Main Logo

Sunday 12 February 2023

කවුද රජා

 කවුද රජා

 

ඊයේ මගේ ලිපියේ මෙසේ සඳහන් වුණා. “එක් කුලයක්වත් එක් ප්‍රදේශයක්වත් අනෙක් කුලයකට ප්‍රදේශයකට වඩා උසස් නැහැ.”  ලිපියේ තීන්ත වේලීමටත් පෙර පඬි නැට්ටකු අසා තිබුණා එක් ජාතියක් ආගමක් අනෙක් ජාතියකට ආගමකට වඩා උසස් කියා. පිළිතුර නැහැ යන්නයි. ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එයට එක් හේතුවක් වන්නේ කිසිම අවස්ථාවක උසස් බව මැනීමට නිර්ණායකයක් නැති වීම. කුලයක හරි ජාතියක හරි ආගමක හරි උසස් බව මනින්නේ කෙසේ ?

 

යමකු තවත් අයකුට වඩා වයස උස බර වේගයෙන් දුවනවා ආදිය මැනීමට නිර්ණය කිරීමට මිනුම් දඬු සාධක තියෙනවා. එහෙත් කුලය ජාතිය ආගම ආදිය සම්බන්ධයෙන් ඇති මිනුම් දඬු මොනවා ? අහවලාගේ උස තවත් අයකුගේ බරට වඩා වැඩි යැයි යමකු කිවුවොත් අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ?

 

එහෙත් පඬි නැට්ටන් නම් හැම විට හදන්නේ සිංහල ජාතිය පහත් යැයි පෙන්වීමට. එහෙමත් නැත්නම් බටහිරයන් අපට වඩා අරකින් උසස් මේකෙන් උසස් කියා පෙන්වීමට. අවශ්‍ය නම් කියන්න පුළුවන් බටහිර රටවල කුල භේදයක් නැහැ කියලා. එයට ප්‍රධාන හේතුව කුලය කියා සංකල්පයක් බටහිර රටවල නැති වීම. එහෙත් බටහිර රටවල වෙනත් සංකල්ප තියෙනවා. කල්ලිවාද තියෙනවා. කලු මිනිහා, ආසියාතිකයා, ලතින් අමෙරිකානුවා වගේ කතා මෙන් විවිධ බොස්ලාත් බටහිර රටවල ඉන්නවා. ඇමරිකන් තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයන්ගෙන්  අහනවා ආසියාතික හිස්පැනික් ආදී වශයෙන්. අවශ්‍ය නම් පිළිතුරු නොදී ඉන්න පුළුවන්. එහෙත් ඔවුන් එසේ අහන්නේ ඇයි?

 

හිතන්න එපා බටහිර රටක පාරේ වැඩ කරන කම්කරුවාටත් කළමනාකරුටත් ඇත්තේ එකම සමාජ මට්ටමක් පිළිගැනීමක් කියා. කම්කරුවාත් ගමන් කරන්නේ මෝටර් රථයෙන් වෙන්න පුළුවන්. එහෙත් විවිධ මෝටර් රථ විවිධ මිලවලට තියෙනවා. බටහිර රටවල  ගැහැණුන්ට හා පිරිමින්ට එක වැටුපක් ගෙවන්නෙ නැති තැන් තියෙනවා. බටහිර විිද්‍යාව සම්බන්ධ ඇතැම් රැකියාවලත් වෙනස තියෙනවා. ස්ටැන්ෆර්ඩ් මිනුම අනුව ලංකාවේ ඉහළ විද්‍යාඥයන් අතර විද්‍යාඥවරියන්ගේගේ ප්‍රතිශතය බටහිර රටක ඉහළ විද්‍යාඥයන් අතර විද්‍යාඥවරියන්ගේ ප්‍රතිශතයට වැඩි ඇයි? මෙරට ලැයිස්තුවේ ඉහළින් ඉන්නේ විද්‍යාඥවරියක්. (විද්‍යාඥයන් ගැන විද්‍යාඥයකු නොවූ මට නම් වෙනත් පිළිතුරක් තියෙනවා). බටහිර රටවල ගැහැණුන්ට පිරිමින්ට මෙන් ඡන්ද බලය ලැබිලා වැඩි කලක් නැහැ. තවත් විස්තර කියන්න පුළුවන්. මා මේ කරුණු කියන්නෙ බටහිර රටවල් පහත් කියා කියන්න නො වෙයි.

