කෙහෙම්මල් පුරාවස්තු
දවසකට ලිපි කිහිපයක් ලිවීමට තේමා තියෙනවා. මේ වහින වැස්ස හොඳ වැස්සක් නොවෙයි. එය අනාගතයේ සිදුවන විනාශයක පෙර නිමිත්තක් පමණයි. අද ආත්මාර්ථයට පමණක් යොමු වී සිටින සිංහල බුද්ධාගම්කාරයන් ඉක්මණින් වෙනස් නූණොත් ශාසනයත් නැති වේවි. එහෙත් අප අධෛර්යමත් විය යුතු නැහැ. අපට යහමගට, ඊනියා යහපාලනයකට නොව, යොමු වෙන්න පුළුවන්.
මා
එසේ කීම බටහිර දැනුම් පද්ධතිය පමණක් එක ම දැනුම් පද්ධතිය ලෙස සලකන පඬි නැට්ටන්ගේ අපහාසයට උපහාසයට ලක්වන බව මා දන්නවා. ඔවුන් අහුලා ගෙන ඇති බටහිර දැනුම අනුව මා මනෝචිකිත්සකයකු වෙත යැවිය යුතු පුද්ගලයකු බවත් මා දන්නවා. ඔවුන් කුමක් කීවත්
මා ආධ්‍යාත්මික ශක්තිය ගැන විශ්වාස කරනවා. බටහිර විද්‍යාවට ඒ තේරෙන්නෙ නැත්නම් මට කරන්න දෙයක් නැහැ.යම් දිනෙක බටහිරයන් ආධ්‍යාත්මික ශක්තිය පිළිගත්තොත් එදීන පඬි නැට්ටන් ඒ ඉදිරියෙහි වැඳ වැටේවි. බටහිර විද්‍යාවට ඊනියා කළුකුහර තේරෙන්නෙත් නැහැ. ඒ තේරෙන්නෙ ලංකාවෙ ඉන්න පඬි නැට්ටන්ට සහ තවත් අයට.
අවුකන
බුදු පිළිම වහන්සේට සිවුරු පෙරවීම ගැන පඬි නැට්ටන් ලියන කතා මටත් කියවන්න ලැබෙනවා. ඔවුන්ට අනුව පෙරවීම යන වචනය යොදන්න බැහැ. පිළිම වහන්සේ සිවුරු පෙරවුයේ නැතිලු. මා කියා ඇත්තේ පිළිම වහන්සේ සිවුරු පෙරවූ බවක් නෙව පිළිම වහන්සේට සිවුරු පෙරවූ බවයි. සිංහලයේ විභක්තිත් වෙනත් භාෂාවකින් පැරණි අනුකාරකයන් ගත් ඒවා වෙන්න පුළුවන්. එහෙත් අපට ප්‍රථමා කර්ම සම්ප්‍රදාන ආදී විභක්ති ඇති බව පඬි නැට්ටන් නොදන්නවා වෙන්න පුළුවන්. වහන්සේ හා වහන්සේට අතර වෙනසක් ඇති බව ඇතැම් වහන්සේලාට තේරෙන්නේ නැහැ.
තවත්
පඬි නැට්ටකු කියා තිබුණේ ඊජිප්තුවේ පිරමිඩ පුරාවස්තු රකින ආකාරයට අපත් අපේ පුරාවස්තු රැකිය යුතු බවයි. අවුකන පිළිම වහන්සේ කෙහෙම්මල් පුරාවස්තුවක් නො වෙයි. ඒ පූජනීය වස්තුවක්. අපේ ජීවමාන සංස්කෘතියේ උරුමයක්. පිරමිඩ හැදූ පාරාවෝ සංස්කෘතිය අද ඊජිප්තුවේ නැහැ. එහි ඇත්තේ අරාබි මුස්ලිම් සංස්කෘතියක්. පස්වැනි සියවසේ ධාතුසේන රජු (ඔහුගේ පියා දඹදිවින් පැමිණි මෞර්ය වාංශිකයෙක්. ධාතුසේන රජු මෞර්ය වංශයේ ප්‍රථම රජු වන්නේ එබැවින්.) තම සම්භවය කුමක් වුණත් සිංහල බෞද්ධ රජෙක්. යමකු සිංහලයකු හරි වෙනත් අයකු හරි වෙන්නෙ සංස්කෘතියෙන් මිස ජානවලින් නොවන බව පඬි නැට්ටන් සම්ම ජාතියේ තේරුම් ගන්නේ නැහැ. ඔවුන් මා සිංහලයකු නොවන බව කියන්නේ තමන් විජයත් සමග
පැමිණි හත්සීයෙන් පැවත එන්නන් බව හිතාගෙන වෙන්න ඇති. එමෙත් නැත්නම් දෙමළ ජාතියක් තිබුණත් සිංහල ජාතියක් නැති බව කියන අවජාතකයන් නිසා වෙන්න ඇති. ඒ කොහොම වුණත් අද අපේ සංස්කෘතිය ධාතුසේන රජුගේ කාලයේ සිංහල බෞද්ධ සංස්කෘතියේ විකාශයක් පමණයි.
