Main Logo

Friday, 3 November 2023

විශිෂ්ට මහාචාර්ය තනතුරක්

 

විශිෂ්ට මහාචාර්ය තනතුරක්

 පහුගිය දා එක් තරුණයෙක් මගෙන් භෞතික විිද්‍යාව ගැන ප්‍රශ්න ඇහැවුවා. ඔහු හිතන්න ඇති මා භෞතික විද්‍යාව දන්නවා කියා. ඔහුගේ හිතිවිල්ල වැරදි බව ඔහු දන්නේ නැහැ.  ඔහු ඇහැවුවෙ මහා පිපිරුම් ප්‍රමේයය (බිග් බෑන් තියරම්) ගැන. ඔහු දන්නේ නැහැ එය ප්‍රවාදයක් (තියරි) මිස ප්‍රමේයයක් නොවන බව. ඔහු ඇහුවෙ  විශ්වය පටන් ගැනීම ගැන. මහා පිපිරුම ගැන විවිධ අර්ථකථන තියෙනවා. ගණිතය අනුව නම් සිදු වෙන්නේ කාලය ශූන්‍යය වන විට එක්තරා විචල්‍යයක් ශුන්‍යය වීමයි. හේතුවෙන් එක් එක් මන්දාකිණි අතර දුරත් ශුන්‍යය වෙනවා. එහෙම කිවුවට කාලය ශූන්‍යය වීමේ දී මන්දාකිණි නැහැ. මන්දාකිණි ඇති වන්නේ කලක් ගත වීමෙන්.

 

අර විචල්‍යය ශූන්‍යය වුනත් විශ්වය අනන්තයක්. විශ්වයේ මුළු මහත් ද්‍රව්‍ය හා විකිරණ (මුල දී ද්‍රව්‍ය කියන්නෙ මොනව කියල දන්නෙත් නැහැ) එක් ප්‍රදේශයකට ගොනු වීමක් තමයි කියැවෙන්නෙ. ඉන් පසු සියල්ල එකිනෙකින් ඈත් වෙන්න ගන්නවා. මේ කතාව තේරුම් ගන්න අමාරුයි. ඊළඟට ඔහු ඇහුවා ආලෝකයේ වේගයට කිට්ටු වේගයකින් එකිනෙකට සමීප වෙන අංශු දෙකක් ගත්තොත් එවිට එක අංශුවකට සාපේක්‍ෂ අනෙකෙහි වේගය ආලෝකයේ වේගයට වැඩි වන්නේ නැද්ද කියා.

 

මා ඔහුගෙන් ඇහුවා ඔහු ගණිතය හා භෞතිකය හදාරල තියෙනවා කියා. ඔහු කිවුවා දෙක ටිකක් දන්නවා කියා. මා ඊළඟට ඇහුවා ගණිතය හා භෞතික විද්‍යාව හදාරල තියෙන්නෙ උපාධියට කියා. ඔහු කියා සිටියේ තමන් උසස් පෙළට ජෛවීය විද්‍යා ධාරාවෙන් පෙනී සිටි බවත් මොටාවට යෑමට සුදුසුකම් නොතිබුණු බවත්. ඉන් පෙන්නුම් කෙළේ ඔහු සාමාන්‍ය පෙළෙන් පසු ගණිතයත් උසස් පෙළෙන් පසු භෞතික විද්‍යාවත් හදාරා නැති බව. අර අංශුවල සාපේක්‍ෂ ප්‍රවේගය ඔහු ගණනය කරන්නේ උසස් පෙළ භෞතික විද්‍යාවේ සාපේක්‍ෂ ප්‍රවේග ගණනය කරන ආකාරයට. ඊට ටිකක් එහාට ගියා වේගය වැඩි වත්ම සාපේක්‍ෂ ප්‍රවේග ගණනය කරන්නේ වෙනත් විධියකට. බටහිර විද්‍යාව එහෙම තමයි.

 

මා හිතුවා ඔහු මොටාවක විශිෂ්ට මහාචාර්ය ධුරයකට සුදුසු කියා. මොටාවේ විශිෂ්ට මහාචාර්යවරු දැනට නැහැ. එහෙත් ලෝකයේ වෙන කොහේවත් නැති විධියට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ඉන්නවා. මා හිතන්නේ ඒක පුද්ගල මහාචාර්ය ඝනත්වය වැඩි රට ලංකාව කියා. එයින් කියන්නේ මහාචාර්යවරුන්ගේ ගණන ජනගහනයෙන් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව වැඩි රට ලංකාව කියා.

