Main Logo

Thursday 2 November 2023

බටහිරයෝ හා පඬි නැට්ටෝ

 

බටහිරයෝ හා පඬි නැට්ටෝ

 

බටහිරයන්ගෙ කිසිම දෙබිඩි ප්‍රතිපත්තියක් නැහැ. පඬි නැට්ටන්ට නම් තියෙන්න තෙබිඩි දසබිඩි ප්‍රතිපත්ති. බටහිරයන්ට තියෙන්නෙ තම සභ්‍යත්ව ආධිපත්‍යය තහවුරු කර ගැනීමයි. එය දේශපාලනයේ බටහිර දැනුමේ ආදී වශයෙන් දිය ගොඩ හැම තැන ඉතිරෙනවා, පැතිරෙනවා. අද ගාසා තීරයේ සිද්ධ වෙන මානව අයිතිවාසිකම් කඩවීම් කියන කතා පැත්තකින් තියන්න, රෝගීන් සරණාගතයන් ස්ත්‍රීන් ළමුන්  ආදීන් ඝාතනය කිරීම් ගැන ඇහැක් ඇරලා බලන්නෙ නැතුව ඉන්න බටහිරයන්ට පුළුවන්. අප කිසිවක් නොකළත් අපට විරුද්ධ මානව අයිතිවාසිකම් කඩකිරීම් චෝදනා. අපේ රණවිරුවන්ට ඇමරිකාවට යෑමට වීසා නැහැ. ඇමරිකන් හමුදා භටයන් ඊශ්‍රායලයට යනවා පලස්තීනුවන්ට විරුද්ධ සටන් කරන්න.

 '

එය දෙබිඩි ප්‍රතිපත්තියක් නො වෙයි. ඊශ්‍රායලය කරන්නේ මුස්ලිම් සභ්‍යත්වය නැති කිරීමට බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයට ආධාර කිරීමයි. බටහිරයන්ට යුදෙවුවන් කෙරෙහි තවමත් එතරම් පැහැදීමක් නැති වුවත් යුදෙවුවන් ගාසා තීරයෙහි  කරන දේ ගැන ඇත්තේ ප්‍රසාදයක්. අප කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ආයුධ ගත්, බටහිර අනුග්‍රහය ලැබූ කොටි ත්‍රස්තවාදීන් මානුෂික මෙහෙයුමකින් පරාජය කිරීමයි. එය බටහිරයන්ට දරුණු පරාජයක්. බටහිරයන් සම්බන්ධයෙන් සිංහල බෞද්ධයන්ටවත් නායකයන්ටවත් රණවිරුවන්ටවත් කිසි දිනෙක සමාව දෙන්නේ නැහැ. පරගලය සමාව නොදීම පිළිබිඹූ කරනවා.

 

ඊශ්‍රායලය බටහිරයන් වෙනුවෙන් අමානුෂික මෙහෙයුම්වල යෙදෙන්නේ යටත්විජිත අත්පත් කර ගැනීම සඳහා අවුරුදු හයසීයක පමණ කාලයක් තිස්සේ කළ කරන බටහිර අමානුෂික පාහර ප්‍රහාර නැවත නැවතත් මතකයට නංවමින්. පෘතුගීසීන්ගේ සිට ඉංගිරිසින් දක්වා මෙරට කළ ඝාතන ගැන අපට යෑමට ඊනියා ජාත්‍යන්තර අධිකරණයක් නැහැ. හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරය ගැන පැමිණිළි කරන්න පුළුවන් යමරජුට පමණයි. සමහර විට යමරජු ටෘමන් බලා ගන්නවා ඇති.

 

මා නව යටත්විජිතවාදය යන සංකල්පයට කැමති නැහැ. පඬි නැට්ටන් නම් තොර තෝංචියක් නැතුව සංකල්පය යොදා ගන්නවා. බටහිරයන් මහින්දට හා ගෝඨාභයට විරුද්ධයි. තමන් ඔවුන් අතින් පරාජය වූ නිසා.  ගෝඨාභයට ඇමරිකාවට ඇතුල්වීමට වීසා දෙන්නේ නැහැ. ගෝඨාභය තමන් මරන්නට පැමිණි පරගලයන්ටවත් විරුද්ධ කිසිවක් කෙළේ නැහැ. එය දරුවන් සන්දා කළ දෙයක්.

