ජේ ආර්ගේ තව උප්පරවැට්ටියක්
ඊයේ ලිපියෙන් පෙන්වා දුන් පරිදි ජේ ආර් ජයවර්ධන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කර ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවකවත් තැකීමක් නොමැති ව. මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් දාතම නොමැති ඉල්ලා අස්වීමේ ලිපි අරන්, ඔවුන් හෝටලයක රඳවා තබා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනමත විචාරණයක් නොපවත්වා. මේ එකක් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා පමණක් නොව පනත ද අහෝසි වෙන්න ඕන.
එහෙත්
ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙස පෙනී සිටින, ප්‍රජාතන්ත්‍රවාදයට සීරීමක් වුණත් අදාළ ආණ්ඩු පෙරළා දැමීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදී
වෙන බටහිරයන්වත් කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය
වෙනුවෙන් කැප වී සිටින ඉන්දියාවවත් ජේ ආර්ගේ ආණ්ඩුවට අත තිබ්බේ නැහැ. ඔය සිද්ධි සමයේ ගාමණී ජයසූරිය මහතා එ ජා පක්‍ෂයෙන් අස් වුණා. වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාත් චන්ද්‍රකුමාර විජයගුණවර්ධන මහතාත් එ ජා ප මන්ත්‍රීවරුන් ව සිටිය දී පනතට
විරුද්ධ ව ඡන්දය දුන්නා. පක්‍ෂ විනය කැඩීම ගැන උරණ වූ විනයගරුක ජේ ආර් ජයවර්ධන ඔවුන් දෙදෙනා පක්‍ෂයෙන් අස් කළා. ඒ් අවුරුදු තිස්පහකට පෙර.
ජේ
ආර්ට ඒ කාලෙ හයෙන් පහක බලයක් තිබුණා. ඒ 1977 මැතිවරණයෙන්. බණ්ඩාරනායක මහත්මියගේ වගා ප්‍රතිපත්තියට විරුද්ධ වූ ඡන්දදායකයන් ඇට අටක් දීමට හා ධර්මිෂ්ට සමාජයක් පිහිටුවීමට පොරොන්දු වූ ජේ ආර්ට හයෙන් පහක බලයක ලබා දුන්නා. බලයට පත් වූ ජේ ආර් මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කළා. ඒ අනුව ඇයට 1982 ඔක්තෝබරයේ පැවැත් වූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුණා. ජේ ආර් නැවත වතාවක් බලයට පත් වී 1983න් කාලය අවසන් වීමට නියමිත ව තිබූ පාර්ලිමේන්තුව තවත් අවුරුදු හයකට දීර්ඝ කර ගැනීම සඳහා 1982 දෙසැම්බරයේ ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු කළා.
එකල
විශ්වවිද්‍යාලයීිය ආචාර්ය සමිති සම්මේලනය ක්‍රියාත්මක වුණේ නැහැ. අප කිහිප දෙනකු මැදිහත් වී විශ්වවිද්‍යාලවලට ගොස් ජනමත විචාරණය පැවැත්වීමට විරූද්ධ ව සකස් කළ ලිපියකට ආචාර්යවරුන්ගේ අත්සන් ගත්තා. ඒ ලිපිය අප පුවත්පත්වලත් පළ කළා. මට මතකයි සාමාන්‍යයෙන් එවැනි ක්‍රියාවලට එකතු නොවන ගණිත අධ්‍යනාංශයේ මහාචාර්ය වැලන්ටයින් ජෝසෆ් ද එයට අත්සන් කළ බව.
ජනමත
විචාරණයෙන් ජේ ආර්ට අවශ්‍ය වූ දේ ඔහු ඉටු කර ගත්තා. ඡන්දදායකයන් 1983 මැතිවරණය එපා කියා ඡන්දය දුන්නා! 1983 මැතිවරණය පැවැත්වූවා නම් ජේ ආර්ට හයෙන් පහක් තබා තුනෙන් දෙකක් හම්බ නොවීමට ඉඩ තිබුණා. ජේ ආර් ජනමත විචාරණය පැවැත්තුවෙ අර හයෙන් පහේ බලය තබා ගැනීමට. අසු තුනේ දී තමාට තුනෙන් දෙකක් නොලැබෙන බව දත් ජේ ආර් 1977 දී ලබා ගත් බලය 1989 දක්වා තබා ගැනීමට කළ මගෝඩියක් තමයි ජනමත විචාරණය පැවැත්වීම.
මෙහි
තවත් පැත්තක් තියෙනවා. 1977 මැතිවරණයෙහ් ජයගත් ජෙ ආර් පළමු ජනරජ ව්‍යවස්ථාව වෙනුවට දෙවැනි ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තා. අදත් පවතින්නේ ඒ ව්‍යවස්ථාව. එය දැනට විසිඑක් වාරයක් සංශෝධනය කර තියෙනවා. ඒ ව්‍යවස්ථාවෙන් තමයි විධායක ජනාධිපති ධුරය ඇති කෙළේ. එදා එන් එම් පෙරේරා කියා සිටියා ජේ ආර්ගේ ව්‍යවස්ථාවේ භයානකකම. ජේ ආර් ජනාධිපතිවරණයක්
නොතබා ව්‍යවස්ථාවෙන් ම තමා ජනාධිපති ධුරයට පත් කර ගත්තා. ඒ 1978 දී. නව සමසමාජ පක්‍ෂයේ අප කිහිප දෙනකු 1978 පෙබරවාරි හතරවැනි දා නුවර පාරවල කළුකොඩි එසෙවුවා. වික්‍රමබාහු අත් අඩංගුවට ගැණුනා. 1948 පෙබරවාරි හතරවැනි දා පාණදුරේ ආතර වී දියෙස් මහතා තම නිවසේ කළු කොඩියක් එස වූ බව මතක් වෙනවා.
1982
දී ජේ ආර් ඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබූ විධායක ජනාධිපති වුණත් 1978 දී ඔහු තමා විසින් ම ව්‍යවස්ථාවෙන් පත් කර ගනූ ලැබූ ජනාධිපති. අද රනිල් ද ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබූ ජනාධිපතිවරයකු නොවෙයි.
මට
කීමට අවශ්‍ය දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනු ලැබූ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට අමතර ව ඒ සම්මත කරගත් පාර්ලිමේන්තුව ඡන්දයකින් පත් කරගනු ලැබූ පාර්ලිමේන්තුවක් නොවන බව. ව්‍යවස්ථානුකූල
ව තමයි හයෙන් පහේ බලයක් ඇති පාර්ලිමේන්තුවක් තවත් අවුරුදු හයකට දික් කරනු ලැබුවේ. එහෙත් ජේ ආර් කෙළේ 1977 දී ලබාගත් මහජන මතයක් 1983ටත් දීර්ඝ කර ගැනීම. එය නීත්‍යනුකූල වෙන්න ඇති. එහෙත් 1983 පත්වෙන පාර්ලිමේන්තුවට
ව්‍යවස්ථා සංශෝධන කිරීමට තරම් ජනමතයක් තියෙන්නේ නැහැ. ජේ ආර් ඒ බව දන්නා නිසා ම තමයි 1977 පාර්ලිමේන්තුවේ
ආයු කාලය වැඩි කර ගත්තෙ. දහතුන සම්මත කෙරුණේ එවැනි පාර්ලිමේන්තුවකින්.
අද ඡන්දයෙන් පත් නොවූ ජනාධිපති අනෙක් සියලු වැඩ පැත්තකට දමා එවැනි දහතුනක් මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට අර අඳිනවා.