Main Logo

Saturday 11 February 2023

අපි ඔක්කොම රජවරු

 අපි ඔක්කොම රජවරු

 

මට මිතුරකු (මා ඔහු පෞද්ගලික දන්නෙ නැහැ. මෙටා මිතුරකු) එක් සංවාදයක පිටපතක් එවා තිබුණා. උඩරට පහතරට භේදය ගැන තමයි කියන්නෙ. කුල භේදයත් සඳහන් වෙන්නෙ නැතුවා නො වෙයි. මට තරමක කණගාටුවක් ඇති වුණා. මෙරට කුල පීඩනයක් තවමත් තියෙන බව හංගන්න ඕනෙ නැහැ. වගේ උඩරට පහතරට භේදයකුත් තවමත් තැනින් තැන කියැවෙනවා. මදිවට පාසල් කුල ක්‍රමයකුත් තියෙනවා. අපි කැමතියි යම් වැඩක් කරපු අයකු අපේ ගමේ අපේ පාසලේ අපේ කුලේ ආදී වශයෙන් කියන්න. එහෙත් අවැඩක් කරපු අයකු ගැන එහෙම කියන්නෙ නැහැ. පුළුවන් විධියට ඒක යටපත් කරනවා.

 

මා උපන්නේ පහතරට පාණදුරේ. මගේ කුලය කරාව. මා ගමේ පාසලේ අවුරුදු තුනකුත් තර්ස්ටන් විිදුහලේ අවුරුදු හතරකුත් රාජකීය විදුහලේ අවුරුදු හතකුත් ඉගෙනීම ලබා තියෙනවා. අවුරුදු දහහතරක් ඉගෙන ගන්න වුණෙ ගමේ පාසලේ තුන සමත් වෙලා තර්ස්ටන් විදුහලේ දෙකේ පංතියට ඇතුල් වෙන්න සිදු වීම නිසයි. වයස ප්‍රශ්නයක්. පඬි නැට්ටකුට අවශ්‍ය නම් මගේ අදක්‍ෂකම කියා සැනසෙන්න පුළුවන්. මා විවාහ වුණේ උඩරට ගොවිගම අයකු සමග.

 

මට එකක්වත් වැදගත් නැහැ. මට වැදගත් මා සිංහලයකු වීම. සිංහලයකු වීම ගැන මට ඇත්තේ අභිමානයක්. වැවු හැදීම ගැනවත් දාගැබ් හැදීම ගැනවත් සීගිරියේ තාක්‍ෂණය ගැනවත් නො වෙයි. එවැනි දේ වෙනත් රටවලත් කෙරී තිබෙනවා. එහෙත් අප කළ එක් දෙයක් වෙන කිසිවකු කර නැහැ. ථෙරවාද බුදුදහම රැක ගැනීම. මා මියන්මාහි ලංකා තානාපති සිටි සුළු කාලයේ මා දුටු දේ තමයි බුරුම වැසියන් ලංකාවට ඇති ගෞරවය. එහි භික්‍ෂූන් වහන්සේ ලංකාවට දක්වන සැලකිල්ල. මා කාම්බෝජයේ දී ත් එවැනි අත්දැකීමක් ලැබුවා. කාම්බෝජයට බුදුදහම ලැබී තිබෙන්නේ ලංකාවෙන්. ඔවුන් අපෙන් වැවු හදන්නත් ඉගෙන ගෙන. ඒත් එය ද්විතීයික කාරණයක්.

 

මියන්මාහි දී මා ලංකාවේ ඉතිහාසය ගැන බොහෝ දේ දැනගත්තා. මා හිතන්නේ අප ගැමුණු රජුට දක්වන සැලකිල්ල මෙන් සැලකිල්ලක් විජයබාහ රජුටත් දැක්විය යුතු කියා. ගැමුණු රජු මෙරට සිංහල බෞද්ධත්වය ස්ථාවර කළා. විජයබාහු රජු අග්නිදිග ආසියාවේ (සිංහල) ථෙරවාද බෞද්ධත්වය ඇති කළා. එකල ලංකාව සොලී ආක්‍රමණයකට යටත් වෙලා, හින්දු ආභාසය රටට ඇවිත් තිබුණෙ. කුල භේදය සිංහල ජීවන ක්‍රමයට ඇතුල් වෙලා තිබුණෙ. බුරුමයට ඛමර් (Khmer)  හින්දු ආක්‍රමණයක් ඇවිත්. දකුණු හා අග්නිදග ආසියාව හින්දු ආක්‍රමණයකට ගොදුරු වෙලා තිබුණෙ.

