ගොඩනැගුණු සිංහල ජාතිය
සිංහල ජාතිය හා සිංහල බෞද්ධ සංස්කෘතිය එක රැයකින් ගොඩනැගුණක් නො වේ. ඉංගිරිසි කියමනක් තියෙනවා රෝමය එක දිනකින් ගොඩනැගුණේ නැති බවට. මේ කියැවෙන්නේ රෝමය කියන නගරය ගැන පමණක් නො වේ. පැරණි කාලයේ දැන සිටියේ ඉතාලිය කියන රට ගැන නොව රෝමය ගැනයි. ලංකාවේ අපත් දකුණු අප්‍රිකාවේ අයත් රෝම ලන්දේසි නීතිය ගැන මිසක් ඉතාලි ලන්දේසි නීතියක් ගැන දන්නේ නැහැ. අප දන්නේ රෝමානු කතෝලිකයන් ගැනයි. එදා කෙසේ වෙතත් අද වතිකානුව රෝමයේ එක් ප්‍රදේශයක පිහිටි ස්වාධීන රාජ්‍යයක්. එය ඉතාලියට යටත් නැහැ. එය අනාගමික රාජ්‍යයක් කියලා ලංකාවෙ පඬියකුවත් කියන එකක් නැහැ.
එකල රෝමයේ පාලකයන් ආමන්ත්‍රණය කරලා තියෙන්නෙ රෝමන්ස් ඇන්ඩ් කන්ට්‍රිමන් කියලා. එ කාලෙ රටවැසියා කියන සංකල්පය තිබිලා නැහැ. අදත් ඉංගිරිසියෙන් රටවැසියාට කියන්නෙ සිටිසන්, එනම් පුරවැසියා කියලා. සිටිසන් සිංහලට පරිවර්තනය කරන විට පුරවැසියා කියලත් කියනවා. ඒ වචනාර්ථය පමණක් සැලකීමෙන්! සංකල්පවලට, වචනවලට කාලයත් සමග වෙනත් ම අර්ථ ලැබෙනවා. කෝට්ටේ යුගයේ කතුන් ගැන කියන විට ඉඟ සුඟ ගත හැකි මිටින කියලා කිව්වා. ඒත් අද සුඟ, එනම් හුඟ කියලා කියන්නෙ ටිකකට පොඩ්ඩකට නො වෙයි. නගරය තමයි එකල ප්‍රධාන වුනේ, රට නොවෙයි. ග්‍රීසියෙ තිබුණෙ පෞර රාජ්‍ය. ඒත් එක වර්තමාන බටහිර උගතුන් හදාගත්ත සංකල්පයක්. ඒ කාලෙ හිටපු අය ඒවාට පෞර රාජ්‍ය කියන්න නැතුව ඇති. ඇතන්ස් නගරයේ වැසියන් ඇතීනියන් වූවා. රට කියන සංකල්පය ඇති වූවාට පස්සෙ රටවැසියා හැඳින්වීම සඳහා ඉංගිරිසියෙන් පුරවැසියා කියන නාමය ම යොදාගත්තා. අදත් කන්ට්‍රි කියන එකෙන් රටට අමතරව නගරයෙන් පිට කියන තේරුමක් දෙනවා.
ඒ බටහිර. අප අසල්වැසි චේර, පාණ්ඩ්‍ය, චෝල ගැන අසා තිබෙනවා. එසේම වංගය කාලිංගය ගැන දන්නවා. ශාක්‍ය කෝලිය වංශ ගැන මෙන් ම මෞර්ය වංශය ගැනත් දන්නවා. සිංහ ගෝත්‍රය ගැන විශේෂයෙන් දන්නවා. වර්තමාන සිංගප්පූරුවත් සිංහයන්ගෙ පුරයක්. විජය විතරක් නොවෙයි, අශෝකත් සිංහ ගෝත්‍රයේ. ඔහු ඒ ගෝත්‍රයේ මුරා නම් තැනැත්තියකගෙන් පැවත ආ මෞර්ය වාංශිකයෙක්. ඔහු මෞර්ය වී ඇත්තේ මවගේ නමින්. දේවානම්පිය තිස්ස රජුගෙන් පසු ඇතැම් සිංහල රජවරු මෞර්ය වුනේ නම් මුරාගෙන් පැවත ආ නිසා නොවෙයි. මෙරට වම්ම නමින් හැඳින්වූ රජවරුන් වර්මන්ලාගේ ආභාසය ලැබුවන්.
