අපි
ඉන්දියාවට බයයි නංගියේ
අපේ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගයක දී ඉන්දියාවට පැරදිලා. පැරදිලා කියන වචනය නම් මදි. ලංකාව කපෝතියි. අප ආසියා කුසලානයේ දී ද ඉන්දියාවට මේ වගේ ම පැරදුණා. දැන් ක්‍රීඩා ඇමති ක්‍රිකට් පාලක මණ්ඩලයට දොස් පවරනවා. පාලක මණ්ඩලය පුහුණු කරුවන්ගෙන් තේරීම් මණ්ඩලයෙන් ආදී වශයෙන් ප්‍රශ්න කරන්න යනවා. ඒ අතර ඔවුන් ජනාධිපතිට ලිපියක් යවලා ක්‍රිකට් දුර්වල වන්නේ ක්‍රීඩා ඇමති නිසා කියා.
අනෙක්
ක්‍රීඩාවලට මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවටත් මුදල් බලපානවා. අද ආනා පුංචිහේවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ව සිටි කාලය නොවෙයි. අද මිලියන ගණන්වලින් මුදල් හුවමාරු වෙන්නෙ. ආනා පුංචිහේවාගේ කාලයේ ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් තිබුණෙ නැහැ. අද එහෙම නොවෙයි. පුහුණු කරුවන්ටත් දසලක්‍ෂවලින් ගෙවන්නෙ.
ක්‍රිකට් කණ්ඩායම පිළිබිඹූ කරන්නේ යම් ආකාරයකට හරි රටේ වත්මන් තත්වයයි. සුනිල් ගවස්කාර් කිවුවේ ලංකා කණාඩායම ක්‍රීඩා කරන්නේ ඉන්දියාවේ වීදිවල තරුණයන් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරයට කියා. කිසිම වගකීමක් නැතුව අපේ කණ්ඩායම ක්‍රීඩා කර තිබෙන බව පැහැදිලියි. මුරලිදරන් කීවාක් මෙන් දැන් කාලෙක සිට අප ක්‍රීඩකයන් ක්‍රිකට් තරගවල නොව නායක තරගවල යෙදී ඉන්නවා. ඇතැමුන් ක්‍රීඩා කරන්නේ පිටියේ නො වෙයි. ඒ ඕස්ත්‍රේලියාවේ දී පමණක් නො වෙයි.
කොහොමටත් මෙරට ක්‍රීඩකයන් ඉන්දියාව ඉදිරියේ පරාජය වෙන්නේ වාර්තා තබමින්. අප වැඩියෙන් ම උඩ පන්දු බිම් පන්දු කළ කණ්ඩායම. අපට කණ්ඩායම් හැඟීමක් නැහැ.
මේ
සියල්ල ජාතියක් ලෙසත් අපට පොදුයි. අප වගකීමක් ඇතු ව වැඩක් කරන්නේ නැහැ. අප අතර ඇත්තේ නායකත්ව පොරයක්. අප සාමූහික හැඟීමකින් ක්‍රියා කරන්නේ නැහැ. ඒ අතර අපි ඉන්දියාවට බයයි නංගියේ. කොහොමත් අපි සිංහල වුනත් සිංහයො හිටියෙ ඉන්දියාවෙ. අප මත ඉන්දීය ආර්ය සංස්කෘතිය පටවලා.
මේ
ලිපිය ලියන විටත් ඉන්දියාවේ මුදල් ඇමතිනිය ලංකාවේ. නංගි කිවුවෙ ඇයට නො වෙයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ඇමතිවරයෙක් ඉහළ නිලධාරියෙක් අඩුම තරමෙන් මාසයකට වරක් ලංකාවෙ සංචාරය කරනවා. ඉන්දීය මුදල් ඇමතිනිය ඇවිත් ඉන්නෙ ඉංගිරිසින් අවුරුදු දෙසීයකට ඉහත ඉන්දියාවෙන් මෙරටට ගෙනා කම්කරුවන් අවුරුදු දෙසීයක් කරපු සේවය සමරන්න. ඒ කම්කරුවන්ගෙ එක් වෘත්තීය සංගමයක ධජයේ වර්ණ ඉන්දීය ජාතික කොඩියේ වර්ණ. මේ කම්කරුවන් පමණක් නොව අවුරුදු තුන්සීය පනහකට පමණ පෙර ලන්දේසීන් මෙරටට ගෙනා වෙල්ලාලයන් ද ඉන්දීය පෙකණිවෑල කපා දමා නැහැ.
