Main Logo

Monday, 20 February 2023

බුදුදහමට බුද්ධාගමක සේයාවක් වැටීම

බුදුදහමට බුද්ධාගමක සේයාවක් වැටීම

 

මෙය පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ජන්මයෙන් ද්විශතකයක් ගත වීම නිමිත්තෙන් පළ කරන ලද සඟරාවකට මා ලියූ ලිපියක දෙවැනි කොටස. තව කොටස් පහක් හරි හයක් හරි තියේවි.

 

මට වඩා බෞද්ධ හා ඉතිගාස පොතපත කියවූ අය මෙරට දහස් ගණනක් ඉන්නවා. මා කියන කරුණුවලට ඔවුන් විරුද්ධ වන බවත් මා දන්නවා. මා බුද්ධාගම්කාරයකු නොවෙයි. බුදුදහම හා මෙරට ඉතිහාසය ගැන මා ඉන්නේ විමසුමෙන්. මා කිසිවක් අදහන්නේ නැහැ. බටහිර විද්‍යාව අදහන්නෙත් නැහැ. මා මූලික වශයෙන් ථෙරවාදය පිළිගන්නවා. එහෙත් අද උගන්වන ථෙරවාදය ගැන පමණක් නොව මහාවංසය ගැනත් මට ප්‍රශ්න තියෙනවා. සීගිරිය යක්‍ෂ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවයි මට වැටහෙන්නේ. ඒ ගැන ලිපියක් පසුවට. මේ ලිපි ප්‍රතිචාරවලට විවෘතයි. මා වැරදි යැයි ඔබ සිතන දේ විවෘත ව ලියන්න.  

-----------------------------------------------------------------------------------

 


 මෙරටට බුදුදහම නිල වශයෙන් ලැබී ඇත්තේ මිහිඳු මහා රහතන් වහන්සේගෙන්. එහෙත් එයට කලිනුත් මෙරට බෞද්ධයන් සිටි බවට මහාවංසය සාක්‍ෂි දරණවා. සමන් දේව හෙවත් සමන් දෙවියන්, චූලෝදර මහෝදර මණිඅක්ඛික නාග රාජයන්, මෙරට වාසය කළ දේව නාග ජනකොටස්වලට අයත් වූවන්. ඔවුන් බෞද්ධයන් වූ බවට සැකයක් නැහැ. යක්‍ෂයන් නම් බෞද්ධ වීම තරමක් පමා කර ඇති බවක් පේනවා.

 

බුදුදහම ඔවුන් තම ජීවිතවලට ඇතුල් කරගෙන සිටි බවයි කියන්න වෙන්නෙ. බුදුදහමෙහි හරය කුමක් ? මා කලින් සඳහන් කළාක් මෙන් ජීවත් නොවීම සඳහා ජීවත් වීමයි. මෙහි ජීවත් නොවීම යන්නෙන් අදහස් කරන්නේ මතු භවයක ජීවත් නොවීමයි. එනම් යළි නූපදීමයි. අප කළ යුත්තේ යළි නූපදීම සඳහා යළිත් භවයක ජීවත් නොවීම සඳහා මේ භවයේ ජීවත් වීමයි. අපේ ජීවන ක්‍රමය එයයි.

 

ආගම් එහෙම නො වෙයි. ආගම්වල අරමුණ සදාකාලික නොමැරී ඉන්න ක්‍රමයක් සලසා ගැනීමයි. එය ස්වර්ගය වෙන්න පුළුවන්. නැත්නම් බ්‍රහ්මන් සමග එක් වීම වෙන්න පුළුවන්. අද්වෛත වේදාන්තය අනුව නම් බ්‍රහ්මන් හා තමන් ආත්ම දෙකක් නොව එකක් පමණක් බව තේරුම් ගැනීම. ඔවුන් පෘථග්ජන කියන්නේ එක්වීම සාක්‍ෂාත් කර නොගත් වෙන් වූ ජනයා කියන අරුතින්.  ඔවුන්ගේ බ්‍රහ්මන් ගැන හරි ලෝකය (විශ්වය) මැවු දෙවියන් වහන්සේ හරි ගැන ඇත්තේ විශ්වාසයක් හා භක්තියක්. අද අප හදන්නේ හැකි නම් මෙලොව නොමැරී ඉන්න. නැත්නම් මෙලොව සැප විඳීමට ස්වර්ගයක් නිර්මාණය කර ගන්න.

