Main Logo

Sunday 3 July 2016

රනිල් නැවතත් දිනුම්

රනිල් නැවතත් දිනුම්

අප කියා සිටියේ මහා බැංකු අර්බුදය අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවත් එය අගමැති හා ජනාධිපති ධුර අතර ප්‍රශ්නයක් බවත් ය. වඩාත් බලය ඇත්තේ ජනාධිපතිට ද? අගමැතිට ද? ව්‍යවස්ථාව අනුව නම් තවමත් වැඩි නිල බලය ඇත්තේ ජනාධිපතිට ය. එහෙත් බලය ජනාධිපති ධුරය දරන තැනැත්තාගේ ශක්තිය මත ද රඳා පවතියි. ඔහුට කෙතරම් ජනබලයක් හිමි ද? ඔහුට අද රට පාලනය වන ආකාරය අනුව කෙතරම් විදේශීය රටවල ශක්තිය හිමි ද ආදිය එහි දී වැදගත් වෙනවා. මෛත්‍රිපාලට ඇත්තේ කිසිම ජනබලයක්, ජනපදනමක් නොමැති ඇමතිවරුන් කිහිප දෙනකුගේ ආධාරය පමණයි. රනිල්ට එසේ නොව මහින්දට තරම් නැති වුවත්  එ ජා පක්‍ෂය වටා ඇති යම් ජන බලයක් තිබෙනවා. එමෙන් ම බටහිරයන්ගේ හා ඉන්දියාවේ ද ශක්තිය තිබෙනවා. සටනින් ජයගැනීමට නම් මෛත්‍රිපාල ජනාධිපති බලතල යොදා ගනිමින් මහින්ද අගමැති කළ යුතුව තිබුණා. එහෙත් ඒ සඳහාවත් ඔහුට ශක්තියක් තිබුණේ නැහැ. ක්‍රිකට් භාෂාවෙන් කියන්නේ නම් සඳුදාට නිම වීමට තිබූ ටෙස්ට් තරඟය රනිල්ගේ කණ්ඩායම සෙනසුරාදා ම ඉනිමකින් ජයගත්තා. 


මහා බැංකු අධිපති ධුරයට පත්වී සිටින ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකළ බව පැවසෙනවා. එහෙත් ඔහු වඩා ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයකු ලෙසයි. හැත්තෑවේ දශකයේ ඔහු ලංකා රගර් කන්ඩායමේ නායකත්වය දරා තිබෙනවා. ඔහු මූලික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයේ දී ලබාගත්තා. ඔහුගේ පියා ද පියාගේ පියා ද එම විද්‍යාලයේ ඉගෙනීම ලබා තිබෙනවා. ඔහු රනිල් දිනේෂ් ආදීන්ට පංතියකට පහළින් ඉගෙනුම ලබා ඇති බව කියැවෙනවා. එහෙත් ඔහු ටික කලෙකින් එංගලන්තයේ හැරෝ නම් සුප්‍රසිද්ධ පෞද්ගලික පාසලට ඇතුළු වී තිබෙනවා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ද සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා තිබෙනවා.

ඔහු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකාවක වූ රධිකා කුමාර්ස්වාමිගේ වැඩිමහල් සොහොයුරා. ප්‍රසිද්ධ සිවිල් සේවකයකු හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සේවය කළ රාජේන්ද්‍ර හෙවත් රාජු කුමාරස්වාමිගේ පුතා.  ඉන්ද්‍රජිත් ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ පදවියක් ඇතුළු විවිධ තනතුරු දරා ඇත්තේ කලක් මහා බැංකුවේ සේවය කිරීමෙන් පසුවයි. මා මේ පසුබිම  සඳහන් කෙළේ රනිල් පදවිවලට පත්කිරීමේ දී සලකන නිර්ණායක හා රටේ තවමත් ආධිපත්‍යය දරන්නේ කවුරුන් ද යන වග මතක් කිරීමටයි. බමුණු කුලය බිඳ වැටී නැහැ.

අර්ජුන් මහේන්ද්‍රන් පත් නොකිරීම මෛත්‍රිපාල ලැබූ ජයග්‍රහණයක් ලෙස මෛත්‍රීපාල පිළ සඳහන් කරාවි. එහෙත් අවශ්‍ය නම් කෙනකුට කිවහැක්කේ මෛත්‍රිපාලට අවශ්‍ය පුද්ගලයා ද පත් නොකෙරුණු බවයි. මෙහි දී අවසානයේ දී පත් කෙරුණේ රනිල්ට අවශ්‍ය අයකු බවත් රනිල් නැවතත් ජයග්‍රහණය කර ඇති බවත් සැඟවිය නොහැකියි්. ප්‍රශ්නය වූයේ අර්ජුන් පත්කරනවාද නැද්ද යන්න නොව පත්කරන්නේ කාහට අවශ්‍ය අයකු ද යන්නයි. රනිල් මෛත්‍රිපාල අරගලයේ දී අර්ජුන් තවත් උත්තේජකයක් වූවා පමණයි. අර්ජුන් කොහොමටත් නිිර්දෝෂී බව පෙන්වාවි. ඔහුට විරුද්ධව කෝප් කමිටුවට කළ හැකි දෙයක් නැහැ. විගණකාධිපති වාර්තාවේ කුමක් සඳහන් දැයි අපට නිල වශයෙන් දැනගත හැකි වන්නේ නැහැ.

ඉන්ද්‍රජිත් එට්කා ගිවිසුම සම්බන්ධ කටයුතුවල ප්‍රධානියකු බව කියැවෙනවා. දැන් මහා බැංකුවේ අධිපති ලෙස එහි දී ඔහුගේ මතයට, එනම් රනිල් - මලික් මතයට තවත් බරක් එකතු වෙනවා. එපමණක් නොවෙයි, ඔහු ඊළාම්වාදී රාජ් රාජරත්නම්ගේ ගැලියොන් නම් සමාගමේ මූල්‍ය උපදේශකයකු ලෙස  ද කටයුතු කර ඇතැයි කියැවෙනවා. මේ සමාගම මුදල් වංචාවක් හේතුවෙන් වසා දමා ඇතැයි කියවෛන අතර රාජ් රාජරත්නම් ඊලාම්වාදය සඳහා මූල්‍යමය වශයෙන් ද ආධාර කර ඇති බව ප්‍රසිද්ධ කරුණක්. 

අද ඉන්ද්‍රජිත් පත්කර ඇත්තේ රනිල් විසින් ක්‍රියාත්මක කෙරෙන බටහිරගැති ඉන්දීය ආධිපත්‍යයට යටත් ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මිස මෙරට ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා නොවෙයි. මෛත්‍රිපාලට කළ හැක්කේ මං දිනුවා කියමින් පම්පොරි ගැසීම පමණයි. ඔහුට දිනිය හැක්කේ මහින්ද අගමැති කිරීමෙන්. පමණකි. ඒත් ඔහුට එසේ කිරීමට බැහැ. 




මේ ලිපිය තමන්ට අවශ්ය  පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2017 ජූලි 03