Main Logo

Friday 17 February 2023

වරද්දාගත් පරම්පරාව

 වරද්දාගත් පරම්පරාව

 

අවුරුදු විසිපහකට තිහකට පමණ පෙර දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වල ප්‍රධාන කතෘ වූ එඩ්මන්ඩ් රණසිංහ මහතා අපට වෙච්ච දේ ගැන ලිපි පෙළක් ලියන්න මට ආරාධනය කළා. මහතා ලේක්හවුසියෙන් දිවයිනට ගිය ප්‍රධානියා. සමහර විට උපාලි විජේවර්ධන මහතා සියරට කතෘ ලෙස රණසිංහ මහතා දැන ගෙන ඉන්න ඇති. එසේ කී ගමන් ඇතැමකු හිතන්නේ රණසිංහ මහතා ප්‍රතිගාමියකු කියා. එහෙත් රණසිංහ මහතාට තිබූ ජාතිකත්වය ඊනියා ප්‍රගතිශීලින්ට නැහැ.

 

මා ලිපි පෙළේ මොනවා ලිවුව කියා මට මතක නැහැ. එහෙත් රණසිංහ මහතාට එකලත් අප අමාරුවේ වැටිච්ච ජාතියක් ලෙස පෙනිලා තියෙනවා. අපට වෙච්ච දේ යන මාතෘකාවෙන් බව පැහැදිලි වෙනවා. අද වන විට අප ඉන්නේ පාතාලයේ. තම බිරිඳගේ පාසලේ සිසුන් කිහිප දෙනකුට හෙල්මට් දාගන්න කී වරදට සිසුන් එක් මහතකුට හෙල්මට්වලින් පහර දී ඝාතනය කළ පුවතක් වාර්තා වෙනවා. කතාව ඇසූ විට එහි විස්තර කෙසේ වුණත් සංවේගයක්, කම්පාවක් ඇති වෙනවා. අපට වෙලා තියෙන දේත් පැහැදිලියි. අප ජාතියක් ලෙස හෙල්මට්වලින් පහර කා ඝාතනය වීමට ඉතා ආසන්නයි.

 

මට දැනෙන්නේ අප ලේ විලක් මැද ආසියාවේ යුක්‍රේනය බවට පත්වෙමින් තියෙන බවයි. චීනයට විතරක් නොවෙයි ඉන්දියාවට විරුද්ධවත් නේටෝවට අප වැදගත් වෙනවා. ඉන්දියාවට ජාතිකත්වයක් තියෙනවා. මෝදි ජාතිකවාදී නායකයෙක්. ඔහු බටහිර ගැත්තෙක් නො වෙයි. ඔහු රුසියාවත් සමග ඇති සම්බන්ධකම් අත්හරින්නේ නැහැ. රාජපක්‍ෂලා පන්නා ගැනීමෙන් පසු අප බටහිරත් සමග ඇති සම්බන්ධකම් අත්හරින්නේ නැහැ.  රාජපක්‍ෂලා පන්නා ගත්තේත් අපි නො වෙයි.

 

මෙරට වමක් නැති වුණත් වාම අදහස් රජයනවා. රුසියාවෙත් චීනයෙත් කියුබාවෙත් නැති වාම අදහස් ලංකවේ තියෙනවා. අද මෙරට බුද්ධිමය නායකත්වයේ ඇත්තේ වාම හා ලිබරල් අදහස්. කලාවේ සාහිත්‍යයේ නම් වාම අදහස් තමයි බලවත්. ජාතිකත්වයක් ඇති කලාකරුවන්ටත් සිද්ධ වෙනවා වමාලත් එක්ක ඉන්න. නැත්නම් කලා ලෝකයේ තැනක් නැහැ. කොහොම වුණත් වාම අදහස් නිසා තමයි අපි ආසියාවේ යුක්‍රේනය බවට පත්වන්නේ. යුක්‍රේනයේ සෙලන්ස්කි අඩු තරමෙන් බටහිර රාජ්‍ය නායකයන් හමුවීමේදීත් අර කමිසය ගලවා ටයිපට පැළඳ කබායක් අඳින්නේ නැහැ.

 

අර දහසය හැවිරිිදි වියේ සිසුන් කිසිම වැඩිහිටියකුගේ බසට කන් දෙන්න සූදානම් නැහැ. ඔවුන් හැදෙන වැඩෙන පරිසරය එබඳුයි. ඔවුන් හිතන්නේ තමන් හැම දෙයක් දන්නා බව. ඔවුන් කිසිවකුට දෙවැනි වෙන්න කැමති නැහැ. ඔවුන්ගේ බසින් නම් සෙකන්ඩ් වෙන්න කැමති නැහැ. අද සමාජයේ අය හිතන්නේ තමන් තරම් දන්නා අයකු මෙදියත නැහැ කියා. සකර්බර්ග්ගේ මෙටාවට ගිහින් බලන්න ඔවුන් තමන් දන්නා දේ ප්‍රදර්ශනය කරන අයුරු.

