Main Logo

Thursday 23 February 2023

ප්‍රභූ හා නිර්ප්‍රභූ ආකල්ප

 ප්‍රභූ හා නිර්ප්‍රභූ ආකල්ප (සුද්දන් වගේ ජීවත්වීම)

 

ඊයේ රාජකීය විදුහලේ උත්සවයක් පැවැත්වුණා. ජනාධිපති රනිල් පිළිගැනීමට. එයට අගමැති දිනේෂ් ගුණවර්ධන මෙන් රාජකීය විිදූුහලේ ආදි ශිෂ්‍ය මැති ඇමතිවරු ගණනාවක් සහභාගි වුණා. විවිධ පක්‍ෂවල අය එහි සිටියා. රනිල් එහි දී කිවුවා රාජකීය විිදුහල තවත් වාර්තාවක් පිහිටුවා ඇති බව. එක පාසලෙන් එක පංතියෙන් ජනාධිපතිත් අගමැතිත් බිහිකිරීමෙන්. රාජකීය විිදුහලෙන් රාජ්‍ය නායකයන් තුන් දෙනෙකු බිහි වී තියෙනවා. රනිල් රාජකීය ආදී සිසුන් රාශියකගේ නම් කිවුවා. ඔහුට ධර්මපාලතුමාගේ නම අමතක වුණා ?

 

දහනවවැනි සියවසේ අගභාගයේ මෙරට දේශපාලනයේ හිටියේ ප්‍රභූන්. ඔවුන් කොළඹ ආශ්‍රිත ජාතික ප්‍රභූන්. විසිවැනි සියවසේ මුල සිට ප්‍රාදේශීය ප්‍රභූන් ජාතික දේශපාලනයට පැමිණියා. අමද්‍යප ව්‍යාපාරය හරහා. ක්‍රිස්ටොෆර් ඔබේසේකර ඔවුන්ට තමයි කිවුවේ වැදගතුන් බවට පත්වීමට දඟලන නිකමුන් කියා. නිකමුන් වැදගතුන් වී ජාතික ප්‍රභූන් බවට පත් වුණා. මෙරට දේශපාලන පක්‍ෂවල නායකත්වය දැරුවේ එසේ ජාතික ප්‍රභූන් බවට පත් වූ ප්‍රාදේශීය ප්‍රභූන් හරි කොළඹ ජාතික ප්‍රභූන් හරි.

 

මෙරට බිහි වූ පළමු දේශපලන පක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයන් ප්‍රදේශීය ප්‍රභූන්ගේ දරුවන්. ඔවුන් බටහිර රටවල අධ්‍යාපනය ලැබුවේ ශිෂ්‍යත්වවලින් එහි ගොස් නො වෙයි. පිලිප් ගුණවර්ධන හා එන් එම් පෙරේරා ආනන්ද විදුහලේත් කොල්වින් ආර් සිල්වා හා පීටර කෙනමන් රාජකීය විදුහලේත් ලෙස්ලි ගුණවර්ධන ශාන්ත තෝමස් විදුහලේත් ආදි ශිෂ්‍යයන්. එකල නිදහස් අධ්‍යාපනයක් තිබුණේ නැහැ.

 

නිදහස් අධ්‍යාපනයේ දරුවන් ජාතික දේශපාලනයට ඇදී ආවේ හැටේ දශකයේ. මෙරට අධ්‍යාපනය කියන්නේ රැකියා සඳහා සුදුසුකම් ලබා ගැනීමේ මාර්ගයක් පමණයි. බටහිර රටවල එය යම් පමණකට දකින්න පුළුවන්. එහෙත් ඉහළ අධ්‍යාපන සුදුසුකම් නැතත් එහි රැකියා සොයා ගන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදවල පාසල් සිසුන් අතර රැකියා සඳහා ඉගෙන ගන්නේ වැඩියෙන් ආසියාතිකයන්. යුරෝපීය සම්භවයක් ඇති අය රැකියාව ගැන එතරම් වෙහෙසෙන්නේ නැහැ. වෛද්‍යවරුන් ආදීන් බවට පත්වීමට ඉගෙන ගන්නා අය නැතුවා නො වෙයි. අතර තම ආශාව නිසා විවිධ විෂය උගන්නා අයත් ඉන්නවා. විශ්වවිද්‍යාලවල වැටුප් තරමක් අඩු වුණත් ඒ් රැකියාවලට යන අයත් ඉන්නවා. සඳහා තරගයකුත් තියෙනවා. ඊට වඩා වැටුප් ලබා ගත හැකි රැකියා තිබිය දී.

