Main Logo

Tuesday 12 July 2016

රට විනාශවීම 3

රට විනාශවීම 3

රනිල් වැඩ කරන්නෙ බටහිරට හා ඉන්දියාවට ඕන විධියට. ඔහු පාර්ලිමේන්තුව ගණන් ගන්නෙ නැහැ. අධිකරණ තීන්දුත්  වෙනස් කරන්න හදනවා. එතකොට කියනවා පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා. ඒ වුනත් ඔහු වැට් බැද්ද වැඩි කෙරුවෙ අදාළ පනතට විරුද්ධව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව. අධිකරණය වැට් බද්ද වැඩි කිරීම අතුරු නියෝගයකින් දැනට තහනම් කරලා. ඒ වුනත් රනිල් පාර්ලිමේන්තුවෙදි පනතක් ගෙනල්ල ඒකට අනුමැතිය අරගනීවි මැයි මාසෙ ඉඳන් ම වැඩි කරන විධියට. ඒකට මෛත්‍රිපාල කණ්ඩායමට ඡන්දය දෙන්න වේවි. නැත්නම් මෛත්‍රිපාලව තියලා ආණ්ඩුවෙන් යන්න වේවි. මෛත්‍රිපාල කොහෙ යන්න ද?


මෛත්‍රිපාල කියනවා විදේශීය විනිසුරුවන් පත්කරන්නෙ නැහැ කියලා. ඒත් අර ජෙනීවා මානව හිමිකම් කුමාරයයි එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලුයි කියනවා එහෙම බැහැ. ගිය අවුරුද්දෙ ලංකාණ්ඩුවේ අනුග්‍රහය ද ඇතිව ඉදිරිපත් කරපු ජෙනීවා යෝජනාව අනුව කටයුතු කළ යුතුයි කියලා. ඒ යෝජනාව අනුව විදේශීය විනිසුරුවන් ද රැගත් හයිබ්‍රිඩ් එනම් දෙමුහුන් අධිකරණ පිහිටුවන්න ඕන. දැන් මෛත්‍රිපාල ඔය යෝජනාව ඉදිරිපත් කරන කාලෙ කොහෙද හිටියෙ? ඒ දවස්වල ඔහු ඒකට විරුද්ධ වුනෙ නැත්තෙ මොක ද? 

ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලංකාවෙ අධිකරණ කටයුතු මෙරට අධිකරණයෙ කටයුත්තක්. ඒක ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්.ජනතා පරමාධිපත්‍යයේ විධායකය ජනාධිපති මගිනුත් ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව මගිනුත් අධිකරණ කටයුතු මෙරට අධිකරණය මගිනුත් සිද්ධ විය යුතුයි. ඒක සාමාන්‍ය විධියට වෙනස් කරන්න බැහැ. වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක බහුතරයකුත් ජනමතවිචාරණයකුත් අවශ්‍ය වෙනවා. දැන් රනිල්ට ඕන හොර පාරෙන් ඒක වෙනස් කරන්න. 

ඔහු පසුගිය දා පාර්ලිමේන්තුවට කිවුවෙ 2006 දි අධිකරණය දීපු තීන්දුවක් පාර්ලිමේන්තු බලතල ඉක්මවා ක්‍රියාකිරීමක් ලෙස තීන්දු කිරීමට සොයා බලන ලෙස. ඔහු කතානායකට ඒ බව පැවසුවා. 2006 දී නල්ලරත්නම් සිංගරාසා කියලා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවකු වී සිර දඬුවම් විඳි පුද්ගලයකු තමාට එරෙහිව දුන් තීන්දුවට විරුද්ධව ජෙනීවා මානව හිමිකම් කමිටුවට (මෙය මානව හිමිකම් කුමාරයාගේ මණ්ඩලය නොවෙයි) පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සම ඔහු ඉදිරිපත් කෙළේ චන්ද්‍රිකාගෙ කාලෙ දි ලංකාව සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජත්‍යන්තර ප්‍රඥප්තියකට අත්සන් කරලා තිබුණ නිසා. ජෙනීවා මානව හිමිකම් කමිටුව සිංගරාසාට වරදක් සිදු වී ඇති බව පවසමින් ඔහු නිදහස් කරන ලෙස හෝ නැවත නඩුව විභාග කරන ලෙස හෝ කියා සිටියා. සිංගරාසා ඒ අනුව අධිකරණයට ගියා. අධිකරණය සරත් සිල්වා විනිසුරු ප්‍රධාන පස්නෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් මගින් තීරණය කළා ලංකාවේ අධිකරණයට ඇඟිලි ගසන්නට වෙනත් කිසිම ආයතනයකට බැහැ කියා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඒ ප්‍රඥප්තියට අත්සන් කළාට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන නැති බව  අධිකරණය පෙන්වා දුන්නා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව අත්සන් කර තිබූ පමණින් අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැසීමට වෙනත් කිසිම ආයතනයකට බැරි බවත් එසේ වෙනස් කිරීම සාමාන්‍ය ආකාරයකට බැරි බවත් එය ජනතාවගේ පරමාධිපත්‍යයට පටහැණි බවත් එසේ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමතවිචාරණයකින්  සම්මත කළ යුතු බවත් අධිකරණය තීන්දු කළා. දැන් රනිල්ට අවශ්‍ය මේ තීන්දුව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන ජනතාවගේ ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යයට පටහැණි බවට කතානායක ලවා තීන්දු කරවීමට හැකි ද යන්න සොයා බැලීමට. මේ සම්බන්ධයෙන් කතානායකට ගත හැකි තීන්දුව කුමක් ද? විගණකාධිපති ආර්ථික විද්‍යා විශේෂඥයකු නොවන බව කියන එ ජා පක්‍ෂය කතානායක නීති විශාරදයකු ලෙස පිළිගන්නේ ද? 