 

මා හිතන්නේ නැහැ ඔය වරද්දාගත් පරම්පරාව දෙමවුපියන් කියන දෙයක් අහනවා කියා. අද දෙමවුපියන්ට ජීවත් වෙන්න සිදු වෙලා තියෙන්නෙ දරුවන්ට බයේ. ගුරුවරුන්ට සිසුන්ට බයේ. නායක හාමුදුරුවරුන්ට තමන් වහන්සේගේ ශිෂ්‍ය හාමුදරුවරුන්ට බයේ. පන්සලේ ඇත්තේත් බුදු බණ නොව වාම අදහස්. සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වෙලා ටිකක් කල්.

 

කාට හරි කියන්න පුළුවන් වසවර්ති මාරයන් හැමදාමත් හිටියා කියලා. ඒත් මා හිතන්නෙ නැහැ මේ අනුපාතයට හිටියා කියලා. අද සමාජය පිරිහිලා. පිරිහිලා කියන එකෙන් මා අදහස් කරන්නෙ බුදුදහමෙන් ඈත් වෙලා කියන එක. අපි අද විිද්‍යාඥයන් වෙලා තාර්කිකයන් වෙලා දාර්ශනිකයන් වෙලා ශාස්ත්‍රඥයන් වෙලා තව තවත් අය වෙලා. ඊනියා ජාත්‍යන්තරයට ගිහිල්ලා. ඒත් ජාත්‍යන්තරය කියන්නෙ බටහිරයන් අප ගැන දන්නෙ නැහැ. අප අභිසංස්කරණය කළ දැනුමක් බටහිරයන් දන්නෙ නැහැ. අප දන්නේ, දන්නවාය කියා හිතන්නේ බටහිරයන් අභිසංස්කරණය කළ දැනුම පමණයි. අප බටහිර පඬියන්ගේ වලිග පමණයි. වෙනත් විධියකට කියනවා නම් පඬි නැට්ටන්.

 

අප මේ තත්වයට පත් වීමට අවුරුදු සියයකට වැඩි කාලයක් ගිහින් තියෙනවා. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේගේ ජන්ම ද්විශත සංවත්සරය වෙනුවෙන් පළ කළ සඟරාවකට මා ලියූ ලිපියක් කොටස් වශයෙන් මෙටාවට ඇතුල් කරන්න බලාපොරොත්තු වෙනවා. සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම ගැන. සකර්බර්ග් ලිපිය ආරක්‍ෂා කරාවි. මා නම් වත්මන් පරම්පරාව දන්නා දෙයින් දාහෙන් එකක්වත් දන්නේ නැහැ. මේ ලිපි ඔවුන්ට නම් නො වෙයි. ඔවුන් ඉදිරියේ මා මැන්ටලයක් නාකියෙක් මුග්ධයෙක් මිථ්‍යා මතධාරියෙක් පසුගාමියෙක් හා තවත් දේ.

 

අද මේ පරම්පරාව කියන්නේ ගෝඨාභය පන්නා දැමූ තමන්ට රනිල් කජ්ජක් නො වේ කියලයි. කොතරම් කීවත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ ගෝඨාභය පැන්නුවේ තමන් නො වේය කියලා. ගෝඨාභය පැන්නූ අයට රනිල් පන්නන්න වුවමනාවක් නැහැ. රනිල් ඔය පරම්පරාව නම් පන්නාවි. කොහාට කියල මගෙන් අහන්න එපා.

 

අද ඇතැමුන් වි පෙරමුණට ඇති සෘණ රැල්ලක් නිසා සිහි විකල් කරගෙන. සෘණ රැල්ල කියන්නෙ එය අනෙක් පක්‍ෂවලට විරුද්ධ රැල්ලක් නිසා. බටහිර තානාපති කාර්යාල බව නොදන්නවා කියා හිතන්න එපා. වි පෙ, ජා කියා වෙනස් වෙලා තියෙන්නෙ රනිල්දාසගෙ වුවමනාවට. එහෙත් ඔය වරද්දාගත් පරම්පරාව දවසක රනිල්දාස කියන දේත් අහන්නෙ නැහැ. රනිල්දාස මැන්ටලයක් වන එදාට රනිල් වැඩ පෙන්නාවි. (මතු සම්බන්ධයි)