 

මේ අවස්ථාවේ දී තමයි ලංකාවේ විජයබාහු රජුත් බුරුමයේ අනව්රත රජුත් එකතු වී හින්දු ආක්‍රමණය පරාජය කර තියෙන්නෙ. කාම්බෝජය දක්වා අග්නිදිග ආසියාව ථෙරවාද බෞද්ධ වුණෙ ඉන් පසුව. පසු කලෙක මලයාව අවට ප්‍රදේශය මුස්ලිම් වෙලා. අනෙක් රටවල් තවමත් ථෙරවාද රටවල්. විජයබාහු රජුත් අනවරත රජුත් පසුව බෞද්ධ පොතපත සසඳා ථෙරවාද බුදුදහම ආරක්‍ෂා කිරීමට කටයුතු කර තියෙනවා.

 

මා බෞද්ධයෙක්. අර බමුණන් තමන් ගැන කියන්න වගේ ද්වජ (දෙවරක් උපන් - බෝන් අගේන් නොවෙයි) බෞද්ධයෙක්. දෙවරක් බෞද්ධ වූ අයෙක්. මා උපන්නේ සිංහල බෞද්ධ පවුලක. මා පළමු වරට බෞද්ධ වුණේ එලෙස. ඉන් පසු මා මාක්ස්වාදියෙක් විද්‍යාඥයෙක් වගේ හිතන්න පුරුදු වුණා. නිසා බෞද්ධකමත් අත් හැරියා. භෞතිකවාදියකු වුණා. බොරු තාර්කිකයකු වුණා. එහෙත් බටහිර විද්‍යාවට පින් සිද්ධවෙන්න මට එතැනින් ගැලවෙන්න හැකි වුණා. මා බුදුදහම ගැන හිතන්න පටන් ගත්තා. ඇරිස්ටෝටල්ගේ ද්විකෝටික න්‍යාය පරස්රවලට තුඩු දෙන්නක් බව වැටහුණා. මා දෙවැනි වරටත් බෞද්ධයකු වුණා. බුදුදහම විඥානවාදීවත් භෞතිකවාදීවත් නොවන දහමක් බව මට ඒත්තු ගියා. භෞතිකවාදී නොවන්නේ නම් විඥානවාදී විය යුතු යැයි කියන්නේ ඇරිස්ටෝටල්ගේ න්‍යාය ඇසුරෙන් ද්වෛත ගැන පමණක් දන්නා බටහිරයන්.

 

සිංහලේ පාවා දී ඇත්තේ බෞද්ධ නොවූ අය. කියන්නේ නමින් බෞද්ධ වූ අය. ඔවුන් අතර උඩරැටියන් පහතරැටියන් රදළයන් ගොවිගම කරාව දුරාව සලාගම දේව හැම කුලයක අය ඉන්නවා. එමෙන් සිංහලේ රැක ගත් අයත් හැම කුලයක ඉන්නවා. බෞද්ධයන් සිංහලේ පාවා දෙන්නේ නැහැ. බල තණ්හාව නිසා ඇතැමුන් සිංහලේ පාවා දී තියෙනවා. එක් කුලයක්වත් එක් ප්‍රදේශයක්වත් අනෙක් කුලයකට ප්‍රදේශයකට වඩා උසස් නැහැ.

