Main Logo

Thursday 30 November 2023

කාදිනල්තුමාට හරියන පොලිස්පති කවුද

 කාදිනල්තුමාට හරියන පොලිස්පති කවුද  

 

 

දේශබන්ධු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති තනතුරට පත්කරලා. පළමුවෙන් මගේ සුබ පැතුම් මහතාට පිරිනමනවා. එසේ පත්කර ඇත්තේ මාස ගණනක් තිස්සේ පැවති කඹ ඇදිල්ලකින් පසුව වීම සුබ පැතීමට තවත් හේතුවක් වෙනවා. වමක් නැති වමෙක් අහන්න පුළුවන් ධනපති රාජ්‍යයේ මර්දන හස්තයක් වූ පොලීසියේ අධිපතිකමට වැඩ බලන්න හරි කෙනකු පත් කිරීමට සුබ පැතීම ද්‍රෝහී වැඩක් නේ කියා. අනේ කියන්නෙ.

 

දේශබන්ධු තෙන්නකෝන් සමාජය ව්‍යවහාර කරන අර්ථයෙන් බෞද්ධයෙක්. ඔහු සිංහල බෞද්ධයකුත් වෙනවා. ඔහුගේ ජාන ගැන මා දන්නේ නැහැ. ඒක පඬි නැට්ටකුගෙන් අහන්න ඕන. ඒත් මා ජාන අනුව මිනිසුන් ජාතිවලට ගොනු කරන්නේ නැහැ. යමකු සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවත් වෙනවා නම් එකී සංස්කෘතියට අවශෝෂණය වී ඇත්නම් තැනැත්තා හරි තැනැත්තිය හරි සිංහල බෞද්ධයෙක්. පඬි නැට්ටන් හිතනවා ඇති තමන් නිරාගාමික බුද්ධිමත් පඬිවරුන් කියා. නැහැ ඔවුනුත් සිංහල බෞද්ධ කුලකයේ බටහිර පඬියන්ගෙ වලිග වූ උපකුලකයක සාමාජිකයන්.

 

සිංහල බෞද්ධයකු නොවේ යැයි කිව හැකි කාදිනල්තුමා දේශබන්ධු තෙන්නකෝන් පත් කිරීම පිළිකුළෙන් යුතුව හෙලා දැකලා. අර පඬියන් කියන විධියට අපි ප්‍රකාශයට ගරු කරන්න ඕන ? මා නම් ඊනියා බුද්ධිමතකුවත් ඊනියා සදාචාරයක් අනුගමනය කරන්නකුවත් නො වෙයි. මා අනෙක් අය කියන හැම දේට ගරු කරන්නෙ නැහැ. මා කාදිනල්තුමාගේ ප්‍රකාශය පිළිකුළෙන් හෙලා දකින්නෙත් නැහැ.

 

කාදිනල්තුමා කියන්නෙ දේශබන්ධු තෙන්නකෝන්ගෙ පත් වීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අවමානයක් බවයි. මා අවධාරණය කරන්න ඕන සිරිල් ගාමිණී පූජකතුමා එකී ප්‍රකාශය කරන විට මා එතැන නොසිටි බව. මා දන්නෙ සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති කිහිපයක් පමණයි. ප්‍රවෘත්ති වාර්තා කෙරී ඇති ආකාරය ගැන මට වගකීමක් නැහැ. කිනම් සන්දර්භයක වාර්තා වුණා කියාත් මා දන්නේ නැහැ. මා කියන්නේ මට ඇහුණු දේ හා කියවූ දේ පමණයි.

 

සමහර විට කාදිනල්තුමා දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පත් වීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අවමානයක් වන්නේ කොහොමද කියා පැහැදිලි කරන්න ඇති. එසේ කළේ නැත්නම් පැහැදිලි කරන එක හොඳයි. තවත් කරුණක් මෙහි දී අවධාරණය කරන්න ඕන. අර නිවේදකයන් කියන විධියට මේ සියල්ල අප වෙත ගෙන එන්නේ සිරිල් ගාමිණී පූජකතුමා. කාදිනල්තුමා මාධ්‍යයට පැමිණ ප්‍රකාශයක් කළ බවට වාර්තා වන්නේ නැහැ. මා උපකල්පනය කරනවා සිරිල් ගාමිණී පූජකතුමා කරුණු විකෘති කරන්නේ නැහැ කියා. මා ජනාධිපති ජනමාධ්‍යය ක්‍රිකට් හරි වෙනත් දෙයක් හරි සම්බන්ධයෙන් කරුණු විකෘති කරන බවක් පිළිගන්නෙත් නැහැ.    

