච මහා භූතයන් ගැන කියැවෙනවා. 

අද සිංහල භාෂාවෙන් භූත කියලා කිව්වම පංචෙන්ද්‍රියන්ට නොදැනෙන බූතයන් ගැන කිව්වත් භූත කියන වචනෙ තියෙන්නෙ පංචෙන්ද්‍රියන්ට දැනෙන පරිදි පවතින කියන අර්ථයක්. භෞතිකය, භෞතවේදය ආදී වචන භූත කියන සංකල්පය ආශ්‍රිතයි. පංච මහා භූත වල ආකාශ හැරෙන්න අනෙක් ඒවා විවිධ සංස්කෘතිවල බොහෝ විට එකම වාගේ අදහසක් ගෙන දුන්න ද ආකාශ කියන එක එසේ නැහැ. ග්‍රීකයන්ට එය ඊතරය වුනා. තිබ්බතයේත් එය යම් ඊතරයක්. බැබිලෝනියාවේ එය අහස වූවා. බැබිලෝනියාවට ආපෝ යන්න මුහුද වූවා. ජපානයේ දී ආකාශ යන්න ශූන්‍ය වැනි අදහසක් දුන්නා. චීනයේ දී පස්වැනි භූතය වෙනත් ම දෙයක් ලෙස ලෝහ වූවා. 

මේ භූත මොන අර්ථයෙන් ගත්තත් සාමාන්‍යයෙන් භෞතික දේ හා සම්බන්ධ කියලා හිතන්න පුළුවන්. අවශ්‍ය නම් අපට ඒවාට රූප කියන්න පුළුවන්. ජපානයේ දී  නම් ආකාශ යන්න ශූන්‍ය වෙලා තියෙනවා. බුදුදහමෙහි එය ඉවත්කරන්න ඇත්තේ එය සිතට දැනෙන  නමුත් පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන දෙයක් නිසා වෙන්න පුළුවන්. ආකාශ රූපයක් නෙවෙයි. බුදුදහමෙහි සිත එළඹෙන ධ්‍යාන ගැන කියන විට ආකාසානංචායතනයක් කියන අරූප ධ්‍යානයක් ලෙස කියැවෙනවා. බැබිලෝනියාවේ අහසත් පේන්න තියෙන දෙයක් ලෙස සලකන්න පුළුවන්.

නිව්ටන්ට අවකාශය කියන සංකල්පය තිබුණා. කාලයත් තිබුණා. කාලය අනෙක් සංස්කෘතිවලත් තිබුණා. එහෙත් කාලය භූත ගණයේ ලා සැලකුණේ නැහැ. අත්ථසාලිනී අටුවාවෙ බුද්ධඝෝෂ හාමුදුරුවන් සඳහන් කර ඇත්තේ කාලය යනු පඤ්ඤත්තියක්, පනවණ ලද දෙයක් කියායි. එය පංචෙන්ද්‍රියන්ට නොදැනෙන සංකල්පයක්. නිවුටන්ගෙ අවකාශය ඉර හඳ ගහකොළ වැනි වස්තු තිබුණත් නැතත් පැවතුණා. කාලය අවකාශයෙහි ගලා ගියා. මිනිසුන් හිටියත් නැතත් නිරීක්‍ෂකයන් හිටියත් නැතත් අවකාශය හා කාලය තිබුණා. එහි නිරපේක්‍ෂ බවක් තිබුණා. 

ආලෝකය පිළිබඳ තරංග ප්‍රවාදයෙන් පස්සෙ ආලෝකයට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වුනා. ඒ තරංග මාධ්‍යයක ප්‍රචාරණය (ගමන් කරන) නිසා. බටහිර විද්‍යාඥයන් ග්‍රීකයන්ගෙන් ඊතරය ගෙන ඒක මාධ්‍යය කරලා ආලෝකයට ගමන් කරන්න සැලැස්සුවා. මාධ්‍යයක් තියෙනවා නම් ඒ ඒ දිශා දිගේ ආලෝකයේ වේගය වෙනස් වෙන්න ඕන. මයිකල්සන් මොර්ලි යන දෙදෙනා පෙන්නුවා ආලෝකයේ වේගය හැම දිශාවකට ම එකයි කියලා. බටහිර විද්‍යාඥයන් ඊතරය විසි කෙරුවා.

අයින්ස්ටයින්ට අවකාශය හා කාලය නිරපේක්‍ෂ වූයෙ නැහැ. ඔහුට අවකාශය හා කාලය වෙන වෙන ම නොව අවකාශ -– කාලයක් ලෙස එකට වූවා. එක් නිරීක්‍ෂකයකුගේ අවකාශ කොටසක් වෙනත් නිරීක්‍ෂකයකුට කාලය වීමට පුළුවන්. අයින්ස්ටයින්ගේ අවකාශ-කාලය වස්තු හා විකිරණ වලින් තොරව පැවතුණේ නැහැ. වස්තු හා විකිරණ නැත්නම් අවකාශ කාලයක් තියෙන්න බැහැ. එහෙත් ඔහුගෙ සමීකරණ විසඳුවම වස්තු හා විකිරණ නැතිවත් අවකාශ කාල තියෙනවා. ඩි සිටර් අවකාශ කාලය එයට හොඳම උදාහරණයක්. දැන් මොකද කරන්නෙ? අවකාශ-කාලය විසිකරමු ද? මේ අරූප සංකල්ප විසිකරලත් බැහැ. 

අරූප සංකල්පත් රුප සංකල්පත් බොරු. අපට අරූප සංකල්ප රූප සංකල්ප බවටත්, රූප සංකල්ප අරූප සංකල්ප බවටත් හරවන්න පුළුවන් ද? රූප සංකල්පවලට වගේ ම අරූප සංකල්පවලටත් ශක්තියක් තියෙන්න බැරි ද? ස්කන්ධයක් නියම කරන්න බැරි ද? ශක්ති සංස්ථිතිය අවකාශ-කාලයටත් විස්තීරණ කරන්න (දික් කරන්න) පුළුවන් ද? ඉලෙක්ට්‍රෝනයකට අවකාශයෙ කොටසක් බවට පත්වෙන්න පුළුවන් ද? අවකාශ හා කාල ප්‍රෝටෝන බවට පත්කරන්න පුළුවන් ද? සංකල්ප හදලා අපි සසර දික්කර ගනිමු ද?





මේ ලිපිය තමන්ට අවශ්ය  පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 ජූලි 06