Main Logo

Tuesday 28 November 2023

මහින්ද ෂම්මි රොෂාන් හොරු හා ප්‍රජාතන්ත්‍රවාදය

 මහින්ද ෂම්මි රොෂාන් හොරු හා ප්‍රජාතන්ත්‍රවාදය

 

ටික කලෙකට ඉස්සර ෂම්මි කපූර් කියල ඉන්දීය චිත්‍රපට නළුවෙක් හිටියා. ඔහු රාජ කපුර් තරම් ජනප්‍රිය වුණේ නැහැ. මා නම් කැමති වුණෙ දිලිප් කුමාර්ට. නැහැ දිලිත් කුමාර් නෙවෙයිදැන් ඉන්නෙ ෂම්මි සිල්වා. ෂම්මි සිල්වා ඉන්නෙ ලංකාවෙ. ඒත් ඉන්දියාවත් එක්ක  කොහොම වෙතත් ඉන්දියාවෙ සමහරුන් එක්ක ගණුදෙනු තියෙන බව පේනවා. ඉන්දියාව ඔහු යොදා ගන්නවා වෙන්නත් පුළුවන්ෂම්මි සිල්වා නළුවෙක් කියල මා දන්නෙ නැහැ. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා හිටිය කියලත් මා දන්නෙ නැහැ. ඔහු ලංකාවෙ ක්‍රිකට් ආයතනයෙ නම් සභාපති. විතරක් නොවෙයි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පත්වුණු අයෙක්.

 

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ නම් ෂම්මිගෙ හොරකම් දූෂණ ගැන කිවුවා. නැහැ ෂම්මි කපූූර්ගෙ නො වෙයි. ඒත් ෂම්මි ප්‍රජාතන්ත්‍රවාදී පත් වුණු අයෙක් කියල ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය කියනවා. මට වැරදුණා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියනවා. දෙක ICC . ඒකයි වරදින්නෙ.

 

ප්‍රජාතන්ත්‍රවාදී පත්වුණු ලංකාවෙ ක්‍රිකට් ආයතනය විසුරුවා හැරලා අතුරු කමිටුවක් පත් කරන්න ක්‍රීඩා ඇමතිට බලයක් නැති බව කියනවා. ඒක අමාත්‍ය මණ්ඩලය කියනව ජනාධිපති මාධ්‍ය ඒකකය කියනවා කියල මා දන්නෙ නැහැ. අමාත්‍ය මණ්ඩලය කියනව නම් ඇමතිටත් තියෙන බලතල ගැන පසුවට කතා කරන්න වේවි. රනිල් ඕව ගැන කිසි දෙයක් දන්නෙ නැහැ. ඔහු සුපුරුදු පරිදි නීතියට වැඩ. ඔහු කිසිම දෙයක් නීතියෙන් පිට කරල නැහැ. ඔහු නීතිගරුක මහත්මයෙක්. අර දවස්වල ආචාර්ය බන්දුල ගුණවර්ධන ශූරීන් කිවුව මහා දවල් මහා බැංකු මංකොල්ලය වෙලාවෙදිත් රනිල් නීතිගරුක ක්‍රියා කරල තියෙන්නෙ. අදාළ කිසිම වාර්තාවක ඔහුගෙ වරදක් සඳහන් වෙන්නෙ නැහැ කියනවා.

 

කොහොමටත් රොෂාන් දැන් ඇමති නොවෙයි. අලුත් ඇමති අර පාස්කු ප්‍රහාරය දවසෙ තමන්ට පල්ලි නොයන බව කී පියාගෙ පුතා හරීන් ප්‍රනාන්දු. ඔහු නියම ප්‍රජාතන්ත්‍රවාදියෙක්. මා කිවුවෙ පුතා ගැන. ඔහු ඔය අතුරු කමිටු පත් කරන එකක් නැහැ. ෂම්මි තව දුරටත් ක්‍රිකට් ආයතනයෙ සභාපති හැටියට කටයුතු කරාවි. ප්‍රජාතන්ත්‍රවාදය රොෂාන්ගෙන් බේරා ගෙන. මා රොෂාන් රණසිංහ හඳුනන්නෙ නැහැ. ඔහුට ජාතිකත්වයකුත් නැති බවට නම් මට තොරතුරු ලැබී තියෙනවා. මා ඔහු වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ. මා පෙනී ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.

 

ලංකා ක්‍රිකට් ආයතනයෙ නිලධාරීන් පත්වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන්. මහජන ඡන්දයෙන් නූණත් ක්‍රිකට් සංගම්වල ඡන්දයෙන්. එහෙම තමයි ක්‍රිකට් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නෙ. ෂම්මි සිල්වා හොරකු යැයි කී පමණින් ඔහු හොරකු වන්නේ නැහැ. රොෂාන් නොවෙයි සජිත් කිවුවත් ෂම්මි හොරකු වන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා වෙන්න ඕන.