 

එහෙත් අද රනිල් හමුදාව ලවා බුුදු පිළිම වහන්සේ ඉවත් කරවනවා. විදුලි බිල ගෙවීමට නොහැකි උද්ඝෝෂණය කරන්නන් පොලීසිය ලවා බස් රථවලින් බස්සවා අත් අඩංගුවට ගන්නවා. අද නීතිපති දෙපාර්තුමේන්තුවට දළකාරයන්ට විරුද්ධ නඩුවක් ගොනු කර ගන්න බැහැ. අධිකරණයේ දී ප්‍රමාණවත් සාක්‍ෂි නැති බව කියනවා. අධිකරණයෙන් විත්තිකරුවන් නිදොස් කර   නිදහස් කෙරෙනවා. අධිකරණයට එයට වඩා දෙයක් කරන්න බැහැ. අර මහා බැංකු මංකොල්ලයේ පවු රටේ නැති අර්ජුන් මහේන්ද්‍රන් පිටින් යැවුනා.

 

මා අහන්නේ නැහැ පරගලයන්ට දැන් සනීප කියා. වියත්මගේ හිටපු අයටත් දැන් නින්ද යනවා ඇති. ඇත්තට වියත්මගේ අය දැන් කොහෙද ඉන්නෙ. මා ඊනියා ජාතිකවාදීන් ගැන සිහළ උරුමය ජයග්‍රහණය වීරවිදහන ත්‍රස්තවිරෝධි ව්‍යාපාරය කාලයේ සිට දන්නවා. මා එකල ඔවුන්  පොදුවේ හැඳන්වූයේ බෙල්බොටම් විහාර මහා දේවීන් ලෙස. ජාතික ඒකාබද්ධ කමිටුවේ කුප්‍රසිද්ධ වාර්තාවෙන් පළාත් සභා අනුමත කෙරුණා. එයට විරුද්ධ වීම නිසා සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයන් පැවති කමිටුවෙන් බෙංගමුවේ නාලක හිමියන් ඕමාරයේ කස්සප හිමියන් හා මා අස්කෙරුණා.

 

අද ගුණදාස අමරසේකරගේ අනුශාසකත්වයෙන් ඇති ජාතික සංවිධාන එකමුතුවෙත් චැඩිම වුණොත් ජාතික සංවිධාන දෙක තුනක් ඇති. ජාතික සංවිධාන බොහොමයක් ධනවාදී, මාක්ස්වාදී සමාජවාදී, භෞතිකවාදී, විඥානවාදී වශයෙන් වාද එකකට හරි දෙකකට හරි අයත් වෙනවා. ඔවුන් ජාතික සංවිධාන කියන ප්‍රශ්නය ඇති වෙනවා. බුදුදහම මේ එක වාදයකටවත් අයත් නැහැ. මගේ මිතුරකු පවසන පරිදි ඇතැම් යෙච සංඝා අතීතාච අයටත් (අතීතයේ පැවිදි සිටි අයටත්) ඔය මොකක් හරි වාදයක් ඕන.

 

මේ සියල්ල අද බටහිර දැනුමට යට වීම නිසා. නව යටත්විජිතවාදය යන්න යොදා ගැනීමට අවශ්‍ය නම් මේ දැනුම් ආධිපත්‍යය ගැන කියන්න එය යොදා ගන්න පුළුවන්.  බටහිරයන් හමාස් සංවිධානයට විරුද්ධ වන්නේත් කොටි සංවිධානයට පක්‍ෂ වී අනුග්‍රහ දැක්වූයේත් තම සභ්‍යත්ව ආධිපත්‍යය වෙනුවෙන්. පඬි නැට්ටන් හමාස් සංවිධානයට විරුද්ධයි. කොටින්ට පක්‍ෂයි. පලස්තීනයට පක්‍ෂයි. සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි. ඔවුන් රුසියාවට චීනයට කියුබාවට පක්‍ෂයි. ඒත් එක රටක්වත් මාක්ස්වාදී නො වෙයි.

 

ඔවුන් සමහරකු ලෝකයේ ඉහළ දාර්ශනිකයන්, විද්‍යාඥයන්, ශාස්ත්‍රඥයන්, බුද්ධිමතුන්. එහෙත් මෙටවෙන් හා මොටාවෙන් පිට ඔවුන් ගැන දන්නා අයකු නැහැ. බටහිරයන්ට ඇත්තේ තම සභ්‍යත්ව ආධිපත්‍යය තහවුරු කර ගැනීමයි. පඬි නැට්ටන්ට ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයයි. සිංහල බෞද්ධ විරෝධී වීමට ඔවුන් බටහිර දැනුම් ආධිපත්‍යයට යටවෙනවා. මාක්ස්වාදයත් යෙදා ගන්නවා. බටහිර විද්‍යාවත් යොදා ගන්නවා. ඔවුන් දෙබිඩි දසබිඩි දඩිබිඩි කියා අහන්න එපා. අප බටහිර දැනුම් ආධිපත්‍යයට යට නූණත් බටහිර දැනුම දැනුමක් ලෙස ප්‍රතික්‍ෂෙප නොකරන බව දුහුනන් දැනුම් උදෙසා තවත් වරක් කියන්න ඕන.