 

මිහිඳූ මහා රහතන් වහන්සේ අපේ ජීවිතයට බුදුදහම ඇතුල් කළා. එය නිල වශයෙන් සිදු වුණා කියන්න පුළුවන්. උන්වහන්සේට පසු අප බෝධි වන්දනාව කරනවා. එය බුදුදහම අපේ තිබුණු සංස්කෘතියට අවශෝෂණය කිරීමක්. වැඳීම කියන්නෙ එක් අතකින් ගරු කිරීමක්. අප බුදුන් වඳිනවා. ධර්මයට වඳිනවා. සංඝයා වහන්සේට වඳිනවා. දෙමව්පියන්ට වඳිනවා. ගුරුවරුන්ට වඳිනවා. මා කියන්නේ නැහැ දේශපාලනඥයන්ට වඳින්න ඕන කියා. පිිදිය යුත්තන් පිදීමයි අපේ ජීවන ක්‍රමය. පිදිය යුත්තන් පමණක් නොවෙයි පිදිය යුතු වස්තුන් අප පුදනවා. ධාතුන් වහන්සේ බෝධින් වහන්සේ එයට උදාහරණ. අප වස්තුන් වහන්සේ ලෙස හැඳින්වීමෙන් එක්තරා ආකාරයකට ජීවමාන කර තියෙනවා. වැඳීමෙන් කුමන අරුතකින්වත් අපේ කොන්ද කැඩෙන්නේ නැහැ. එහෙත් වෙනත් අය කියන දේ විමසීමකින් තොරව විශ්වාස කිරීමෙන් නම් කොන්ද කැඩෙනවා.

 

අප බුදුන් වහන්සේ අධිමානුෂික යැයි සිතන්නේ නැහැ. අපට උන්වහන්සේ කෙරෙහි ඇත්තේ ගෞරවයක් ශ්‍රද්ධාවක් මිස භක්තියක් නො වෙයි. භක්ති වන්දනාව හින්දු ආගමේ වැඩක්.  අපට භක්ති වන්දනා නැහැ. අප ගරු කිරීමට වඳිනවා. එය පිිදිය යුත්තන් පිදීමක්. බුදුන් වහන්සේත් මනුෂ්‍යයෙක්. සසර කෙළවර නොකළ අයට සසර කෙළවර කිරීමට මග පෙන් වූ මනුෂ්‍යයෙක්. අපි බුදුන් වහන්සේට යාඥා කරන්නේ නැහැ. උන්වහන්සේට අපේ සසර කෙළවර කරන්න බැහැ. අපේ සසර අප කෙළවර කරගන්න ඕන.

 

අනුරාධපුරයේ මැද භාගය පමණ වන තුරු අපට ආගමක සේයාවක්වත් තිබුණේ නැහැ. අප බුදුදහම අපේ සංස්කෘතියේ ප්‍රධාන අංගය බවට පත් කර ගත්තා. අප අනුව ජීවත් වුණා. ජීවත් නොවීමට ජීවත් වුණා. අපේ ආර්ථිකය සංස්කෘතිය ආදී සියල්ල නිවීම පදනම් කර ගත්තා. අප සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න කියා. භවයේ අපට අවශ්‍ය වන්නේ නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න. නිවුණු පසු සසර කෙළවරයි. ඉන් පසු සැනසිල්ලේවත් ජීවත් වෙන්නේ නැහැ.