ඉහත සඳහන් චේර ආදී සියල්ල එකම වර්ගීකරණයක් යටතේ කියන්න බැහැ. එතන වංශ, ගෝත්‍ර වගේ ම ජනවර්ගත් තිබෙනවා. චේර කියන්නෙ වංශයක් නොවෙයි. ගෝත්‍රයක්වත් නො වෙයි. අපට අද යෙදෙන සංකල්පවලින් නම් කියන්න පුළුවන් ජනවර්ගයක් කියලා. ඒත් ඒ කාලෙ ඒ සංකල්පය තිබුණෙ නැහැ. ඒ මිනිසුන් තමන් ව හඳුනගත්තෙ කොහොමද කියලා කියන්න බැහැ.ගෝත්‍රය ට්‍රයිබ් අර්ථයෙන් නම් තිබිලා නැහැ. වංශ නම් තිබිල තියෙනවා.
ලංකාවෙ ය’ක්‍ෂ, නාග, දේව වගේ ම අර්ධ නාග අර්ධ රාක්‍ෂස මිනිසුන් වාසය කර තිබෙනවා. පඬියන් ඔවුන් හඳුන්වන්නේ ගෝත්‍ර හැටියට. අප්‍රිකානු ගෝත්‍ර වගේ ම ස්වදේශික ඇමරිකානු ගෝත්‍ර ගැනත් පඬියන්ගේ ස්වාමිවරුන්වූ සුද්දන් කියනවා. ගෝත්‍ර කියන එක බටහිරයන්ගෙ සංකල්පයක්. ජනවර්ගය කියන එකත් බටහිරයන්ගෙ. බටහිරයන් මේ ගෝත්‍ර, ජනවර්ග ආදිය ජාතිය කියන සංකල්පයට පහතින් තියනවා. ගෝත්‍ර කියන එකට ඉංගිරිසියෙන් කිවුවෙ ට්‍රයිබ් කියලා. එහෙමත් නැත්නම් ඉංගිරිසි සුද්දන්ගෙ ට්‍රයිබ් කියන එක අප ගෝත්‍ර කියලා සිංහලට පෙරළා ගත්ත. ඒත් අපේ ගෝත්‍රය හා ට්‍රයිබ් කියන්නෙ එකක් ම ද කියන ප්‍රශ්නය එනවා.
අපේ සංස්කෘතියෙ කුලගොත් විචාරනවා කියල ව්‍යවහාරයක් තියෙනවා. ජාතියක් ජම්මයක් නැති එවුන් ගැන අප කතාකරනවා. මා මේ කියන්නේ ඊනියා ජාත්‍යන්තර පඬියන් ගැන ම නෙවෙයි. කුලගොත් කියන තැන ගොත් හෙවත් ගෝත්‍ර කියන්නෙ සුද්දන්ගෙ ට්‍රයිබ් නම් නො වෙයි. පඬියන් නම් ජාත්‍යන්තරයි. ජාත්‍යන්තර කියලා හදාගෙන තියෙන්නෙ සුද්දන්ගෙ ඉන්ටනැ’ෂනල් කියන එක. ඒක සිංහලට සමහර වෙලාවට අන්තර්ජාතිකත් වෙනවා. පඬියන්ට තේරෙන්නෙ නැහැ ඉන්ටර්නැෂනල් වෙන්න පළමුවෙන් නේෂන් තියෙන්න ඕන කියලා. පාසල් යන කාලෙ අන්තර්පාසල් තරග, අන්තර්නිවාස තරග තිබුනෙ පාසල් අතර හරි නිවාස අතර හරි කියන එක පඬියන් දන්නෙ නැතිව ඇති. අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නෙ නම් කුණුහරුපයක්. ඒක එකතුවක් ද මොකක් ද?
