යාපනයේ සිංහලයන්ගෙ ඉඩම්, බලතල හා රනිල්
හෙට පාර්ලිමේන්තු සැසි වාරයක් ආරම්භ කරනවා. ඒ හා සම්බන්ධ ව ටිකක් ලියන්න ඕන නිසා උගත් බුද්ධිමත් තාර්කික ආචාර්ය මහාචාර්ය උදවිය හා ආචාර්ය සමිති සම්මේලනය ගැන අද ලියන්නේ නැහැ. රනිල් තමා ජනාධිපති වෙලා තවම මාස හතක් සම්පූර්ණ කෙළෙ නැහැ. ඒ වුණාට හෙට දෙවැනි සැසි වාරයකුත් ආරම්භ කරනවා. ඒක නිකම් ම රාජාසන කතා පැවැත්වීමට තියෙන ආශාවක් නිසා කරන්නක් වෙන්න බැහැ. ඒ කතාවට රාජාසන කතාව කියන්නෙ මොකද කියන එකත් ප්‍රශ්නයක්. විධායක ජනාධිපති ධුරය ඇති කරලත් අවුරුදු හතළිස්පහක් වෙනවා. රාජ නීතිඥයන් ජනාධිපති නීතිඥයන් වුණත් රාජාසන කතාව ජනාධිපති කතාව හරි වාරාරම්භ කතාව හරි වෙන මොකක් හරි වෙන්නෙ නැහැ.
ඒ කොහොම වුණත් හෙට කතාවෙ දි රනිල් මොකක් හරි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන බව නම් පැහැදිලියි. ඒක පළාත් පාලන ආයතන මැතිවරණය වෙන්න පුළුවන්. දහතුන වෙන්න පුළුවන්. ඒ දෙක ම වෙන්නත් පුළුවන්. වෙනත් දේශපාලන වශයෙන් රටට බලපාන දෙයක් වෙන්නත් පුළුවන්.
ණය
ගන්න විධියක් ගැන කතා කරාවි ද? දන්නෙ නැහැ. කතා කරන්න ඕන ණය නොගන්න විධියක් ගැන. ඒත් මෙරට උගත් මධ්‍යම පංතියට ණය ඕන. ඔවුන්ට ණය නැතුව බැහැ. තමන්ගෙ ගෙදර වැඩ ටිකවත් පාලනය කර ගන්න බැරි මධ්‍යම පංතියක් රටට උපදෙස් දෙන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්.
මොනව
කතා කළත් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අද ජනාධිපති දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කරන්න වැඩ කරන්නෙ. ඉතා පැහැදිලි ව ණය හා දහතුන අතර සම්බන්ධයක් තියෙනවා. ඉන්දු බටහිර දේශපාලනය විසින් අද අප තොණ්ඩුවට හසු කෙරී ඇත්තෙ. ණය දීම සඳහා විවිධ කොන්දේසි පනවන බව පේන්න තියෙනවා. දහතුනත් ඉන් එකක් බව පැහැදිලියි.
එහි
දී වඩාත් කතා වෙන්නෙ පොලිස් හා ඉඩම් බලතල ගැනත් පළාත් සභා එකතු කිරීම ගැනත්. ඒ සියල්ල ක්‍රියාත්මක කළත් කොළඹ ඉන්න දෙමළ ජනකොටසට වැඩක් වෙන්නෙ නැහැ. දෙමළ දේශපාලන නායකයන් ඉන්නෙත් කොළඹ. ඒත් ඔවුන්ගෙ බල ප්‍රදේශය උතුරු පළාත හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය. මේ නායකයන්ටයි ඔය බලතල අවශ්‍ය. බලතල දුන්න කියා උතුරු පළාතෙ සාමාන්‍ය ජනයාට කිසිදු යහපතක් වෙන්නෙ නැහැ. බොහෝ විට වෙල්ලාල නොවන ජනයාට වෙල්ලාල නායකයන්ගෙ පොලීසියෙන් අඩම් තේට්ටම් කෙරේවි.
