සූරිය
ගුණසේකර
ජාතිකත්වය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ සූරිය ගුණසේකරයන් අද අවසන් ගමන් යනවා. මා ඔහු අවුරූදු හතළිහක පමණ කාලයක් තිස්සේ හඳුනනවා. ඔහු මට වඩා අවුරුදු දෙකක් ජ්‍යෙෂ්ඨයකු ලෙස පේරාදෙණිියේ සිටියත් මා ඔහු හඳුනා ගත්තේ ඊට බොහෝ කලකට පසු දිවයින පුවත්පතින්. එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ජාතිකත්වය වෙනුවෙන් දිවයින කළ සේවය එදා මෙදා තුර වෙනත් කිසිම ජනමාධ්‍යයකින් සිදු වී නැහැ.
ජාතිකවාදීන් ද වෙනත් විවිධවාදීන් මෙන් ම විවිධ කණ්ඩායම්වලට අයත් වෙනවා. ලිබරල්වාදීන් මාක්ස්වාදීන් මනුෂ්‍යවාදීන් අතර මෙන් ම විද්‍යාඥයන් ශාස්ත්‍රඥයන් දාර්ශනිකයන් ආදීින් අතර පමණක් නොව විවිධ ආගමිකයන් අතර ද බෞද්ධයන් අතර ද විවිධ කුල තියෙනවා. එය වැළැක්විය නොහැකි දෙයක්. මිනිසුන්ට විවිධ මත තියෙනවා. ඔවුන් ඊනියා වාස්තවික මතයකට කිසි දා එළඹෙන්නේ නැහැ.
එකල
සූරිය ගුණසේකර පූන්‍යවර්ධන අල්විස් (ගාල්ලගේ පුන්‍යවර්ධන) මතුගම සෙනෙවිරුවන් ආදීන් අයත් වූයේ එක් කුලයකට. ඔවුන් වැඩි වශයෙන් අවධාරණය කෙළේ දේශීය දැනුමයි. සූරිය ගුණසේකර ඩී ජී හපුතන්ත්‍රී ලෙස ලියූ කාලයේ සිට ම දේශීය දැනුම ගැන කතා කළා. එහි දී ඔහු දේශීය වෙදකම, දේශීය ගොවිතැන ආදිය ගැන ලිවුවා. ඔහුට හොඳ භාෂා ශෛලියක් තිබුණා. මගේ ගොරහැඩි ශෛලියට වඩා හොඳ ශෛලියක් අනෙක් හාතිකවාදීන් සියල්ලන්ට ම තිබුණා කියා කියන්න පුළුවන්. ඉන් ගුණදාස අමරසේකරගේ ශෛලිය ඉතා ඉහළින් කැපී පේනවා.
මට
රත්මලානේ බොරුපන වෙද මහතා හමුවුණේ සූරිය ගුණසේකරගේ ලිපි මගින්. එදා සිට බොරුපන වෙද මහතා මිය යන තුරුම එතුමා අපේ පවුලේ වෛද්‍යවරයා වුණා. අගමැති අයියා නමින් ප්‍රසිද්ධ වී සිටි නිකවෑරටිය පැත්තේ මුදියන්සේ තෙන්නකෝන් මහතා මට හමු වූයේ ද සූරිය ගුණසේකර ලිපි මගින්. අප අගමැති අයියා කොළඹ විශ්වවිිද්‍යාලයට ගෙන්වා නව කලාගාරයේ දේශනයක් ද සංවිධානය කළා. ඒ පිළිබඳ ගෞරවය ගවේෂකයන් සතුයි. බොරුපන වෙද මහතාට දේශනයක් සඳහා ආරාධනා කළ සෑම විටක ම එතුමා කිවුවේ මා මේ ලෙඩ්ඩු දාල ගිහින් කරන දේශන මොනවා ද කියා.
සූරිය
ගුණසේකර පරිපාලන සේවයේ යෙදී සිටි අයෙක්. ඔහු අවසාන කාලයේ දී අමාත්‍යංශ ලේකම් පදවියක් දැරුවා. එහෙත් කලින් ම විශ්‍රාම ගත් බවයි මගේ විශ්වාසය. එකල සූරිය ගුණසේකර පුන්‍යවර්ධන අල්විස් සමග දිවයින පුරා කළ සංචාරවලට ඇතැම් විට මා ද සහභාගි වුණා. ඒ විනෝද සංචාර නො වෙයි. දේශීය දැනුම නගා හිටුවීම තමයි ඒ ගමන්වල අරමුණ වුණේ. අප කිහිප වරක් මලගනේ අත්ථදස්සි හාමුදුරුවන්ගෙ පන්සලේ හමු වී තියෙනවා. වරක් හෝ දෙවරක් සණස සභාපති කිරිවන්දෙණිය මහතාත් එයට සහභාගි වූ බව මතකයි.