 

උස් පහත් කතා පරංගින් පැමීණීමෙන් පසු ඇති වූ දේ. ලන්දේසීන් තමයි කුල පීඩනයට මුල් වුණෙ. ඉංගිරිසින් එය වර්ධනය කළා. අප තවමත් යටි හිතෙන් හරි සුද්දන්ගේ බෙදා පාලනය කිරීමේ ගැටයේ හිර වෙලා. බෞද්ධයන්ට කුල කතා ප්‍රාදේශීය කතා තියෙන්න බැහැ. මා දන්නවා අපට තවමත් කුල, ප්‍රදේශය මත පදනම් වූ නිකාය භේදයක් තියෙනවා. ආවාහ විවාහවල දී දේශපාලනයේ දී තවමත් කුලය බලපානවා. යටත්විජිතවාදී නෂ්ඨාවශේෂ. නිසාමත් කුල පීඩනය හේතුවෙන් ඇතැමුන් සිංහල බෞද්ධ විරෝධීන් වෙලා. බටහිරයන් ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ යොදා ගන්නවා. අප යටත් විජිත ගැටය ලිහන්න ඕන.

 

අප කර ඇති දේ ගැන කල්පනා කරන්න. අප අවුරුදු දෙදහසකට අධික කාලයක් බුදුදහම රැක ගත්තා. ඉන්දියාවෙන් (භාරතයෙන්) බුදුදහම නැති වෙද්දි ඔවුන්ගේ සියලු බලපෑම් ආක්‍රමණ මැද අප ථෙරවාදය රැක ගත්තා. මා හිතන්නෙ නැහැ එය සුළුපටු කාර්යයක් කියා. අපට බුදුදහම මත පදනම් වූ අර්ථ ක්‍රමයක් තිබුණා.

 

අපේ මුත්තා අවුරුදු නවසීයකට පමණ පෙර රාජස්ථානයෙන් පැමිණි හින්දු භක්තිකයෙක්. ඔහුගෙ දුව සුප්‍රසිද්ධ පද්මාවති. ඇයත් හින්දු, ඇය ආපසු කුමරකු සමග භාරතයට ගිහින්. අප ටික කලකින් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී තියෙනවා. පසු කලෙක අපේ පරම්පරාවෙ සමහරු කතෝලික වෙලා. සමහරු දිගට බෞද්ධකම තම ජීවිතය කරගෙන. කෙසේ වෙතත් මගේ අභිමානය ථෙරවාදය රැකගත් සංස්කෘතියට අවශෝෂණය වීම ගැන.

 

බුදුදහම නොදන්නා නිසා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක බොහෝ දෙනාට තේරෙන්නෙ නැහැ. සමහරු අහනවා බාහිර යථාර්ථයක් නැහැ කියන්නෙ කොහොම කියල. බාහිර නොවෙයි අභ්‍යන්තර යථාර්ථයකවත් නැහැ. මා යන්න බොරුවක්. මායාවක්. මා කියා පුද්ගලයකු නැහැ. අප මා ඇතුළු සියලු දැනුම් ගොඩ නගන්නෙ අනිච්ච දුක්ක අනත්ත නොදන්න නිසා. අප හැම දෙයක් අවිද්‍යාව නිසා (අභි)සංස්කරණය කරනවා. කාලය කියන්නෙත් කුලය කියන්නෙත් අපේ සංස්කරණ. වෙනස් වීම වෙනස් නොවන නිත්‍යයක් ලෙස ගෙන වෙනස් වීම තේරුම් ගන්න කාලය කියල සංකල්පයක් සංස්කරණය කරගෙන. කුලය කියන්නෙ පවුලට. අද කුලය කියන්නේ දික් කෙරුණු (විස්තෘත) පවුලකට.  

 

සංස්කෘතිය කියන්නෙත් සංස්කරණයක් තමයි. අපට චක්‍රීය චින්තනයෙන් මිදෙන්න බැහැ. සියලු දැනුම් සංස්කරණය වෙන්නෙත් සංස්කෘතියක. මට (මා නොවන මට) වැදගත් වන්නෙ සියල්ල  සංස්කරණය කර ගන්න පුළුවන් සංස්කෘතිය. සිංහල බෞද්ධ සංස්කෘතිය. ප්‍රාදේශීය භේද කුල භේද ආදිය නිසා අප සංස්කෘතිය නැති කරන්න ඉන්දු බටහිර දේශපාලනයට ඉඩ දෙනවා ?  

 

පොළොන්නරුවේ අටදාගේ සේයාරුවක්