රනිල්
යාපනයට ගිය වෙලාවෙ දැන් තියෙන පොලීසියටත් කුණු වතුර වක්කරන්න ඔය වෙල්ලාල නායකයන් කටයුතු කර තිබුණා. වෙල්ලාල නායකයන්ගෙ පොලීසියක් යටතෙ මෙරට විධායක ජනාධිපතිට මොනව වෙයි ද? ජනාධිපතිට ආරක්‍ෂාව සපයන්නෙ කවුද? ඉඩම් බලතල පළාත් සභාවලට පැවරීම, විශේෂයෙන් ම උතුරු පළාතෙ ඉඩම් පැවරීම මොන විධියට ද සිද්ධ වෙන්නෙ. ඉඩම් හා පොලිස් බලතල ගැන කියන විට මට අධිකරණ තීන්දුවක් ද මතක් වෙනවා. ගෝමින් දයාසිරිගෙ මැදිහත් වීමෙන් ඒ සම්බන්ධයෙන් දුන් තීන්දුවක් තියෙනවා. එය තාවකාලික වෙන්න පුළුවන්. එහෙත් එයට බලපෑ හේතු මොනවා ද?
ඒ සමග ම මට මතක් වෙනවා ප්‍රභාකරන් හා දෙමළ ජාතිවාදීන් උතුරු පළාතෙන් සිංහලයන් හා මුස්ලිමුන් පන්නා දැමූ බව. එය ප්‍රදේශයකින්
ජනවර්ග, ජනකොටස් අතුගා
දැමීමක්. ඉන්දු බටහිර දේශපාලකයන් ඒ ගැන කතා නැහැ. ඔවුන්ට අවශ්‍ය උතුරු පළාත දෙමළ ජනකොටසකට පමණක් සීමා කිරීම ද?
එසේ
අතුගා දමනු ලැබූ මුස්ලිමුන් හා සිංහලයන් සතු ව තිබූ ඉඩම්වලට මොක ද වුණේ. අද වෙල්ලාල නායකයන් උද්ඝෝෂණය කරන්නේ හමුදාව පවරා ගත් ඉඩම් ආපසු ලබා දීම ගැන. ඒ සමහර ඉඩම් හමුදාව ලබා ගත්තෙ ප්‍රභාකරන්ගෙන්. ප්‍රභාකරන් තම කඳවුරු හදා ගෙන තිබූ ඉඩම් තමයි හමුදාව අත්පත් කර ගත්තෙ. ප්‍රභාකරන් ඒ ඉඩම් කොටින්ට පවරා ගෙන තිබූ කාලයේ වෙල්ලාල නායකයන් කටක් ඇරලා ඒ ඉඩම් ජනයාට ලබා දෙන්න කියල ප්‍රභාකරන්ගෙන්
ඉල්ලුවා ද? ඒ කරුණෙන් වුණත් තේරෙනවා අද උතුරු පළාතෙ තියෙන නිදහස.
වෙල්ලාල නායකයන් සිංහල හා මුස්ලිම් මිනිසුන් සතුව තිබූ ඉඩම් ගැන මොකද කියන්නෙ. ඒ ඉඩම් සිංහල හා මුස්ලිම් මිනිසුන්ට ආපසු ලබා දෙනවා ද? මුස්ලිම් මිනිසුන් ගැන නම් අඩු තරමෙන් රිෂාඩ් බද්‍යුද්දීන් පුත්තලමෙ බලාගන්න ඇති. සිංහල මිනිසුන් ගැන බැලුවෙ කවුද?
පෘතුගීසීන් එන විටත් යාපනයෙ බහුතරය සිංහල. ඒ බව ක්වේරොස් වැනි පෘතුගීසි ලේඛකයන්ගෙ පොත්පත්වලින් තහවුරු වෙනවා. අද යාපනයේ ඉන්න බොහෝ අඩුකුල කියන ජනතාව දෙමළ සමාජයට අවශෝෂණය කෙරී ඊනියා අඩු කුල දෙමළ බවට පත්කෙරුණු අය. වෙල්ලාලයන්ගෙ තෝම්බු අරගෙන බැලුවොත් ඔවුන්ගෙ යාපනයෙ ඉතිහාසය අවුරුදු පන්සීයට අඩු බව පෙනී යාවි.
ඇතැම් විට කවුරු හරි කියන්න බැරි නැහැ එකල උතුරු පළාතෙ හිටපු සිංහලයන් දැන් එහි යන්න කැමති නැහැ කියලා. දැන් යන්න කැමති සිංහලයන් ඉන්නවා ද කියල හොයල බලල තියෙනවා ද? ඒ කොහොම වෙතත් එකල සිංහලයන්ට අයිති වෙලා තිබුණු ඉඩම් දැන් අයිති කාට ද? ඉඩම් බලතල ගැන කතා කරන ජනාධිපති අපට ඒ විස්තර කියනවා ද?