 

දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා අපට වෙනත් හොරුන් ගැන අහන්න ලැබුණා. අර ආර්ථික අර්බුදයත් සමග. දැන් ආර්ථික අර්බුදය නැත් ? හෙට අනිද්දා නන්දලාල් වීරසිංහ හරි ජාමුල හරි වෙන කවුරු හරි කියන්න පුළුවන් ලංකාව බංකොළොත් නැහැ කියලා. කාටද ආඩම්බරේ. රනිල් විශ්වකරුමයක්. නැහැ මට වැරදුනා. විශ්වකර්මයෙක් කාලෙ හොරු වුණෙ රාජපක්‍ෂලා. රාජපක්‍ෂලාගෙන් උදවු ගත්ත බොහෝ දෙනෙක් අද ප්‍රජාතන්ත්‍රවාදය ජනාධිපති සිහිනය හා තවත් දේ සඳහා රාජපක්‍ෂලා අත්හැරලා. ඔවුන් සමහරු සභ්‍යත්ව රාජ්‍යයක් ගැන කතා කරනවා. එහෙම රාජ්‍යයක් තියෙන්නෙ ගුණදාස අමරසේකරගෙ පොතේ විතරයි.

 

කොහොම වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂ හොරු කියල රටේ මතයක් ඇති වුණෙ ෂම්මිල හොරු කියල මතයක් ඇති වුණු විධියට. වෙලාවෙ අද වගේ නොවෙයි. සිනමා කලා ගීත සහ තවත් තරු පිරිවරාගත් පිරිසක් කුරුසත් උස්සන් ආතල්ගමට එක් වුණා. මේ දෙරණේ එක් විශ්වයක් (දෙරණ ඇතුළෙ විශ්වය තියෙන්නෙ කොහොමද කියල මගෙන් අහන්න එපා) රාජපක්‍ෂලා හොරු කියලා මුළු රටට ඇහෙන්න කිවුවා.

 

අර මහජන ඡන්දයෙන් තේරී පත් වූ ගෝඨාභයටත් මහින්දටත් යන්න සිද්ධ වුණා. එතැන දි කවුරුන්වත් හැටනව ලක්‍ෂයකින් පත්වෙච්ච අය ආතල්ගමට  පනස්දාහක්, කියමු, එක්වෙලා ගෙදර යවන්නෙ කොහොමද කියල ඇහුවෙ නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියල ඇහුවෙ නැහැ. රනිල් ආතල්ගම රකින්න ඉදිරිපත් වුණා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදියකුගෙ ලක්‍ෂණය. කාදිනල්තුමාත් හොරු පන්නන්න පෙරමුණ ගත්තා. එතුමා අලි සබ්‍රි මුස්ලිම් නිසා අධිකරණ ඇමතිකමට පත්කරන්න එපා කිවුව කියා ටිරාන් අලස් කියනවා. තමයි ප්‍රජාතන්ත්‍රවාදය.

 

අද ඔය කතා කරන නඩු තීන්දවෙනුත් මහින්ද ඇතුළු පිරිස කිසිම දේකට වරදකරුවන් කියල නැහැ. ඔවුන් හොරුන් කියල කොහොමටවත් කියල නැහැ. විනිසුරුවන් කියන්නෙ යම් යම් ප්‍රතිපත්ති තීරණ නිසා ජනතා විශ්වාසය කඩ වී ඇති බවත් ව්‍යවස්ථාවෙ 12(1) අනුඡෙදය උල්ලංඝණය වී ඇති බවත් රාජපක්‍ෂලා ආර්ථික අර්බුදයට දායක වී ඇති බවත්මට නම් විනිසුරුවන් නිගමනයට පැමිණියෙ ඇරිස්ටෝටල් න්‍යායෙ මොන අනුමිති නීතිය යටතෙ කියල තේරෙන්නෙ නැහැ. ජෙප්පන් සෙප්පන් හා ඇතැම් පඬි නැට්ටන්ට අනුව මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ.

 

අපි ඔය ආර්ථික අර්බුදය ගැන නිවිහැනහිල්ලෙ කතාකරමු. මට දත්ත රාශියක් ලැබිල තියෙනවා. බව කියන්න මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවත් වැඩක් නැහැ. ජඩමාධ්‍ය වාර්තා කරන්නෙ නැහැ. අමරසේකර අභිනන්දන උළෙල ජඩමාධ්‍ය අති බහුතරය වර්ජනය කර තිබුණා. මට ජඩමාධ්‍ය ගැන කිසිම විශ්වාසයක් නැහැ.

 

ක්‍රිකට් සෙල්ලම හා ජනාධිපති සෙල්ලම සම්බන්ධයෙන් ඉන්දියාව මැදිහත් වෙලා. ජනාධිපති සෙල්ලමේ දී නම් බටහිරත් මැදිහත් වුණා. ඔවුන් හරි ප්‍රජාතන්ත්‍රවාදීන්. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ දි අර ක්‍රිකට් සෙල්ලමේ වගේ ඔවුන් කියන විධියට කරන විධියට මැච් එකට හරියන්න පිච් එක හදනවා.