 

ආගම් එකිනෙකට වෙනස්. ආගම් සැසඳීමට ඇති මිනුම් දණ්ඩ මොකක් ?  මැවීමක් ගැන කීම , මරණින් මතු සැප විඳීමක් ගැන කීම මරණයෙන් සියල්ල කෙළවර වෙනවා කීම මරණයෙන් පසු සිද්ධ වෙන්නෙ මොකක් කියල දන්නෙ නැහැ කීම දන්නෙ නැති නිසා අනෙක් අය කියන දේ විවේචනය කිරීම නැත්නම් වෙන මොකක්වත් ? ආගමක් ගැන ඇත්තෙ විශ්වාසයක්. බටහිර විද්‍යාව ගැන ඇත්තෙත් විශ්වාසයක්. තර්කය න්‍යාය ආදිය ගැන ඇත්තෙත් විශ්වාසයක්. මා ටිකක් දන්නා විශ්වවේදයේ පරස්පර මැදත් එය විශ්වාස කරනවා.

 

පඬි නැට්ටන්ට නම් බටහිර දැනුම උසස්. සමහරුන්ට අනුව වෙනස් දැනුම් පද්ධති නැහැ. එක් දැනුමක් අනෙක් දැනුමකට වඩා උසස් වෙන්නෙ මොන අර්ථයෙන් ? උසස් බව මනින්නෙ කොහොම ? පඬි නැට්ටන්, කියන්නෙ  බටහිර පඬියන්ගෙ නැටි නැත්නම් වලිග දන්නේ සිංහල බෞද්ධකමට නිගා කරන්න පමණයි. බටහිර දැනුමේ ආධිපත්‍යය පිළිගන්න ගමන්. බටහිර දැනුමේ ආධිපත්‍යය නොපිළිගැනීම ඔවුන්ට අනුව බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කිරීමක්. ඔවුන් නිගමනයට එන්නෙ කොහොම කියන එක ඇරිස්ටෝටල්ගෙන් තමයි දැන ගන්න පුළුවන්.

 

අද විවිධ පුද්ගලයන් විවිධ හේතු නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට සිංහල ජාතියට බුදුදහමට පහර ගහනවා. සියල්ල ගලා එන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙන්. අප බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට විරුද්ධයි. මිසක් විවිධ ක්‍රිස්තියානි ආගම් පහත් ලෙස සලකන්නෙ නැහැ. අප ඉන්දීය කලාප ආධිපත්‍යයටත් විරුද්ධයි. මිසක් හින්දු ආගම පහත් ලෙස සලකන්නෙ නැහැ.

 

ඉන්දු බටහිර දේශපාලනය සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ දෙමළ ජාතිවාදයක් ඇති කර පෝෂණය කරනවා. අප එයට විරුද්ධයි. මිසක් දෙමළ ජන කොටස්වලට හරි දෙමළ හින්දු සංස්කෘතියට හරි විරුද්ධ නැහැ. එමෙන් දෙමළ හින්දු සංස්කෘතිය පහත් ලෙස සලකන්නෙත් නැහැ.

 

එහෙත් අප මෙරට බොරු දෙමළ ඉතිහාසයක් ගැන කියන විට එයට විරුද්ධ වෙනවා. එමෙන්   විජයට පෙර මෙරට සිටි යක්‍ෂ නාග දේව ජනකොටස් අමනුෂ්‍යයන් බව කියන විටත් අප විරුද්ධ වෙනවා. ඔවුන් අමනුෂ්‍යයන් කර ඇත්තේ ඉන්දියාවේ (භාරතයේ කියමු) අවශ්‍යතාවට. අද ඇතැම් දෙමළ ජාතිවාදීන් ජන කොටස් දෙමළ යැයි කියන්න උත්සාහ කරන්නේ ඇතැමුන් ඔවුන් ප්‍රාග් සිංහලයන් බව නොකියන නිසා.

 

කෙසේ වෙතත් ඉදිරි කාලය අප ඉන්දියාවේ අණසකට තව තවත් යටත් වීමට ඉඩ කඩ ඇති කාලයක්. ඉන්දියාවට එහි දී බටහිර අනුග්‍රහය ලැබේවි. අප කුලල් කා ගැනීම අවසානයේ දී ඉන්දියාවේ වාසියට මිසක් අපේ වාසියට හේතුවක් වන්නේ නැහැ. කුලවාදය ප්‍රාදේශීය වාදය පාසල්වාදය මේ සියල්ල කල්ලිවාද පමණයි. එයින් සිදුවන්නේ සිංහල ජාතිය දුර්වල වී ඉන්දු බටහිර දේශපාලනයට යටවීම  පමණයි.    

 

ඉන්දීය ඇමති මුරුගන් කන්කසන්තුරේ