 

එහෙත් තුන්වැනි පස්වැනි සියවස් අතර මෙරට සංස්කෘතියේ යම් වෙනසක් සිදු වී තිබෙනවා. වෙනස අනුරාධපුරයේ සමාධි පිළිම වහන්සේ හා අවුකන පිළිම වහන්සේ අතර ඇති වෙනස කියන්නත් පුළුවන්. අපේ සරලකම තරමක් අඩු වුණා. බුදු හාමුදුරුවන් අසාමාන්‍ය වුණා. අපට ආන්ද්‍ර ප්‍රදේශයේ බ්‍රාහ්මණ බුදුදහමක් ලැබී තිබෙනවා. එය මියන්මා ඉතිහාසයෙත් දකින්න පුළුවන්. මියන්මා බුදුදහම ආන්ද්‍ර ප්‍රදේශයෙන් ලැබුණු එකක්. ශ්‍රද්ධාවේ තැනට භක්තිය පමුණුවන්න උත්සාහ කෙරුණා. අපට ආගමක සේයාවක් ආවා. එහෙත් අප ආගම් කාරයන් වුණේ නැහැ.

 

ඉන් පසු අපට හින්දු ආභාසයත් ලැබුණා. අනුරාධපුරය හා පොළොන්නරුව අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ගාමිණීලා උදයලා සේනලා අභයලා වෙනුවට අපට විජයබාහු ලා පරාක්‍රමබාහුලා ලැබුණා. පරාක්‍රමබාහු මහා පරාක්‍රමබාහුත් වුණා. අපේ සරල බව නැති වෙන්න පටන් ගත්තා. සරල ප්‍රෞඪ බව වෙනුවට සංකීර්ණ දීන බවක් ඇති වීම ඇරඹුණා. ගල් තලාවේ වාඩි වී බණ ඇසූ රජවරු වෙනුවට ලතා මණ්ඩපවල අසුන් දැරූ රජවරු අපට ලැබුණා.  සඳකඩ පහණින් ගවයා ඉවත් කෙරුණා. සංස්කෘත වචන සිංහල භාෂාවට හුරු වුණා. කුල ක්‍රමය කුල භේදයක් බවට පත් වුණා. බ්‍රාහ්මණ සම්ප්‍රදායක් බලවත් වෙන උත්සාහයක් තිබුණා.

 

අප ඉන් පසු බ්‍රාහ්මණ සම්ප්‍රදායට එරෙහි විටින් විට කටයුතු කරල තියෙනවා. කුරුණැගල යුගයේ ලියැවුණු උම්මග්ග ජාතකය උදාහරණයක්. එහෙත් අප ටිකෙන් ටික මායා රටට පන්නනු ලැබුවා. අප පිහිටි රටෙන් හා රුහුණු රටෙන් ඉවත් වුණා. ඒත් අපට ආගමක් ඇති වුණේ නැහැ. අපට සංස්කෘතියක් හා හා බැඳුණු ජීවන රටාවක් තිබුණා. අපි ආගම් කාරයන් වුණේ නැහැ.

 

එහෙත් පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. සොළීන් මෙරට හිටියේ ටික කලයි. අපට ඔවුන් විටින් විට පරාජය කර පළවා හරින්න පුළුවන් වුණා. සොළින් නිසා අපට හින්දු ආගමේ සේයාව වැටුණු නමුත් අප ආගම් කාරයන් වුණේ නැහැ. එහෙත් අපට පෘතුගීසීන් පළවා හරින්න බැරි වුණා. එපමණක් නො වෙයි දොන් ජුවන් ධර්මපාල ඇතුළු අය කතෝලික වුණා. සමහර විට සොළී ආභාසයෙන් ඇතැම් සිංහලයන් පොළොන්නරු යුගයේත් හින්දු වෙන්න ඇති. මා දන්නේ නැහැ. එහෙත් සොළීන් ගිය පසු ඔවුන් ආගම අත් හරින්න ඇති. කෙසේ වෙතත් අද සිංහල හින්දු කියා කොටසක් නැහැ. මුස්ලිමුන් මෙරට කිසි ප්‍රදේශයක් කිසි දා යටත් කර ගත්තේ නැහැ. කෙසේ නමුත් සිංහල ඉස්ලාම් භක්තිකයනුත් නැහැ.