නිවුටන්ගෙ බලය
නිවුටන්ගෙ කාලෙ (ඔහු උපන්නෙ 1642 දී) බලය කියලා කිවුවෙ ස්පර්ශයෙන් ඇති කරන දෙයකට. යම් වස්තුවකට බලයක් යොදන්න නම් ඒක එක්කො කඹයකින් හරි මොකකින් හරි අදින්න ඕන, නැත්නම් රිටකින් හරි වෙනත් යමකින් හරි තල්ලු කරන්න ඕන. එය අතින් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් වස්තුව ස්පර්ශ වීම එහි දී වැදගත් වුනා. නිවුටන් ගුරුත්වාකර්ෂණ බලය ඉදිරිපත් කළාම ලොකු ප්‍රශ්නයක් මතුවුනා. පොළොව සූර්යයාට ඇද ගන්නෙ මොකකින් ද? කෝ කඹය හරි ඇදගැනීමට යොදන යම් උපකරණයක් හරි කියලා සමකාලීනයො නිවුටන්ගෙන් ඇහුව. නිවුටන් ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියේ නැහැ. දෙන්න උත්තරයක් තිබුණෙත් නැහැ.
නිවුටන්ගෙ වැදගත්කම එතැනිනුත් පැහැදිලි වෙනවා. නිවුටන්ගෙ කාලය වන විටත් බලය පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක්. බටහිර විද්‍යාව වර්ධනය වන්නෙ යම් ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට වියුක්ත කතන්දරයක් ගෙතීමෙන්. නිවුටන්ට මෙහි දී තිබුණ ප්‍රශ්න දෙකක්. එකක් පොළොවට පොල් (ඇපල්) වැටෙන්නෙ ඇයි ද කියන එක, අනෙක පොළොව ඉර වටා යන්නෙ, හඳ පොළොව වටා යන්නෙ කොහොම ද කියන එක. එක ප්‍රශ්නයක් පොළොවෙ, අනෙක පොළොවෙන් පිට අහසෙ. මෙතන දි අප ගැලීලියො ගැනත් කතාකරන්න ඕන. ගැලීලියො මියගියෙ නිවුටන් උපන් අවුරුද්දෙ. ගැලීලියො පොළොවෙ හා පොළොවෙන් පිට අහසෙ තියෙන්නෙ එකම ක්‍රමයක් කියලා පෙන්නලා තිබුණා.
කතෝලික චින්තනයේ පොළොව හා පොළොවෙන් පිට දෙකක් ලෙස සැලකුවෙ. පොළොවෙ ක්‍රමය නෙවෙයි, පොළොවෙන් පිට ක්‍රියාත්මක වුනෙ. ස්වර්ගය හා පොළොව සම කරන්න බැහැ. ගැලිලියො තම දුරේක්‍ෂය මගින් පොළොවෙ තියෙන වස්තු විතරක් නෙවෙයි ග්‍රහවස්තුත් බැලුව. ඒ අවස්ථා දෙකේ ම ක්‍රියාත්මක වෙන්නෙ එකම ක්‍රමයක් කියලා ගැලීලියො පෙන්නුවා. ඒක වැදගත් දෙයක්. ග්‍රීකයනුත් පරමාදර්ශි බවක් පොළොවෙන් පිට වස්තුවලට ලබා දීලා තිබුණා. ගැලීලියො මේක වෙනස් කළා. නිවුටන්ට ඒ කාරණේ වැදගත් වුනා. පොළොවට ඇපල් වැටෙන්නෙත් පොළොව සූර්යයා වටේ යන්නෙත් එකම බලයක් ක්‍රියාත්මක වීමෙන් කියලා කියන්න නිවුටන්ට පසුබිම සකස් කරලා තිබුණෙ ගැලීලියො. නිවුටන් අර ප්‍රශ්න දෙකට ම දුන්න පිළිතුර තමයි ගුරුත්වාකර්ෂණ බලය කියන එක.
මෙතන දි කරුණු දෙකක් නොකියා ම බැහැ. එකක් ගුරුත්වාකර්ෂණය ගැන අදහස් භාරත දේශයේ තිබිල තියෙනවා. ඒත් ඔවුන්ට නිවුටන්ට තරමට වියුක්ත චින්තනයක් තිබුණෙ නැහැ. දෙවැනි කරුණ තමයි පස්වැනි සියවසේ දී පමණ ලංකාවෙ භික්‍ෂූන් වහන්සේ දුරේක්‍ෂ යොදගෙන තිබෙනවා. එක් නැවක වැඩම කළ භික්‍ෂූන් වහන්සේ නමක් වෙනත් නැවක ගමන් කළ භික්‍ෂූන් වහන්සේ දැකීමට දුරේක්‍ෂයක් යොදාගෙන තියෙනවා. අභයගිරිය කැණීම්වල දී කාච විශාල ප්‍රමාණයක් හමු වී තිබෙනවා. ඒත් අපට එදත් වියුක්ත චින්තනයක් තිබුණේ නැහැ. අදත් නැහැ.