අප ජාතිය කියන්නෙ නේෂන් කියන එකට ද කියන එකත් ප්‍රශ්නයක්. පඬියකු කියන්න බැරි නැහැ සුද්දන් එන්න කලින් මෙහෙ ජාතියක් තිබුනෙ නැහැ කියලා. කොහොමටත් බටහිර ජාතීන් ඇතිවෙලා තියෙන්නෙ ධනපති විප්ලවයෙන් පස්සෙ. ඉතින් කොහොමද සිංහල ජාතිය ඊට ඉස්සෙල්ලා තියෙන්නෙ කියලා පඬියකු අහන්න බැරි නැහැ. ජාතිය වගේ ම නේෂන් කියන එකත් උපත සමග බැඳිලා තියෙන්න. ජාන කියන සංකල්පයත් හදාගෙන තියෙන්නෙ ඒ විධියටයි. නේෂන් කියන වචනෙත් මුල උපත. නේටිව් වගේ ම නත්තලත් උපත සමග බැඳිලා. අප සිංහලෙන් මොකක්දෙ මේකෙ (සපත්තුවෙ, කාරෙකේ) ජාතිය කියලා අහනවා. ඒකත් එක්තරා ආකාරයකින් උපත, නිෂ්පාදනය, සමග බැඳිලා තියෙන දෙයක්. ඒත් සිංගිරිසි කතාකරන ගුවන්විදුලි නිවේදිකාවක්වත් මොකක් ද මේ සපත්තුවෙ (නැහැ ශූ එකේ) නේෂන් එක කියලා අහන්නෙ නැහැ. සුද්දන්ගෙ ආධිපත්‍යය නිසා අපට ඔවුන්ගෙ සංකල්ප යොදාගන්න වෙනවා. ඒත් පරෙස්සමෙන්! පරිවර්තනය කරන විට වඩාත් පරෙස්සමෙන්!!
සිංහල සාහිත්‍යයේ වංශ කතා තියෙනවා. අප සමහර වෙලාවට වංසෙ කබල් ගෑම ගැනත් කියනවා. අපට මේ හැම වංසෙකට ම වැඩිය මහාවංසෙ ලොකුයි. ඇයි ඒකට මහාවංශය කියන්නෙ. ඒක රජවරුන්ගෙ වංශය හින්ද ද? එහෙම නම් රාජවංශය කියන්න තිබුණා. කොහොමටත් පස්සෙ කාලෙක දී රාජාවලිය කියලා පොතක් ලියවුනා. අපට පූජාවලියකුත් තියෙනවා. මහාවංශය ලියලා තියෙන්නෙ දීපවංශයට අවුරුදු සියයකට විතර පස්සෙ. මහාවංශයෙ තියෙන්නෙ සිංහල ජාතියෙ ඉතිහාසය. ඒකත් බටහිර හිස්ටරි එහෙම නම් නෙවෙයි. සිංහල ජාතිය හැදුනෙ නම් ධනපති විප්ලවයට බොහොම කාලෙකට ඉස්සර. මහාවංශය ලියන කාලෙ තමයි සැක්සන්වරු ජර්මනියෙ ප්‍රදේශයකින් එංගලන්තයට ගියෙ. නෝමන්වරු ප්‍රංසෙ එක් පැත්තකින් එංගලන්තෙට ගියේ ඊටත් පස්සෙ අප පොළොන්නරුවට යන කාලෙ. අටවැනි හෙන්රි රජවෙන කොට කෝට්ටෙ. ඉංගිරිසින් ජාතිය කියල කියන එකට, එහෙමත් නැත්නම් මාක්ස්වාදීන් ජාතිය කියල කියන එකට තියෙන්න ඕන නිර්ණායක අපට පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලෙත් අනුරාධපුරේ තිබුණා. ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ ලංකාවෙ ම තිබුණා. අපි හීන්සිරුවෙ මේවා ගැන කතාකරමු. අපට අමුතුවෙන් ජාතියක් ගොඩනගන්න ඕන නැහැ. දැන් තියෙන්නෙ මේ ගොඩනගල තියෙන ජාතියට වෙනත් අය ඇතුල් කරන්නෙ කොහොම ද කියන ප්‍රශ්නෙ. ජාතියක් ගොඩනගන්න කතාකරන්නෙ සිංහල ජාතිය නැති කරන්න.
මේ ලිපිය තමන්ට අවශ්යෙ පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 ජූලි 09