අවුකන
පිළිම වහන්සේ අපේ උරුමයක් මිස පුරාවස්තුවක් නො වෙයි. කුරුන්දියත් අපේ උරුමයක්. එය අවුකන පිළිම වහන්සේටත් වඩා පැරණියි. සද්ධාතිස්ස රජුගේ පුතා ඛල්ලාටනාග රජු ප්‍රදීපාගාර (ලයිට් හවුස්) හැදුවේ ධතුසේන රජුට කලින්. රනිල්ට ඒ බව දැන ගන්න ලැබිලා නැති බවයි පේන්න තියෙන්නෙ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රකින්න පුරාවස්තු ලංකාවේ ඇත්නම් ඒ් අප සිංහල බෞද්ධයන් වීමට තැනූ දේ වෙන්න ඕන. ඉනුත් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී ඇති වැවු සීගිරිය ආදිය පුරාවස්තු නොවෙයි. අවුකන පිළිම වහන්සේට සිවුරු පෙරවීම ගැන තීරණයක් ගත යුත්තේ ඉංගිරිසින්ගේ අනුදැනුමෙන් සම්මත කරගත් පුරාවිද්‍යා පනතක් අනුව නොව ත්‍රෛනිකායික සංඝයා වහන්සේගේ සංඝ සභාවකින්. එහි දී උන්වහන්සේ ගිහියන් ද විමසනවා වෙන්න පුළුවන්.
ඒ තීරණය ගැනීමට භික්‍ෂූන් වහන්සේට ඉඩ දී පුරාවිද්‍යා දෙපර්තමේන්තුව අප සිංහල බෞද්ධයන් වීමට පෙර මෙරට නිර්මාණය කළ දේ ගැන අවධානය යොමු කරනවා නම් රටට වැඩක් වේවි. මෙරට ඉංගිරිසි අධ්‍යාපනය යටතේ හැම දෙයක් මෙන් ම ඉතිහාසය පුරාවිද්‍යාව ආදිය ද අවුල් වෙලා, අවුල් කරලා.
මා
දන්නේ නැහැ රුවන්වැලි මහා සෑය ඇතුළු චෛත්‍ය වටා බෞද්ධ කොඩිය එතීම උරුම රුකීමට එකඟ ද කියා. අපේ උරුම බොහෝ විට අපේ පූජනීය වස්තු ද වෙනවා. එසේ නොවන දේ ද තියෙනවා. වැවු සීගිරිය එයට උදාහරණ. ඒ උරුම වුවත් පූජනීය නැහැ. සමහර විට සීගිරිය අප සිංහල බෞද්ධ වීමට පෙර යම් සිද්ධස්ථානයක් ව තියෙන්න ඇති. එහෙත් දැන් ඒ එසේ නොවෙයි. වැවු තනන්න ඇත්තේ අප සිංහල වීමටත් පෙර. එහෙත් දැන් වැවු සිංහල බෞද්ධ සංස්කෘතියේ අංගයක් වෙලා. එහෙත් වර්තමානයේ අප වැවු නඩත්තු කරනන දන්නේ නැහැ. අප උගතුන් වෙලා.
මා
දන්නවා මෙසේ කීම ගැන සුපිරි ජාතිකවාදීන් ද කුලප්පු වෙන බව. ඔවුන් මා ගැන සිතන්නේ ජාතිද්‍රෝහි වසලයකු ලෙස. ඊයේ මා හමුවන්න මගේ පැරණි මිතුරකු පැමිණියා. ඔහු කැලණිය මොටාවේ ගණිතය හදාරන ශිෂ්‍යයකු වී ඇත්තේ ඉංජිනේරුවකු නොවී මගෙන් ඉගෙන ගැනීමට. එහෙත් මා උගන්වපු දෙයක් නැහැ. ඔහුට
ඒ ගැන කණගාටුවකුත් නැති බවයි පේන්න තිබුණෙ. ඒ කෙසේ වෙතත් ඔහු දැන් මගෙන් ඉවත් වෙලා. ඔහු සුපිරි ජාතිකවාදියකු නො වෙයි. මා දන්නවා බොහෝ සුපිරි ජාතිකවාදීන් ඔහු මෙන් නොව මට කතාකරන්නවත් අකමැති බව. ඔහු කීවේ ඒ සියල්ලන්ට මෛත්‍රී කරන්න කියා.