එ ජා ප විහිළු තර්ක කෙසේ වෙතත් අද අප හමුවේ ඇත්තේ වැදගත් ප්‍රශ්නයක්. ආණ්ඩුව මේ එන්නේ මොකාට ද කියලා පැහැදිලියි. ජෙනීවා කුමාරයාට හා බටහිරයන්ට අපට හයිබ්‍රිඩ් අධිකරණ පවත්වන ලෙස බලකළ හැකි ද? ආණ්ඩුව පසුගිය වසරේ ජෙනීවා යෝජනාවට අනුග්‍රහය දැක් වූ පමණින් ලංකාව ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට බැඳී ඇත් ද? අර උපදෙස් දීමට පැමිණි සුද්දා මේ සම්බන්ධයෙන් යමක් කීවේ ද? මා නීතිඥයකු නොවන බව කවුරුත් දන්නවා. කිසිම කරුණක් පිළිබඳවවත් ආධිපත්‍යය දරණ පුද්ගලයන් සිටින්න බැරි යැයි මා බෞද්ධයකු වශයෙන් සිතනවා. ෆෙයරාබන්ඩ් අගේන්ස්ට් මෙතඩ් කෘතියෙහි ඉතා වැදගත් කරුණක් පෙන්වා දෙනවා. නඩු විභාගවල දී ජූරි සභාවලට පත්කරන්නේ නීතිඥයන් නොවෙයි. එහෙත් ඔවුන් තීන්දු ගන්නවා. ඔවුන්ට විනිසුරු නීතිය පහදා දෙනවා, එහෙත් ආධිපත්‍යයක් පතුරවන්නේ නැහැ. 

මා තර්ක කරන්නේ අපේ ව්‍යවස්ථාව් ඇති ජනතා පරමාධිපත්‍යය අන්සතු කිරීමට නොහැකිය යන කරුණ මතයි. ආණ්ඩුවකට බලය ලැබෙන්නේ පරමාධිපත්‍යය රැකීමට මිස අන්සතු කිරමට නො වෙයි. ආණ්ඩුවකට තමන් හිතූ හීිතූ දේට විදේශීය රටවල් සමග එකඟතාවන්ට පැමිණෙන්නට බැහැ. ඒ ගිවිසුම්වලට සීමා තිබෙනවා. කතානායකටත් තමන් කැමති ආ කාරයකට තීන්දු දෙන්න බැහැ. පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන්න පුළුවන්. අධිකරණයට එහි දී බලපෑම් කරන්න බැහැ. අධිකරණය නීති විවරණය කරනවා. එහි දී පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න බැහැ.  

ආණ්ඩුව තම පැවත්ම හා ස්වාමිවරුන් සඳහා පාර්ලිමේන්තුව හා අධිකරණය අතර ගැටුමක් මවමින් සිටිනවා. අපේ පරමාධිපත්‍යයෙන් කොටසක් අප පාර්ලිමේන්තුවටත් තවත් කොටසක් අධිකරණයටත් දී තිබෙනවා. මේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය ම නොවෙයි. ඒ කෙසේ වෙතත් අප කිසිවකුට බලය  දී නැහැ අපේ පරමාධිපත්‍යය ගිවිසුම් මගින් හෝ වෙනත් ආකාරයකට හෝ අන්සතු කිරීමට. අපේ අධිකරණය හා සම්බන්ධ පරමාධිපත්‍යය ජෙනීවා කුමාරයාට සතු කිරීමට මංගලට හෝ වෙනත් අයකුට හෝ බලයක් නැහැ. අපේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමට මෛත්‍රිපාලට පුළුවන් ද? 

විසිවැනි දා නැවත හමුවෙමු.



මේ ලිපිය තමන්ට අවශ්යෙ පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ. 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)





නලින් ද සිල්වා

2016 ජුලි 12