අදත් ඇතැම් ඉන්දියානුවන්ට අපට වඩා වියුක්ත චින්තනයක් තිබෙනවා. ඒක බ්‍රාහ්මණ සම්ප්‍රදායෙන් උරුම වූ එකක්. කලිනුත් මා සඳහන් කර ඇති ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලැබූ ලාංකිකයන් ඉන්නෙ එක් අයකු පමණයි. ඔහු සිංහල නමුත් බෞද්ධ නෙවෙයි. එහි අධිසාමාජිකයන් 1600ක් පමණ අතර ඉන්දීය සම්භවය ඇති අය තිහක් හතළිහක් පමණ ඉන්නවා. රාජකීය සංගමයේ සභාපති ධුරයට පසුගිය වසරේ පත්කරගත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ව්‍යුහාත්මක ජීවවිද්‍යාඥයකු වූ වෙන්කට්රාමන් (වෙන්කි) රාමක්‍රිෂ්ණන් කියලා තමිල්නාඩුවේ උපත ලද්දෙක්. ඔහු ඒ පදවියට පත් පළමු ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තා. නිවුටන් ද මේ පදවිය දරා තිබෙනවා. වෙන්කි 2020 වෙනකන් ඒ ධුරය දරාවි. ඔහුට 2009 දී රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ද ලැබුණා. මා මේවා අගය කරනවා නෙවෙයි. ඒත් සිංහල බෞද්ධයන් බුදුදහම විද්‍යාත්මක කියලා කියන කොට මට අහන්න වෙනවා ඇයි ඒ කාටවත් ලන්ඩනයේ රාජකීය සංගමයේ සභාපති නෙවෙයි, අධි සාමාජිකයකු වන්නවත් බැරි කියලා. නොබෙල් තෑග්ග ගැන කතාකරලා වැඩක් නැහැ. බුදුදහම විද්‍යාත්මක නම් සිංහල බෞද්ධයන්ට හරිහමන් විිද්‍යාඥයන් වෙන්න බැරි ඇයි?
නිවුටන්ගෙ ගුරුත්වාකර්ෂණ බලය වියුක්ත එකක්. එය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ලංකාවෙ රසායන විද්‍යාඥයකු ඉන්නවා ඔහු කියන්නෙ ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර බවයි. ඒත් ඒ කුමන ඉන්ද්‍රියට ද කියලා ඔහු කොහොමටවත් කියන්නෙ නැහැ. නිවුටන් දැනගෙන හිටියා ගුරුත්වාකර්ෂණ බලය පංචෙන්ද්‍රිය ගෝචර නැති බව. එබැවින් ඔහු පොළොව හා ඇපල් ගස් අතර හරි පොළොව හා සූර්යයා අතර හරි කඹ, රිටි ආදිය පෙන්නන්න ගියේ නැහැ. ඔහු දැනගෙන ඉන්න ඇති තමන් ගුරුත්වාකර්ෂණ බලය ඉදිරිපත් කිරීමෙන් බලය පිළිබඳ සංකල්පය ද වෙනස් කරන බව. ඒත් ඒ කොහොමද කියන එක ඔහු හරිහැටි දැනගෙන හිටියෙ නැහැ. ඒක පස්සෙ කාලෙක දි මැක්ස්වෙල් කියලා දුන්නා ඔහුගෙ විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය මගින්. බලය කියන සංකල්පය පංචෙන්ද්‍රිය ගෝචර තැනකින් පංචෙන්ද්‍රිය ගෝචර නොවන තැනකට ගෙන යන්න නිවුටන් සමත් වුනා. ඔහු ගුරුත්වාකර්ෂණ බලය ඉදිරිපත් කෙළේ ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවලයි. මේ රාමුත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඒවත් පට්ටපල් බොරු. අපි ඒ ගැන පස්සෙ කතා කරමු.
නිවුටන්ගෙ ගුරුත්වාකර්ෂණ බලය පට්ටපල් බොරුවක්. නිවුටන් කෙළේ අහසේ හා පොළොවේ ප්‍රශ්න දෙකකට පිළිතුරු ලෙස වියුක්ත සංකල්පයක් ඉදිරිපත් කිරීම පමණයි. ඒකෙන් ප්‍රශ්නවලට ඊනියා පිළිතුරක් ලැබුනා. ඒත් පිළිතුර පැහැදිලි නැහැ. අද පාසල් යන ළමයිනුත් කියාවි ගුරුත්වාකර්ෂණ බලය කියා එකක් තියෙනවා කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක දැනෙන්නෙ නැති එක විතරයි. නිවුටන්ට තම සංකල්පය ඉදිරිපත් කිරීමෙදි විරුද්ධවාදීන්ට දෙන්න පැහැදිලි කිරීමක් නොතිබුණත් බටහිර විද්‍යාවෙ සම්ප්‍රදාය බිහිකරපු පුරෝගාමියකු හැටියට ඔහුට තම වියුක්ත කතන්දරය ගැන ආත්මවිශ්වාසයක් තිබුණා.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 ජූලි 30