ඉතිහාසය ඉගැන්වීම ප්‍රශ්න කිරීම
ඉතිහාසය ඉගැන්වීම ප්‍රශ්න කිරීමට ගුරුවරුන්ට ඉගැන්වීම සඳහා වැඩමුළුවක් ඊයේ පැවැත්වීමට නියමිත ව තිබුණා. ඒ සඳහා කාගේ අනුග්‍රහය ලැබුණා ද යන්න මා දන්නේ නැහැ. විදේශීය නමක් ඇති කාන්තාවක් එයට සම්බන්ධ බව ඔවුන් ඒ වෙනුවෙන් ලියූ දැන්වීමක සටහන් වෙලා තිබුණා.
මා
දන්නවා මට සාමාන්‍ය පෙළ පළමු වසරෙන් පසු ඉතිහාසය පිළිබඳ නිල අධ්‍යාපනයක් නැති බව. පේරාදෙණි මොටාවෙ ඉතිහාස මහාචාර්යවරයකුට මා ඉතිහාසය ගැන කතා කිරීම ම ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඔවුන්ගේ මොටාව මොට්ට ම මොට්ටයන්ගේ පාරාදීසයක් බව පැහැදිලියි. විෂයක් ගැන කතා කිරීමට අවශ්‍ය අවම සහතික පත් අධ්‍යාපනය කුමක් ද? ප්‍රථම උපාධියක් ද ශාස්ත්‍රපති උපාධියක් ද ආචාර්ය උපාධියක් ද? මට නම් ඇත්තේ තාරකා භෞතිකය පිළිබඳ පිනට ලැබුණු ආචාර්ය උපාධි සහතිකයක්. ඒ සහතිකයත් කොහේ තියෙනවා ද කියා මා දන්නේ නැහැ. කවුරු හරි ඉල්ලුවොත් මට චන්ද්‍රිකාට වගේ අමාරුවේ වැටෙන්න වෙනවා. විජය කුමාරතුංග ඒ ගැන ඒ දවස්වල මොකක් දෝ කතාවක් කියා තියෙනවා.
කොහොම
වුණත් මෙරට ඉතිහාසය ප්‍රශ්න කරන එක හොඳයි. මාත් එයට කැමතියි. එහෙත් විදේශිකයන්ගේ අනුග්‍රහයෙන් ඒ කෙරෙන එක ගැන මා විරුද්ධයි. ප්‍රශ්න කිරීමත් සාපේක්‍ෂයි. ඊනියා වාස්තවික ප්‍රශ්න ලෝකයේ නැහැ. යමකු ප්‍රශ්න කරන්නේ යම්කිසි රාමුවක සිට. කිසිම රාමුවක නැති ප්‍රශ්නකරුවන් සිටිය හැක්කේ දෘශ්ටිවාද නැති දාර්ශනිකයන් අතර පමණයි. එහෙත් දෘශ්ටිවාදයක් නැත්තේ නිවන සම්මාබෝධ කර පහුර විසිකරන්නාක් මෙන් සම්‍යක් දෘශ්ටිය ද විසි කළ අයට පමණයි.
බටහිරයන්ට ඔවුන්ගේ දෘශ්ටිවාද තියෙනවා. ප්‍රධාන ධාරාවේ නම් ඒ සියල්ලක්ම බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයේ. මා දුටුවා ඇතැම් දේශපාලනඥයන් ද ඊනියා බෞද්ධ සභ්‍යත්වයක් ගැන කතා කර තිබෙනවා. බෞද්ධ සභ්‍යත්වයක් ලෝකයේ නැහැ. අපට සිංහල බෞද්ධ සංස්කෘතියක් (හැදිච්චකමක්) නම් තියෙනවා. මියන්මාහි මියන්මා බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. එහෙත් ථෙරවාද බෞද්ධ සභ්‍යත්වයක් ලෝකයේ නැහැ. හමාස් සංවිධානයට එරෙහි ව බටහිරයන් එකතු වූ ආකාරයට කොටි ත්‍රස්තවාදයට විරුද්ධ ව අනෙක් ථෙරවාදී රටවල් අප සමග එකතු වුණේ නැහැ. සංකල්පීය ව හිතන්නෙ නැති අයට සභ්‍යත්ව කතා හොඳයි.
සංකල්පීය ව හිතන එක බටහිර කතාවක් නො වෙයි. පෙරදිග ද සංකල්පීය ව හිතන එක තියෙනවා. මට තේරෙන විධියට ථෙරවාදී අභිධර්මය ද ගැඹුරු සංකල්පීය සංග්‍රහයක්. එහෙත් සූත්‍ර පිටකයේ නම් මා දන්නා තරමට ඇත්තේ සරල සංකල්ප. නිවන සංකල්පයක් නො වෙයි. එය ඇති දෙයක් ඇති තැනක් නො වෙයි. එය සංකල්ප නැති කිරීමක් කියල කියන්න පුළුවන්. මා දන්නා තරමින් සංකල්ප නැති කිරීමක් ගැන කියැවෙන්නේ නිවන සම්බන්ධයෙන් පමණයි. මා මේ කතා කීවත් මට බුදුදහම සම්බන්ධයෙනුත් ඇත්තේ සාමාන්‍ය පෙළ සහතිකයක් පමණයි. ඒ සහතිකය නම් හොයා ගන්න බැහැ. ඇතැම් බුද්ධාගම්කාරයන්
ද මා කියන දේට කැමති නැහැ.
