Main Logo

Tuesday 21 November 2023

පිටස්තරයකුගෙන් ඊනියා ගැමි උගතුන්ට

 

පිටස්තරයකුගෙන් ඊනියා ගැමි උගතුන්ට

 

මෙරට ඊනියා උගත් ගැමි තරුණ පරපුරට සිදු වූයේ කුමක් ? මා ප්‍රශ්නය අසන්නේ ගුණදාස අමරසේකරගෙන් නො වෙයි. ඔහු ගණඳුරු මැදියම අරුණළු දැක්කේත් මේ ගැමි තරුණ පරපුර මගින්. එහෙත් එතුමාට අනුව නම් අප දැන් ගණඳුරෙන් තවත් අඳුරට ගිහින්. එහෙත් මට නම් එවැන්නක් ආකාරයෙන් පේන්නේ නැහැ. අපට ඉදිරි මගක් තියෙනවා. එහෙත් මග ඇත්තේ ඊනියා ගැමි තරුණ පරපුර සමග නොව අපේ මගක් තනා ගැනීමෙන්.

 

පසුගිය දා රාජකීය විදුහලේ නව විදුහල්පති වැඩ භාර ගැනීමේ දී පන්සිල් අරන් තියෙනවා. එයට විරුද්ධ විදුහලේ ආදි සිසුන් අතර කැළඹීමක් ඇති වුණා. විදුහල ඊනියා ඓහික (secular) තත්වයකින් පැවතිය යුතු යන්නයි විරුද්ධතාවට පදනම වුණෙ. මුළු මහත් සමාජයේ පිටස්තරයකු වූ මා විදුහලේත් පිටස්තරයෙක්. පසුගිය 17 වැනි දා ගුණදාස අමරසේකර අභිනන්දන උපහාර උළෙලේ දී මා ජාතියට නව ආරම්භයක් යන තේමාව යටතේ කළ කතාව මේ පිටුවේ පළ කර ඇති මුත් මේ ලිපිය පළ කරන විටත් එය කියවා ඇත්තේ ඉතාමත් සුළු පිරිසක්. එදා උත්සවයට පැමිණි අය මා කතා කරන බව දැන සිටියා නම් එන එකක් නැහැ. ජාතිකවාදීන් අතරත් මා පිටස්තරයෙක්. බොහෝ ජඩමාධ්‍ය උත්සවය සම්පූර්ණයෙන් අමතක කර තිබුණා.

 

මා මේ ලිපි ලියන්නේ කාටවත් කියවීමට නො වෙයි. සකර්බර්ග් කියෙවුව ඇති. සමාජය විකාශය වන්නේ කිසිසේත් මාක්ස් කී ආකාරයකට නො වෙයි. බටහිර කිසිම සමාජ විද්‍යාඥයකුට සමාජය විකාශය වන ආකාරය ගැන කිසිම අදහසක් නැහැ. මේ සමාජය කඩා වැටෙන්නේ උගතුන් නිසා ඊනියා තර්කය මත පදනම් වෙන උගතුන් නිසා. මේ සමාජය යනු මෙරට සමාජය පමණක් නො වෙයි. බටහිර සමාජයටත් බලපානවා.

 

රාජකීය විදුහලේ නව විදුහල්පති වැඩ භාර ගැනීමේ දී පන්සිල් ගත් එක හොඳයි. ක්‍රිස්තු භක්තිකයකු විදුහල්පති වී වැඩ භාර ගන්නා දිනයක දේව මෙහෙයක් පැවැත්තීම මට නම් ප්‍රශ්නයක් නො වෙයි. තම තමන්ගේ පෞද්ගලික විශ්වාස. කුමන විශ්වාසයක් තිබුණත් රාජකීය විදුහල එදත් අදත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රාජකීය විදුහල පමණක් නොව ආනන්ද නාලන්ද මහින්ද ධර්මරාජ මලියදේව විශාකා යශෝධරා අනුලා සුජාතා ආනන්ද බාලිකා වැනි පාසල් මා පළමුවෙන් අකුරු කළ පාණදුරේ වෑකඩ රජයේ විදුහල   ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඊනියා උගත් ගැමි තරුණ පරපුර උගන්නේ උගත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි පාසල්වල.

 

මා දන්නා හඳුනන ආනන්ද නාලන්ද විදුහල්වල උගත් අය වඩාත් කැමති තම පුතුන් රාජකීය විදුහලට ඇතුල් කරන්න. පහේ ශිෂ්‍යත්වය සමත් සිසුන්ගේ දෙමවුපියන් වඩා කැමති තම පුතුන් රාජකීය විදුහලට යවන්න. දෙමවුපියන් බොහෝ දෙනකු ගැමි උගත් තරුණ තරුණියන්. එයට හේතුව රාජකීය විදුහල රටේ ප්‍රධාන අනුකාරක පාසල වීමත් අනෙක් සියලු පාසල් දෙවැනි තුන්වැනි පෙළේ අනුකාරක පාසල් වීමත්. යටලමත්තේ පියදාසටත් අවශ්‍ය තම පුතා රාජකීය විදුහලට යවන්න.

