Main Logo

Friday, 10 February 2023

විග්නේස්වරන් දෙමළ පෙකණිවැල හා බුද්ධිමතුන්

 විග්නේස්වරන් දෙමළ පෙකණිවැල හා බුද්ධිමතුන්


පසුගිය දා සඟරාවක ලිපිවල මාතෘකා මා අතට පත් වුණා. ඒ මාතෘකා දැක්ක ම මට හිතුණෙ මෙරට උගතුන් බුද්ධිමතුන් කොපමණ ඉන්න පුළුවන් ද කියන එක. හරි බරපතල මාතෘකා. මේ වගේ සඟරා කීයක් මෙරට පහුගිය අවුරුදු පනහ ඇතුළත සමාජයට ඉදිරිපත් කෙරී ඇත් ද? එහි මොන තරම් දේ අඩංගු වෙන්න ඇත් ද? ඒ ලිපි සමග සසඳන විට මා ලියල තියෙන්නෙ මොනවා ද කියල හිතෙනවා.


දැන් දහතුනේ කතාව පරාද වෙලා. විග්නේස්වරන් අවුරුදු තුන්දාහක දෙමළ ඉතිහාසයක් ගැන කියවනවා. අවුරුදු තුන්දාහට සෙල්ලිපි තිහක්වත් නැහැ. එක්කෝ පසුව පැමිණියා යැයි කියන සිංහලයන් දෙමළ සෙල්ලිපි ගලවල කුඩු කරන්න ඇති. එහෙමත් නැත්නම් මෙරට සිටියා යැයි කියන දෙමළ ජනයාට අකුරු නැති (හෝඩියක් නැති) භාෂාවක් තියෙන්න ඇති. විග්නේස්වරන් බලයෙන් හරි ෆෙඩරල් ලබා ගන්න බව කියනවා. ඒ කියන්නෙ ඉන්දු බටහිර දේශපාලනය බලයෙන් ෆෙඩරල් ලබා ගන්නවා කියන එක ද? 


දහතුනේ කතාව ඉදිරියේ දී නැවත ඒවි. විග්නේස්වරන්ගේ කතාවෙන් කියැවෙන්නේ ඒ බවයි. ඔවුන් කියන්නේ දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය විසඳී නැති බවයි. ඒක ඇත්ත. නැති ප්‍රශ්නයක් කිසි දා විසඳන්න බැහැ. නැගෙනහිර පළාතෙත් උතුරු පළාතෙත් දෙමළ කතා කරන අය පදිංචි වෙලා ඉන්නෙ කවද ඉඳන් ද කියලා අර කාර්තිගේසු ඉන්ද්‍රපාල ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධය කියෙවුව නම් දැන ගන්න පුළුවන්. 


විග්නේස්වරන්ගෙ පරම්පරාව ලංකාවට ආවෙ කවද ද කියල කියනවා ද? ඔහු අර සුප්‍රසිද්ධ පොන්නම්බලම් කුමාරස්වාමි පවුලත් එක්ක සම්බන්ධයි. ඒ අය ලංකාවට ඇවිල්ල වැඩි කලක් නැහැ. සිංහලයන් අතරත් සෑහෙන පිරිසක් ඉන්නවා ඉන්දියාවෙන් විතරක් නොවෙයි මලයාව පැත්තෙන් හා තවත් ප්‍රදේශවලින් පැමිණි අය. ඔවුන් හා දෙමළ වෙල්ලාලයන් අතර වෙනසක් තියෙනවා. පිටින් පැමිණ  සිංහලයන් වූ අය, සිංහල සංස්කෘතියට අවශෝෂණය වූ අය, තම පෙකණිවැළ කපලා. ඔවුන් ඒ ඒ රටවල් සමග සම්බන්ධයක් නැහැ. ඔවුන් ඒ කිසිම රටක භාෂාවක් කතා කරන්නෙත් නැහැ. එපමණක් නො වෙයි. සිංහල භාෂාවෙ ඉන්දු ආර්ය භාෂාවල නැති වචන තියෙනවා. විශේෂයෙන් කට බඩ බෙල්ල කකුල වගේ ශරීර අවයව හඳුන්වන වචන. තවත් වචන පැරණි පඬියන් විසින් කුණුහරුප බවට පත්කෙරී තියෙනවා.

 

එහෙත් ලන්දේසීන් ගෙනා දෙමළ වෙල්ලාලයන් හා ඉංගිරිසින් ගෙනැවිත් නැගෙනහිර පළාතෙ හා කඳුකරයෙ පදිංචි කරපු දෙමළ ජනකොටස් කතා කරන්නෙ දෙමළ. වෙල්ලාලයන් තවමත් තමිල්නාඩුව සමග සම්බන්ධකම් පවත්වනවා. ඔවුන් තවම පෙකණිවැළ කපා ගෙන නැහැ. කපන්න විධියකුත් නැහැ. ඔවුන් ස්වෙච්ඡාවෙන් මෙරටට පැමිණි අය නො වෙයි. මෙරටින් මාල දිවයිනට ගිය සිංහලයන් දැන් වෙන ම භාෂාවක් කතා කරනවා. එය සිංහලට සමීප වෙන්න පුළුවන්. ඒත් සිංහල නො වෙයි. දකුණු ඉන්දියාවෙ වුණත් වෙන වෙන ද්‍රවිඩ භාෂා තියෙනවා. මලයාලම් තෙළිඟු කන්නඩි, ආදී වශයෙන්. මුහුදෙන් වෙන් වෙලා තිබුණත් ලංකාවෙ දෙමළ ජනකොටස් කතා කරන්නෙ දෙමළ ම තමයි. ඉතා පැහැදිලි ව ඔවුන් මෙරටට ගෙනැවිත් ඇත්තෙ ඈතක නො වෙයි. 