 

බොහෝ කලකට පෙර 1993 දී ආචාර්ය සමිති සම්මේලනය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එකතු වී සකස් කළ ධුරාවලිය හා වැටුප් ව්‍යුහය තමයි තවමත් බොහෝ දුරට තියෙන්නේ. එහි සිදු වී ඇති වෙනස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යනුවෙන් ධුරයක් ඇති කිරීමයි. මහාචාර්ය තනතුරුවලට උසස් කිරීම සඳහා ප්‍රතිපාදන කොමිසම සකස් කළ ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙරට මහාචාර්යවරුන් තොග ගණනේ බිහි වුණා. මට නම් මහාචාර්ය ධුරයක් ලැබණේ හැට පැන්නටත් පස්සෙ. ඒත් මට වඩා බොහෝ දක්‍ෂයන් මොටාවෙ ඉන්නවා. ඔවුන් අවුරුදු තිහේ දි තිස්පහේ දී මහාචාර්යවරුන් වෙනවා. මේ අය වයසට යත් වැටුප් ව්‍යුහයේ ඉහළට ගිය පසු අවුරුදු දහයක් පහළොවක් එක උපරිම වැටුපකට හිමිකම් කියනවා. මේ වැටුප් වැඩි වීම ඇණහිටීම නැවැත්වීමට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයක් ඇති කර  මහාචාර්යවරුන්ට වැටුප් වැඩිවීමක් සහිත උසස් වීමක් ලබා දුන්නා.

 

ජ්‍යෙෂ්ඨයන් ඇති වෙන කාලයේ මට මතක තියෙන විධියට මා හිටියේ ගෙදර. කෙසේ නමුත් එසේ අලුත් ධුරයක් ඇති කිරීමට මොටාවෙ විරුද්ධත්වයක් ඇති වුණෙ නැහැ. කවුරු කවුරුත් එය පිළිගත්තා. මා අද හිතනවා තවත් වඩා උසස් තනතුරක් විශිෂ්ට මහාචාර්ය කියා ඇති කරන්න ඕන කියා. අවුරුදු තිහෙන් තිස්පහෙන් මහාචාර්ය වන අයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයේ අවුරුදු පතා වැටුප් වැඩි කරනු වෙනුවට අවුරුදු කිහිපයකින් පසු විශිෂ්ට මහාචාර්ය ධුරයට උසස් වීමක් ලබා දෙන්න පුළුවන්. අපේ මහාචාර්යවරුන් එවැනි උසස්වීමක් ලැබීමට සුදුස්සන්.

 

හැමදාමත් වගේ උපකුලපති කෙනකු පත් කළ පසු සුදුස්සාට සුදුසු තැන නොලැබීම පිළිබඳ ලිපි පළවෙනවා.  උපකුලපති තනතුරට පාලක මණ්ඩලයෙන් නම් තුනක් යෝජනා කරනවා. නම් තුන ප්‍රතිපාදන කොමිසම මගින් ජනාධිපතිට යොමු කරනවා. ජනාධිපති ඉන් එක් අයකු උප කුලපති ලෙස පත් කරනවා. මහාචාර්යවරුන් අර ලිපි ලියන්නේ තුන්දෙනා අතරින් සුදුස්සා යැයි කියන්නා පත් නොකිරීම ගැනයි. ඔවුන් සුදුස්සා පත්‍රිකා හා තවත් කරුණු මත තීරණය කරනවා.

 

මේ මහාචාර්යවරුන් හා අර තරුණයා අතර වෙනසක් නැහැ. නිසයි මා ඔහු විශිෂ්ට මහාචාර්යවරයකු තනතුරකට සුදුසු යැයි කියන්නේ. ඔහු නිවුටෝනීය කතාවේ සිට අහනවා අයින්ස්ටයින් හරි කියා. අයින්ස්ටයින් ගැන තීරණ ගන්න බැහැ නිවුටන් මත පදනම් වෙලා. උප කුලපති තනතුරට පත් කිරීම ගැන තීරණ ගන්න බැහැ අලුත් ක්‍රමවේදය දන්නෙ නැතුව. මා අයින්ස්ටයින් හරි කියාවත් උප කුලපති තනතුරට පත් කිරීමේ අලුත් ක්‍රමවේදය හරි කියාවත් තර්ක කරන්නේ නැහැ. ඔක්කොම ක්‍රමවේද පමණයි.