 

මා එහි වරදක් දකිනවා නො වෙයි. සමාජ ආකල්ප සමග ඇති වන්නක්. රාජකීය විදුහල කියන්නේ ජේ ආර්ලගෙ රනිල්ලගෙ ඉස්කෝලෙ. අපත් ඉස්කෝලෙට යන්න දරුවන් යවන්න කැමතියි. මගේ පංතිවල එකට ඉගෙන ගත්තා නීලන් තිරුචෙල්වම් ඩී එම් ස්වාමිනාදන් ආදීන්. මට පහළ පංතිවල හිටියා ලක්‍ෂමන් කිරිඇල්ල රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන අනුර බණ්ඩාරනායක. ඒත් මා එදත් අදත් පිටස්තරයෙක්. කැමුගේ පිටස්තරයාවත් මාර්ටින් වික්‍රමසිංහගෙ තුන් ඇඳුතු නව කතාවෙ තිස්සවත් නම් නො වෙයි. තිස්සත් මනස් පුතකු පමණයි.

 

ඊනියා උගත් ගැමි තරුණ පරපුරට ලැබෙන්නෙත් ලැබුණෙත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. මා වෑකඩ ඉස්කෝලෙ දී ලණු අඹරන්න පාපිසි ගොතන්න ඉගෙන ගත්තා. රාජකීය විදුහලේ දි වඩුවැඩ යකඩවැඩ ගොවිතැන ඉගෙන ගත්තා. රනිලුත් ඉගෙන ගන්න ඇති. ඒත් මා අද ලණු අඹරන්නෙවත් පාපිසි ගොතන්නෙවත් වඩුවැඩ කරන්නෙවත් යකඩ වැඩ කරන්නෙවත් අඩු තරමෙන් මිරිස් පැලයක් හිටවන්නෙවත් නැහැ. රාජකීය විදුහලේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලෙ මට ඕන වුණෙ විද්‍යාඥයෙක් වෙන්න. මා අධ්‍යාපනය නිසා යොමු වුණෙ එතැනටයි. එහෙත් මට විද්‍යාඥයකු වීමටත් නොහැකි වුණා. මා පිටස්තරයකු වුණා.

 

ගැමි තරුණයන් උගතුන් වන්නේ එහෙමත් නැත්නම් සහතික පත් ලබන්නෙ බටහිර ඇංග්ලිකන් ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන්. ඉන්දියාවෙ හරි ජපානයෙ හරි චීනයෙ හරි වගේ නොවෙයි අපට අපේ සාම්ප්‍රදායික දැනුම් ගැන කිසිම විශ්වාසයක් නැහැ. අපි ඉතා ඉහළ බටහිර උගතුන්. අර ධම්මික පැණියට මෙරට ඊනියා උගතුන්ගෙන් මතු වූ විරෝධය කෙතරම් ? සඳහා ඔවුන් නිසි ආකාරයෙන් ඔවුන්ගෙ සායන නැහැසුම් (clinical trials) කළෙත් නැහැ. ඒත් ඒක බොරුවක් කිවුව. අප බාස් කෙනකුට රැවටුණු මෝඩයන් කිවුව. මා නම් මෝඩයකු තමයි. මා ගැමි හරි නාගරික හරි උගතකු නො වෙයි. මා පිටස්තරයෙක්.

 

ඊනියා ගැමි උගතුන් බලන්නෙත් සමාජයෙ තම දෙමවුපියන් දරණ තත්වයෙන් ගොඩ එන්න. ඒත් හැමෝට ගොඩ එන්න බැහැ. ගොඩ එන්න බැරි බවත් ඔවුන් බොහෝ දෙනකුට පේනවා. ඔවුන් සමාජය වෙනස් කරන්න හිතනවා. එහි දී ඔවුන් බොහෝ විට මාක්ස්ගෙ වැඩ නොකරන හිතළු වැළඳ ගන්නවා. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ඔවුන්ගේ තුන් මළ වෙනවා. සමග ඔවුන් මරණයේ මාවත තෝරා ගන්නවා. මේ මාවතේ ගොස් දකින්න පුළුවන් අරුණැල්ලක් නැහැ.

 

අද අප ජීවත්වන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සමාජයක. එහි පාසල් මෙටා මොටා රෝහල් අධිකරණය සියල්ල ඇංග්ලිකන් ක්‍රිස්තියානි. පන්සිල් අරන් අප බොහෝ විට කරන්නෙ ක්‍රිස්තියානි සමාජයක ජීවත්වීම. අද ආර්ථික අර්බුදයටත් හේතුව අපේ අධි පරිභෝජනය ණයට කෑම බොරු උගත්කම ඇතුළු බොරු ෂෝක්. අපට නැවත බෞද්ධයන් නොවී මේ අර්බුදයෙන් ගැලවෙන්න බැහැ. අපට නැවත බෞද්ධයන් වෙන්න පුළුවන්. අප තවම  සියල්ල නැති කරන් නැහැ.