 

අපේ නම් අධ්‍යාපනය යොමු වී ඇත්තේ ගොඩ ඒමට. කලක් මෙරට පැවිදි වීමෙන් හතර වරිගයට සෙතක් සැලසෙන බවට අදහසක් තිබුණා. අද එය වෙනස් වෙලා. අද හිතන්නේ අධ්‍යාපන සුදුසුකම් ලැබීමෙන් හතර වරිගය ගොඩ දාන්න පුළුවන් කියා. අධ්‍යාපනයේ ඵලයක් ලෙස අර්බුදය ඇති වෙන්න පටන් ගත්තෙ පනහෙ දශකයෙ අග. නිදහස් අධ්‍යානයෙන් බිහි වූ ජ්‍යෙෂ්ඨ සමතුන්ට රැකියා අවස්ථා නැති වෙන්න පටන් ගත්තා. හැටේ දශකයේ අග වෙන විට රැකියා විරහිත උපාධිධාරීන් දැක ගන්න පුළුවන් වුණා. රැකියා සඳහා යොමු වූ අධ්‍යාපනයෙන් බිහිවුවන්ට රැකියා අවස්ථා නැති වුණා.

 

එහෙත් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස අපේ ආකල්පවල විශාල වෙනසක් ඇති වුණා. මේ අධ්‍යාපනයේ මාධ්‍යය කුමක් වුවත් එය ඉංගිරිසි අධ්‍යාපනයක්. අපට දැනුම ලැබුණේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලින්. දැනුම ක්‍රමයෙන් එක දැනුම බවට පත් වුණා. හාමුදුරුවරුන් පන්සලට කොටු වුණා. අපේ අවශ්‍යතා මොනවා දැයි අපට කියා දුන්නේ හාමුදුරුවන් නොව ඉංගිරිසින්. අවසානයේ දී හාමුදුරුවන්ගේ අවශ්‍යතාත් බටහිරට අනුව තීරණය වුණා. අටපිරිකර අවශ්‍යතාවක් නොව සංකේතයක් බවට පත් වුණා. ගිහි උගතුන් සමාජයේ නායකත්වයට පත් වුණා.

 

අප උත්සාහ කෙළේ එංගලන්තයේ ජීවිතය ලංකාවේ ලබා ගන්න. එය ප්‍රභූන්ට මෙන් උගත් නිර්ප්‍රභූන්ට පොදුයි.  මෙරටට පැමිණි ඉංගිරිසින් මෙහි දී එංගලන්තයට වඩා හොඳ යැයි කියන ජීවන තත්වයක් ළඟා කර ගත්තා. විශාල මන්දිර, අතට පයට මෙහෙකරුවන් දරුවන් බලාගැනීමට ආයලා කෝකියන් ආදී වශයෙන්. ඔවුන් එංගලන්තයේ සිටියා නම් එවැනි ජීවිතයක් ගත කරන්න බැහැ. අවාසනාවකට මෙරට කොළඹ ප්‍රභූන් අනුකරණය කෙළේ ජීවිතය. පසුව ඉන් යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය ප්‍රභූන් අනුකරණය කළා. අප ඉංගිරිසින්ගේ කැම බීම ඇඳුම් පැළඳුම් අනුකරණය කළා. අප දියුණුව වශයෙන් සැලකුවේ හැකි ප්‍රමාණයට එසේ ජීවත් වීම. එය තමයි ගොඩ ඒම. නිර්ප්‍රභූන් අධ්‍යාපනයෙන් ලබා ගත්තේ ආකල්ප.

 

අප උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් යෑම ඉතා ඉහළින් සැලකුවා. අප උත්සාහ කෙළේ ඔක්ස්බ්‍රිජ උච්චාරණයෙන් ඉංගිරිසි කතා කිරීමට. ඉන්දියානුවන් ආර් අකුර රෝල් කරනවා කියා ඔවුන්ට හිනහවුණා. අප ඔවුන් මෙන් එක කාර් වර්ගයකට යොමු වුණේ නැහැ.  අද ඉන්දියානුවන්ගේ අනුකම්පාව යැදීමට අපට සිදුවෙලා. හැත්තෑවේ දශකයේ මුල මෙහි වෙනසක් ඇති වෙන්න පටන් ගත්තා. අප එංගලන්තය දිහා නොව ඇමරිකන් එක්සත් ජනපද දිහා බලන්න පටන් ගත්තා. හාවඩ් ප්‍රින්ස්ටන් යෑමට අප උත්සාහ කළා. ජේ ආර් නම් මෙය කලින් දැක තිබුණා. ඔහුට යැංකි ඩිකී (රිචඩ්) කියන නම පටබැඳුනෙත් නිසා.

 

එහෙත් සැමට ඒ් ජීවිතය යම් ප්‍රමාණයකටවත් අනුකරණය කරන්න බැරි බව වැටගුණා. රැකියා විරහිත උපාධිධාරීන් ඇති වීමට මූලික හේතුව මෙරට රැකියා නොමැති වීම බව වටහා නොගෙන ඉගෙන ගන්නා විෂය නිර්දේශ විවේවනය කරන්න වෙනස් කරන්න කටයුතු කළා. අවුරුදු පනහක් පමණ එසේ වෙනස් කිරීමෙන් පසුත් අප තවමත් කතා කරන්නේ වෙනස් කරන්නට ඇති අවශ්‍යතාව ගැන. (මතු සම්බන්ධයි)