 

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත ජෙ ආර්ගේ හා ප්‍රතිපාදන කොමිසමේ පළමු සභාපති ස්ටැන්ලි කල්පගේගේ වැඩක්. පනත ප්‍රකාර පැනවූ රෙගුලාසි අනුව එකල ප්‍රතිපාදන කොමිසම උප කුලපති තනතුරට යමකු නිර්දේශ කර ජනාධිපතිට යැවුවා අනුමැතිය සඳහා. ජේ ආර් එයට කැමති වුණේ නැහැ. ඔහු කල්පගේට කියා තියෙනවා තමා රබර් මුද්‍රාවක් නොවන බවත් උප කුලපති පත් කිරීමේ දී තමන්ටත් තෝරා ගැනීමක් තිබිය යුතු බවත්. අනුව තමාට නම් තුනක් එවන ලෙසත් තමා ඉන් කැමති අයකු උප කුලපති ලෙස පත් කරන බවත්. අනුව උප කුලපති පත් කිරීමේ රෙගුලාසි වෙනස් කෙරුණා.

 

කල්පගේ පසුව ජාතිකවාදියකු වුනා. එහෙත් ඔහු ප්‍රතිපාන කොමිසමේ සභාපති ලෙස ආචාර්ය සමිති සම්මේලනය ලියාපදිංචි නැත කියා පිළිගත්තේ නැහැ. ඔහු අපට සාකච්ඡාවක්වත් ලබා දුන්නේ නැහැ. මා ඔහුට පෙන්වා දුන්නා වෘත්තීය සමිති ආඥාපනත අනුව ලියාපදිංචි වෘත්තීය සමිතිවල සම්මේලනය ලියාපදිංචි කිරීම අනවශ්‍ය බව. පසු කලෙක ඔහු මගේ මිතුරකු වුනා.

 

ජනාධිපතිට නම් තුනක් යැවු විට ඔහු ඊනියා ශාස්ත්‍රීය සුදුසුකම් සලකන්නේ නැහැ. කොහොමටත් උප කුලපති කියන්නේ පාලක තනතුරක්. එහි දී යම් අවම ශාස්ත්‍රීය සුදුසුකම් තියෙන්න ඕන කියා කියන්න පුළුවන්. එහෙත් එයට තවත් සුදසුකම් තියෙන්න ඕන.  අර නම් තුනෙන් ජනාධිපති එක් අයකු පත් කිරීමේ දී සුදූසුකම් බලනවා වෙන්න ඕන. දේශපාලන සුදුසුකම් වෙන්නත් පුළුවන්. මා එයට පක්‍ෂය කියන එක නොවෙයි මෙයින් කියන්නේ. එහෙත් මොටාව කියන්නෙ දේශපාලන මඩ ගොහොරුවක්.

 

අන්තරයේ කැඳවුම්කරු පත් කෙරෙන්නේ දේශපාලන පක්‍ෂයක් විසින්. ඔය කොපමණවත් ආචාර්ය මණ්ඩල පත් කිරීම්වල දී දේශපාලන අදහස් සැලකිල්ලට ගැනෙනවා. මට පේරාදෙණියේ දෙවැනි වර පත්වීමක් නොලැබූණේ මගේ දේශපාලන කල්ක්‍රියාව නිසා. කොළඹ දී ජාතිකවාදය නිසා මට සේවය අහිමි වුනා. කැලණියේත් ජාතිකවාදය මට පසුව හරහට හිටියා. ජාතිකවාදය නිසා සේවයට බඳවා නොගැනුණු අයත් ඉන්නවා. එමෙන් විවිධ දේශපාලන අදහස් නිසා බඳවා ගැනුණු  අයත් ඉන්නවා.

 

විවිධ අය දේශපාලනඥයන් හරහා මැදිහත් වීම් කරනවා. සමහර විට හරියනවා. හරියන්නේ නැති අවස්ථාත් තියෙනවා. අවම සුදුසුකම්වත් නැති විට. ආසියාවේ විශිෂ්ට දාර්ශනිකයකු වරක් මහින්ද මගින් පේරාදෙණියේ තනතුරක් ලබා ගන්න උත්සාහ කළා. එහෙත් ඔහුට අවම සුදුසුකම්වත් තිබුණේ නැහැ.

 

ඇතැම් මහාචාර්යවරු අර තරුණයා නිවුටන්ගේ කතා මත පදනම් වෙලා අයින්ස්ටයින් ප්‍රශ්න කරන්නාක් මෙන් කල්පගේගේ පූර්ව අවධියේ රෙගුලාසි මත පදනම් වෙලා ඔහුගේ පශ්චාත් අවධියේ රෙගුලාසි ප්‍රශ්න කරනවා. සියල්ලන් විශිෂ්ටයන්.