සිංහ
කතාව කොහොම වුනත් ඇතැමුන් අප ඉන්දියාවට යට කරන්න හැදුවත් යක්‍ෂ සංස්කෘතික ධාරාවේ ශක්තිය නිසා දෝ සිංහලයන් ඉන්දියාවට යට වුනේ නැහැ. එහෙත් අද අප ජාතියක් ලෙස ඉන්දීය පෙකණිවැලක් සම්බන්ධ කර ගනිමින් ඉන්නවා. අද බටහිරයන් හා ඉන්දියාව බොහෝ දුරට එක විධියට වැඩ කරනවා. දෙගොල්ලන්ට ම මුස්ලිම් විරෝධයක් හා චීන විරෝධයක් තියෙනවා.
වගකීමක් භාර නොගැනීම, වගකීම පැහැර හැරීම, වරදක් නොපිළිගෙන වෙන කෙනකුට වරද පැටවීම, නායකත්වයට පොර බැදීම, එහෙත් නායකත්වයක් දීමට නොහැකි වීම, වැරදි
කිරීමට ලජ්ජාවක් බයක් නැති වීම, නොදන්නා දේ වුනත් කිසිම පැකිළීමක් වගවිභාගයක් නැතුව මහේශාක්‍ය ලීලාවෙන් පැවසීම (පොර ටෝක් දීම), බොරු පාණ්ඩිත්‍යය විදහා දැක්වීම, ඉන්දියාවෙන් හරි බටහිරින් හරි අහුලා ගත් යමක් ගැන පඬි කතා කීම, කිසිම නිර්මාණශීලීත්වයක් නැති වීම අද අපේ ජාතික ලක්‍ෂණ බවට පත්වෙලා.
ඉතා
මෑත ම උදාහරණය සබරගමු මොටාවේ උපකුලපති පත් කිරීම සම්බන්ධ ව. මෙටාවේ පඬි නැට්ටන් පැත්තකින් තියන්න. මොටාවේ පඬි නැට්ටන් කී දෙනකු දන්නවා ද මොටාවක උපකුලපති ධුරය සඳහා නම් තුනක් යවන්නේ ඇයි ද කියා. ඊනියා ලකුණු මත පත්වීම කරනවා නම් පාලක මණ්ඩලය යැවිය යුත්තේ එක ම එක නමක් පමණයි. දැන් පඬි නැට්ටන් කියාවි නලියා රනිල් කළ පත්වීම අනුමත කරනවා කියා.
එහෙත්
ඒ ඊනියා ජාතික ලක්‍ෂණ සියල්ල මැද අපි 2009 දී ඉන්දියාවත් බටහිරත් පරාජය කළා. අප ඒ සඳහා නායකයකු 2005 දී පත් කර ගත්තා. ඒ තවමත් ඉතිරි වී තිබෙන යක්‍ෂ ගති නිසා. එහෙත් බටහිරත් ඉන්දියාවත් එකතු වී ඒ නායකත්වය නාකි මයිනකු බවට පත් කළා. පඬි නැට්ටන් ඒ අලින්නෙ අපේ වැඩ කියමින් ඉදිමෙන්න පිම්බෙන්න පටන් ගත්තා.
අද
අපි ඉන්දියාවේ යටත්විජිතයක් වී නැති නමුත් ඉන්දියාවේ අණසකට යටත් වෙලා. සිංහලයන් කොතෙක් කීවත් තමන් වංගයෙන් කාලිංගයෙන් (වත්මන් උතුරු ඉන්දියාවෙන්) පැමිණි පිරිසක් කියා උත්තර භාරතීය නායකත්වයක් ඇති ඉන්දියාව සිංහලයන්ට සලකන්නේ නැහැ. ඔවුන් සලකන්නේ දක්‍ෂිණ භාරතීය සම්භවයක් ඇති මෙරට වසන දෙමළ ජන කොටස්වලට. මා දන්නේ නැහැ ඉන්දියාව මොණරාගල දිස්ත්‍රික්කයේ ජනයාගේ සුබසෙත පිණිස කියා ආධාර කරන බවක්.
නාකි
මයිනා ඉන්දියාවට අවශ්‍ය දේ කළේ නැහැ. නාකි මයිනාට අනෙක් බොහෝ දෙනකුට මෙන් නොව නායකත්ව ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් තිබුණා. ඔහු ඉන්දියාවට 13+ දෙන බව කියන්න ඇති. එහෙත් එසේ දීම සඳහා කිසිම පියවරක් ගත්තේ නැහැ. අද එහෙම නොවෙයි. තරුණ රනිල් වැඩ කරන්නේ උතුරු හා නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය රකින්න නො වෙයි. අද ඉන්දියාවට අවශ්‍ය ආකාරයට බොහෝ දේ සිද්ධ වෙනවා. අපේ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව කී ගමන් වෙවුලනවා නම් කාට කියන්න ද? මා ක්‍රිකට් පරාජය ඊනියා ජාතික ලක්‍ෂණවලට ඌනනය කරන්න හදනවා නොවෙයි.