මා
සේකර ත්‍රිත්වය නමින් හැඳින්වුයේ ගුණදාස අමරසේකර සූරිය ගුණසේකර හා ජී අයි ඩී ධර්මසේකර යන තිදෙනා. ඔවුන් තිදෙනා ම ජාතිකවාදීන්, එහෙත් විවිධ අදහස් දැරුවන්. ධර්මසේකර චීන පිළේ සිට ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩි ආ අයෙක්. වාමවාදී පක්‍ෂවලින් ජාතිකත්වයක් යම් ප්‍රමාණයකට හරි තිබුණෙ මහජන එක්සත් පෙරමුණටත් ජනතා විමුක්ති පෙරමුණටත්. ජනතා විමුක්ති පෙරමුණේ ජාතිකත්වය සෝමවංශ අමරසිංහගෙන් පසු නැති වී ගොස්. අද වන විට එය කිසිම ජාතිකත්වයක් නැති තවත් ලිබරල්වාදී පක්‍ෂයක් වෙලා. එහි අනුගාමිකයනට ජාතිකවාදීන්ට ගෝත්‍රිකවාදීන් කියන්න උගන්නලා. ධර්මසේකර දැන් පැවිදි වී සිටිනවා. ඔහු සමග වැඩ කළ කුලියාපිටියේ ප්‍රනන්ද කලකට පෙර අභාවප්‍රාප්ත වුණා. ධර්මසේකරටත් දේශීයත්වය ගැන උනන්දුවක් තිබුණා. ඔහු වඩා අවධානය යොමු කෙළේ ඉතිහාසය පැත්තට. ඔහු විශ්වවිද්‍යාලයේ
ඉතිහාසය හැදෑරීමත් එයට හේතුවක් වන්න ඇති. කොහොමටත් මාක්ස්වාදීන් ඉතිහාසය ගැන උනන්දු වෙනවා. අමරසේකර වෙනස්. ඔහුට විදේශීය බලපෑම වැඩියි. ඔහුට අවශ්‍ය වුණේ වත්මන් ලෝකයට සරිලන විධියට ජාතිකත්වයක් නැත්නම් ජාතික චින්තනයක් ඈඳීමයි.
ඒ තිදෙනා සමග ම මා වැඩ කර තියෙනවා. අසූ හතේ දී පමණ අප චින්තන පර්ෂදය පිහිටුවා ගත්තා. එහි දී ගෙවිඳු කුමාරතුංග විශාල කාර්යභාරයක් ඉටු කළා. එහි පළමු සභාපති වූයේ මාදුළුවාවේ සෝභිත හිමියන්. ආරම්භ රැස්වීම්වලට ඊට අමතර ව සහභාගි වූයේ ධර්මසේකර කුලියාපිටියේ ප්‍රනන්ද පියසේන දිසානායක(භාණ්ඩාගාරික) හා ධර්මදාස වන්නිආරච්චි (පවිත්‍රාගේ පියා). අමරසේකරවත් සූරිය ගුණසේකරවත් කිසි දා චින්තන පර්ෂද රැස්වීමකට සහභාගි වී නැහැ.
එහෙත්
අප සියල්ලන් ම එකට වැඩ කළ අවස්ථා තිබුණා. 1994 දී
චන්ද්‍රිකාගේ පැකේජයට විරුද්ධ ව අප මහජන එක්සත් පෙරමුණ සමග එක් වී මැතිවරණයට ඉදිරිපත් වූවා. ඡන්දදායකයන් අප ප්‍රතික්‍ෂෙප කළේ චන්ද්‍රිකා වැළඳ ගනිමින්. එහෙත් පසුව ඔවුන් චන්ද්‍රිකා ප්‍රතික්‍ෂෙප කර ජාතිකවාදීන්ගේ ද අපේක්‍ෂකයා වූ මහින්ද තෝරා ගත්තා. ඊටත් පසුව 2019 දී ගෝඨාභය වෙනුවෙන් සියල්ලන් ම එකතු වුණා.