ඉතිහාසය ගැන බටහිරයන් ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ රාමුවේ. ඒ ප්‍රශ්න කිරීම ගුරුවරුන්ට උගන්වනවා නම් අනෙක් ප්‍රශ්න කිරීම් ද උගන්වන්න ඕන. ඒ කොහොම වෙතත් මෙරට ඉතිහාසය වෙනත් දෘෂ්ටිකෝණයකින් ප්‍රශ්න කළ විට ලැබෙන්නේ ලයිට් හවුස් ඉතිහාසයක්. අද ලයිට් හවුස් ඉතිහාසවලට වැදගත් තැනක් ලැබිලා තියෙනවා. ලයිට් හවුස් ඉතිහාසයේ ආදී කතෘ
ජී සී මැන්දිස් පූජකවරයා. ඔහුගේ ගෝල බාලයන් තමයි අද මොටාවල වෑඩියෙන් දක්නට ලැබෙන්නේ.
ලයිට්
හවුස් ඉතිහාසයේ මූලික අරමුණ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය නැති කිරීමයි. එයට වක්‍රාකාරයෙන් මහාවංසය ද උපකාර වෙන බව කණගාටුවෙන් වුවත් කියන්න ඕන. ඒ කියමනට සුපිරි ජාතිකවාදීන් විරුද්ධ වෙන බව මා දන්නවා. එහෙත් ඒ සුපිරි ජාතිකවාදීන් සසරක් විශ්වාස නොකරන්නන් ගැන කිසිවක් කියන්නේ නැහැ.
ඉතිහාසය පමණක් නොව භෞතික විද්‍යාව ද හිතළු ගොඩක් පමණයි. එහෙත් හිතළු හැකිතාක් දුරට සංගත වෙන්න ඕන. ගැමුණු රජුගේ පරම්පරාව දෙමළ කියා හිතළුවක් ඉදිරිපත් කරන්න බැහැ. එහෙමත් නැත්නම් දේවානම්පිය තීෂම් දෙමළ කියන්නත් බැහැ. දේවානම් යෙදුමවත් දෙමළ කරන්නේ නැතුව කියවන හිතඵ ගැන ලයිට් හවුස් තැනූවන්ගෙන් තමයි අහන්න වෙන්නෙ. එතකොට දේවානම්පිය අශෝක ගැන. පඬි නැට්ටන්ට සංගත කියන වචනයේ තේරුමවත් කියා ගන්න බැහැ.
යාපනයේ දෙමළ රාජ්‍යයක් තිබුණා ය කීමත් දෙමළ ජාතිවාදයට අනුග්‍රහ දක්වන බටහිර ඇසකින් බලන ඊනියා ඉතිහාසඥයන්ගේ හිතළුවක් පමණයි. එහි ඇතැම් කාලවල තිබී ඇත්තේ පාණ්ඩ්‍ය කර්ණාටක ආදී රාජ්‍යවල අවනත රාජ්‍යයක් පමණයි. යාපා පටුන සිංහල රාජ්‍යය යටතේ ද ඇතැම් කාලවල පැවතිලා තියෙනවා. පෘතුගීසීන් 1620 දී අවසන් වශයෙන් යාපනය යටත්කර ගත්තේ සෙනරත් රජුගෙන්. එලෙස බැලූ කල යාපනය ද බටහිරයන් යටත් කරගෙන ඇත්තේ අනෙක් ප්‍රදේශ මෙන් ම සිංහල බෞද්ධ (ඊනියා සභ්‍යත්ව නොව) රජවරුන්ගෙන්.
යාපනයේ හරි වෙනත් තැනක හරි දෙමළ කතාකරන අයකු හරි ඔහුගේ භාර්යාව හරි බෞද්ධ සිද්ධස්ථානයකට යම් පූජාවක් කර ඇත්නම් ඉන් කියැවෙන්නේ මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන තිබුණු බවක් නො වෙයි. මෙරටට හැමදාමත් වෙළෙන්දන් පැමිණ තියෙනවා. විජයගේ කාලයේත් වෙළෙන්දන් පැමිණ තියෙනවා. සේන ගුත්තික දෙදෙනාත් වෙළෙන්දන්. එහෙත් ඔවුන් කිසිවකු නිසා මෙරට දෙමළ හරි වෙනත් සිංහල නොවන හරි ස්ථිර වාසස්ථාන ඉදිවෙලා නැහැ. අර නෙස්ටෝරියන් කුරුසියෙන් මෙරට ක්‍රිස්තියනි ස්වදේශිකයන් සිටි බවක් කියැවෙන්නෙත් නැහැ. පස්වැනි සියවසේ පමණ මෙහි සිටි පර්සියන් කිතුණුවන් ගැන නම් සාධක තියෙන බව කියනවා.
රනිල්
ජනාධිපති ධුරය දරන කාලය ලයිට් හවුස් යුගය ලෙස නම් කරන්න පුළුවන්. නෙදර්ලන්තය සහ තවත් රටවල් මෙරට ඉතිහාසය වෙනස් කර සිංහල බෞද්ධ ඉතිහාසය අකා මකා දමීමට කටයුතු කරන බව පැහැදිලියි. ඊනියා සභ්‍යත්ව රාජ්‍යය කතාව ද අවසාන වශයෙන් සිංහල බෞද්ධ රාජ්‍යය සංකල්පය නැසීමට වක්‍ර ව උපකාර කරනවා.