 

මා දන්නේ නැහැ කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සොයා ගෙන කියා. කලක් ගෝඨාභය රාජපක්‍ෂ ළඟින් ඇසුරු කළ කාදිනල්තුමා මහා මොළකරු සෙවීමට පටන් ගත්තේ ගෝඨාභය රුවල්වැලි සෑය අබියස තමන් සිංහල බෞද්ධයන්ගෙ ඡන්දවලින් පත් වූ බව කීමෙන් පසුව දේශබන්ධු තෙන්නකෝන් මහා මොළකරු සොයා ගන්න කටයුතු කෙළේ නැද්ද? පොලිස්පති කමේ වැඩ බලන්නවත් ඔහු නුසුදුසු ඇයි දැයි අප දැන ගන්න ඕන. අද මෙරට ආර්ථික අර්බුදය පාස්කු ප්‍රහාරය ආදිය වැළැක්වීමට කටයුතු නොකළ බවට සිංහල බෞද්ධයන්ට චෝදනා එල්ල කරන්න පටන් අරන්. නරක කිවුව නම් රට වැටී ඇති තත්වයට වග කියන්න ඕනෙ සිංහල බෞද්ධයන් කියා. කාදිනල්තුමා කතා කරන්නේ මෙරට කතෝලික ජනතාව වෙනුවෙන් කියා තමයි සමාජයේ පවත්නා මතය. සමහර විට එතුමා පාප්තුමා වෙනුවෙන් කතා කරනවාත් වෙන්න පුළුවන්.

 

කෙසේ වෙතත් ජනාධිපති වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන්නත් මෙතරම් කාලයක් ගත්තේ ඇයි කියන එක අහන්න වෙනවා. ඔහුට කාදිනල්තුමාගෙ හරි වෙනත් කාගෙ හරි බලපෑමක් තිබුණ ? මේ පත් කිරීම සම්බන්ධයෙන් රනිල් ව්‍යවස්ථාවට විරුද්ධ ගිහින් ජනාධිපති ලෙස කටයුතු නොකර ව්‍යවස්ථා සභාවත් විධායකයෙ රබර් මුද්‍රාවක් කර ගන්න හැදුවා. ව්‍යවස්ථා සභාවෙ බලතල ගැන මා පසුගිය දා ලියා ඇති. මට තේරෙන විධියට ව්‍යවස්ථා සභාවෙ මූලික කටයුත්තක් වන්නෙ එහි උපලේඛනයේ සඳහන් පොලිස්පති නීතිපති වැනි තනතුරුවලට ජනාධිපති හිතුමතයට පුද්ගලයන් පත් කිරීම වැළැක්වීම. විධායකයෙ ඇතැම් බලතල  ව්‍යවස්ථාදායකයේ අධික්‍ෂණයට ලක් කිරීමක්. ජනාධිපති වැඩබලන්න පොලිස්පතිවරයකු පත් නොකර වැඩ කරන්න පොලිස්පතිවරයකු පත් කළා නම් හොඳයි. එසේ නොකෙළෙ තවමත් බලපෑම්වලට  යට වෙන නිසා ?

 

ජනාධිපති නිකමටවත් පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් සංඝයා වහන්සේගේ අදහස් විමසුවා මා හිතන්නෙ නැහැ උන්වහන්සේ ජනාධිපතිට ගැන අනුශාසනා කරන්න ඇත කියා. තනතුරටවත් අධිකරණ ඇමති ධුරයටවත් වෙනත් තනතුරකටවත් සිංහල බෞද්ධයන් පමණක් පත් කරන්න කියන්නවත් කතෝලික හරි හින්දු හරි මුස්ලිම් හරි බැතිමතකු පත්කිරීමට විරුද්ධ වන්නවත් උන්වහන්සේ ඉදිරිපත් වෙන එකක් නැහැ.  

 

මේ සමාජයේ බෙදීම් ඇති කරන්නේ සිංහල බෞද්ධයන් නො වෙයි. අර වෙල්ලාලයන් කිහිප දෙනකු තමන්ට රටේ නායකයත්වය ගැනීමට බැරි බව තේරී ඉංගිරිසින් පිහිටුවපු උතුරු හා නැගෙනහිර පළාත්වල ඊනියා දෙමළ නිජභූමියක් වෙනුවෙන් වෙන රාජ්‍යයක් ඇති කරන්න කටයුතු කරනවා. එහි දී ඔවුන්ට බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ සහාය ලැබෙනවා. කාදිනල්තුමාට කිසිවකුගෙ සහායක් ලැබෙනවා කියා මා දන්නේ නැහැ. එහෙත් එතුමා තනතුරට පත්කළේ මෙරට කිසිවකු නොව වතිකානුවේ පාප්තුමා බව නම් කවුරුත් දන්නවා. එපමණක් නොව එතුමා අර වෙල්ලාල දෙමළ ජාතිවාදීන් හමු වීමට යාපනය ආදී ප්‍රදේශවලට ගිය බවත් දන්නවා. එතුමා මෙතෙක් ඇතැම් කතෝලික පූජකවරුන් දෙමළ ජාතිවාදය වෙනුවෙන් කළ ක්‍රියා පිළිකුළෙන් යුතුව හෙළා දැකලත් නැහැ.