අද
මහින්දත් ගෝඨාභයත් ක්‍රියාකාරි දේශපාලනයේ නැහැ. ගාසා තිරයේ කිසිම අනුකම්පාවකින් තොරව හමාස් හම ගහන බටහිරයන් ඉන්දියාවත් සමග එකතු වී ගෝඨාභය හා මහින්ද පන්නා දැම්මා. අද ඉන්දියාව බටහිරයන් සමග එකතු වී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලික ව හරි පන්නා දම්මා තියෙනවා.
මෙරට
ජාතිකත්වයට තර්ජනය එන්නේ බටහිරින් හා ඉන්දියාවෙන්. මා කිසිම පැකිළීමක් නැතිව හැමදාමත් කියන්නේ අපේ ප්‍රධාන සතුරන් ඉන්දියාව හා එංගලන්තය කියා. ඉදිරි කාලයේ දී අපට තව තවත් තර්ජන ඒවි. ඉන්දියාවේ මෝදිහේ ජාතිකත්වය සිංහලයන්ට විශේෂයෙන් සිංහල බෞද්ධයන්ට මහත් තර්ජනයක්.
ජාතිකත්වය වෙනුවෙන් සටන් කළ අය ක්‍රමයෙන් අප හැර යනවා. එහෙත් ජාතිකත්වය නැති වන්නේ නැහැ. දෙමළ මුස්ලිම් ජන කොටස්වලට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නායකයන් ඉන්නවා.වෘත්තීය සමිති නිලධාරීන් ඉන්නවා. එහෙත් සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන නායකත්වයක් නැහැ. නුවරඑළියේ තැපැල් කන්තෝරුවේ ප්‍රශ්නය එය විකිණීම මිස එය අවුරූදු දෙසීයකට පමණ පෙර ඊනියා පුංචි එංගලන්තයේ සුද්දන් හැදූ ගොඩනැගිල්ලක් වීම නො වෙයි. අවුරූදු දෙසීයකට නොව දෙදහසකට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහලයන් තැනූ වෙහෙර විහාර වෙනුවෙන් පෙනී සිටින්නෙ මොන දේශපාලන පක්‍ෂය ද? ඒ විහාරස්ථාන අද ප්‍රදීපාගාර (ලයිට් හවුස්) වෙලා. ඒ පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන අතු ගැවී යනවා. සිංහල ජනතාව පිටමං කෙරෙනවා. සූරිය ගුණසේකර අප හැර යන්නේ එවන් පසුබිමකයි.
එහෙත්
මේ තත්වය තාවකාලිකයි. බටහිර අද ශක්තිමත්. වියට්නාමයේ කොමියුනිස්ට් පක්‍ෂය ඇමරිකාවේ ප්‍රතිපත්ති ක්‍රියතාමක කරනවා. ගාසා තීරය සොහොනක් බවට පත් කරන්නේ ලෝකය ම අසරණ කරමින්. එහෙත් බටහිර ම අද එහි විදේශ ප්‍රතිපත්තියට විරුද්ධ වෙන අය වැඩි වෙනවා.
ගෝඨාභය පන්නා දමා බටහිරයන් පත් කර ගත් රනිල් දෙමළ ජාතිවාදයට හිතකර බටහිර හා ඉන්දීය ප්‍රතිපත්තියක්
අනුගමනය කිරීම පුදුමයක් නො වෙයි. එහෙත් ඉන්දියාව රනිල්ට එතරම් ප්‍රියමනාප නැහැ. කෙසේ වෙතත් මෙරට ඉන්දීය ඇඟිලි ගැසීම් එන්න එන්න වැඩි වෙනවා. පසුගිය දා ඉදිරිපත් කළ රොමේෂ් ද සිල්වා වාර්තාව එළිදැක්වූයේ ඉන්දියාවේ අනුග්‍රහකත්වයෙන්
ද?
අපට
සූරිය ගුණසේකර වෙනුවෙන් කළ හැකි ප්‍රධාන ම කටයුත්ත ජාතිකවාදීන් එක පිළකට ගෙන ඒමයි. සේකර ත්‍රිත්වයෙන් නියෝජනය කෙරෙන ධාරා එකතු කිරීමයි. අප අතර මතභේද තියෙන බව රහසක් නො වෙයි. එහෙත් ඒ මතභේද පරයා යන දේශීයත්වයක් ජාතිකත්වයක් අප අතර තියෙනවා. 2019 දී අප එකතු වූ අන්දමට නැවතත් එකතු වෙන්න පුළුවන්. අපට කුරුන්දිය වටා එකතු වෙන්න පුළුවන්.
සූරිය
ගුණසේකරයන්ගේ සසර ගමන කෙටි වේවා!