ඇමරිකාවෙ ඉංගිරිසි හා එංගලන්තෙ ඉංගිරිසි අතර සුළු වශයෙන් හරි වෙනස්කම් තියෙනවා. ඇමරිකානුවන් නිර්මාණාත්මක ව යම් යම් වෙනස්කම් ඇති කරගෙන. එහෙත් ලංකාවෙ දෙමළ තමිල්නාඩුවෙ දෙමළ බසින් වෙනස් වෙන්නෙ මලයාලම් වචන මිශ්‍රණයකින් මිස තමන් නිර්මාණය කරගත් දේකින් නො වෙයි. ලංකාවෙ දෙමළ ජන කොටස් ලංකාවෙ මොන නිජබිමක් ගැන කතා කළත් ඔවුන්ගෙ නිජබිම තමිල්නාඩුව.  


විග්නේස්වරන් අවුරුදු තුන්දාහක පට්ටපල් බොරු ඉතිහාසයක් (බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන අර්ථයෙන් නො වෙයි) ගැන කියන විට මෙරට පඬියන් නෑසු කණින් ඉන්නවා. පද්මනාදන් වගේ ඉතිහාසඥයන් කියන අය දෙමළ සෙල්ලිපි හොයන්න රට වටේ යනවා. ඒත් තවම දුසිමක්වත් හම්බ වෙලා නැහැ. සමහර දෙමළ සෙල්ලිපි දකුණු ඉන්දියාවෙන් පැමිණි වෙළෙන්දන් සඳහා ලියූ ඒවා. කටුනායක හික්කඩුව වගේ තැන්වල ජර්මන් ආදී භාෂාවලින් ලියූ දැන්වීම් තියෙනවා. අනාගත ඉතිහාසඥයෙක් කියාවි ද දන්නෙ නැහැ මෙරට මුල් පදිංචිකරුවන් ජර්මනුන් කියලා. 


මට අද කියන්න ඕන වුණෙ පඬි නැට්ටන් හා පඬියන් ගැන. ඒත් වැඩි ඉඩක් ගියෙ දෙමළ ජාතිවාදීන් ගැන කියන්න. අද දෙමළ ජාතිවාදීන්ටත් පඬි නැට්ටන්ටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ සිංහල රාජ්‍ය භාෂාව කිරීම හා සිංහලෙන් (දෙමළෙන්) ඉගැන්වීම. සමසමාජ පඬියන් ද සිංහල රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධ වුණා. ඔවුන් සමතැන වෙනුවෙන් පෙනී සිටියා. අද වන විට සමසමාජයක් නැහැ. කොමියුනිස්ට් පක්‍ෂයකුත් නැහැ. අඩු ගණනේ අපට බයිලා කියන ඉන්දියාවෙත් දෙමළ රාජ්‍ය භාෂාවක් නො වෙයි. අමෙරිකාවෙ ස්පාඤ්ඤ ජන වාරගිකයන් වැඩි වෙත් ම ඔවුන් ඉංගිරිසිය රාජ්‍ය භාෂාව බවට පත් කර ගත්තා. ඒ ඉතා මෑතක දි. ඇමරිකාවෙ ඉංගිරිසි කතා කරන්නන්ගෙ ප්‍රතිශතය 78ක් පමණ. 


පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මා ඇමරිකන් ධනවාදී දේශපාලනයක් ගැන කියනවා කියලා. මා දන්නේ නැහැ රුසියාවෙ හා චීනයෙ තියෙන්නෙ මොන දේශපාලනයක් ද කියල. ඒ රටවල රාජ්‍ය භාෂා නම් රුසියන් හා මැන්ඩරින් චීන.  ලංකාවෙ සිංහල මෙන් ම දෙමළ ද රාජ්‍ය භාෂා. 


අර සඟරාවට ලියා ඇති ලිපිවල මාතෘකා තමයි මට මුල් කර ගන්න ඕන. ඒ මාතෘකා දැක්කම මට බයත් හිතුණා. මේ උගතුන් සමග මට පෑහෙන්න පුළුවන් ද කියා හිතුණා. අපි පඬි නැට්ටන් විශ්වවිද්‍යාල උගතුන් බුද්ධිමතුන් ගැන පසුව කතා කරමු. ඔවුන්ට අනුව මා උගතකුවත් බුද්ධිමතකුවත් නොවීම ගැන මා පුදුම වෙන්නෙ නැහැ. ඔවුන් ලියා ඇත්තෙ ලියන්නෙ බරපතල දේ.