Main Logo

Thursday 17 February 2022

විජේවීර ප්‍රභාකරන් හා තීක්‍ෂණ

 

විජේවීර ප්‍රභාකරන් හා තීක්‍ෂණ

 

මහීෂ් තීක්‍ෂණ ඉන්දියාවේ ප්‍රිමියර් ලීග් (IPL) තරගවල දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීමට මිල දී ගැනීම පිළිබඳ ව විරෝධයක් තමිල්නාඩුවෙන් මතුවෙලා. ඔහු රණවිරුවෙක් නිසයි විරුද්ධ වෙනවා කියන්නෙ. ඔහු හමුදාවත් සමග තිබූ සම්බන්ධකම කුමක් ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් ඔහු කතෝලික පාසලක් වූ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. කාදිනල්තුමාට මේ ගැන යමක් කියන්න තියෙනවා ද? මේ සිද්ධියේ මහාමොළකරු කවු ද?

 

අපේ රණවිරුවන් වෙනුවෙන් කාදිනල්තුමා ආශිර්වාද පූජාවක් තබා තියෙනවා ද කියන්න මා දන්නේ නැහැ. තීක්‍ෂණගේ ආගම කුමක් ද කියාත් මා දන්නේ නැහැ. බැරි වෙලාවත් ඔහු නිරාගමික ද? ඒ කුමක් වුවත් රණවිරුවන්ට විරුද්ධ කොටස් කිහිපයක් ලෝකයේ ඉන්නවා. ඒ නන්දිකඩාල් සටනින් තමන් ආධාර කළ දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කිරීම පිළිබඳ ව රණවිරුන්ට වෛර කරන එංගලන්තය ප්‍රධාන ඇංග්ලො සැක්සන් සම්භවයක් ඇති රටවල්. නෙදර්ලන්තය ප්‍රමුඛ උතුරු යුරෝපීය රටවල්. ඔවුන්  දෙගොල්ලන් ම  අනුව යන යුරෝපා සංගමය. ඒ සියල්ලන්ගෙන් පෝෂණය වනු ලබන පඬි නැට්ටන්. තමිල්නාඩුවේ දෙමළ ජාතිවාදීන්.

 

අපේ රටේ සිංහලයන් අතර මෙන් ම දෙමළ කතාකරන ජනයා අතර වත්මන් සමාජ කුල ව්‍යුහ ලන්දේසීන් විසින් 1700න් පමණ පසු ඇති කරන ලද්දක්. එය අපට ඇති එක් ප්‍රශ්නයක්. විශේෂයෙන් ම සිංහල සමාජයේත් අලිමංකඩින් එහා සමාජයේත් මේ ප්‍රශ්නය වැදගත් වෙනවා. විජේවීර මෙන් ම ප්‍රභාකරන් ද ඇතැම්විට මේ සම්බන්ධයෙන් සමානවත් ක්‍රියා කළා. විජේවීර ඊනියා නිර්ධන පංති විප්ලවයක් වෙනුවෙන් පහර දුන්නේ ගොවිගම කුලය ප්‍රධානත්වයට පත්කෙරුණු සිංහල බෞද්ධ සමාජ ව්‍යුහයට. ප්‍රභාකරන් දෙමළ වෙල්ලාලයන්ට විරුද්ධව ආරම්භ කළ සටන කෙළවර කළේ සිංහල බෞද්ධ සමාජයට විරුද්ධ ව. දෙදෙනා ම කරාව/කරෙයිවර් කුලවලට අයත්. ඒ පිටුපස සිටි මහාමොළකරුවන් කවු ද? බටහිරයන්  විජේවීරට විරුද්ධ වන අතර ප්‍රභාකරන්ට සහාය දුන්නේ ඇයි?

 

විජේවීර බටහිර විසින් මෙහෙයවනු ලැබුවෙක් කියා මා විශ්වාස කරන්නේ නැහැ. එන් එම් සහෝදරයා නම් එකල කිවුවෙ ජ වි පෙ සී අයි ඒ කෙමනක් කියා. එහෙත් විජේවීරගේ යටත්විජිත විරෝධී හැඟීම් තිබුණා. ඔහුට රනිල්දාසලාට යටත්විජිතලාට මෙන් නොව යම් ජාතිකත්වයක් තිබුණා. ප්‍රභාකරන් බටහිරයන් විසින් ඇන්ටන් බාලසිංහම් මගින් මෙහෙයවනු ලැබූවෙක්. ඇඩෙල් බාලසිංහම් ළමා සොල්දාදුවන් පුහුණු කිරීම ගැන ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා කරන බටහිරයන්වත් වනාතමුල්ලේ ඕවල් පිටියේ කේන්දරකාරයන් ඇතුළු පඬි නැට්ටන්වත් කටක් අරින්නේ නැහැ. පඬි නැට්ටන් ද විවිධ හේතු නිසා විරුද්ධ වන්නේ සිංහල බෞද්ධ ගොවිකුල පාලනයකට.  එකල GBS යනුවෙන් හැඳින්වුණේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ නොව  ගොවිගම බෞද්ධ සිංහල යන්නයි.

 

මහීෂ් තීක්‍ෂණ ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩා කරන්නේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට. දෙමළ ක්‍රීඩා සංගමයට (Tamil Union) ක්‍රීඩා නොකළත්  ඔහු ලංකාවේ (LPL) තරගවල දී ජැෆ්නා කිංග්ස් සහ නෝදර්න් වොරියර්ස් වෙනුවෙන් ක්‍රීඩා කර තියෙනවා. මෙරට උතුරේ දෙමළ කතාකරන ජනයා ඔහුට විරුද්ධ වුණේ නැහැ. මහාමොළකරුට එය මතක් වුණේ නැද්ද? එහෙමත් නැත්නම් උතුරේ දෙමළ කතා කරන ජනයාට වඩා තමිල්නාඩු දෙමළ ජනයා දෙමළ ද? පසුගිය දා පැවැත්වුණු ලංකාවේ තරගවල දී ජයගත්තේ මහීෂ් තීක්‍ෂණ ද ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

 

මෙරටට වෙල්ලාලයන් අති විශාල වශයෙන් ආනනය කෙරුණේ ලන්දේසීන් විසින්. ඔවුන් තමයි අද යාපනයේ ඊනියා උසස් කුලය. පෘතුගීසීන් එන විට යාපනයේ සිටි බහුතර සිංහලයන් (සාක්‍ෂි තියෙනවා) එක්කෝ පළවා හැරුණා. එහෙම නැත්නම් දෙමළ හින්දු සමාජයේ ඊනියා අඩු කුල බවට පත්කෙරුණේ එකී සමාජයට අවශෝෂණය කෙරෙමින්. මේ සමග මෙන් කරෙයිවර් ප්‍රභාකරන්ලා ද පැමිණියා. ඔවුන් ලන්දේසීන් විසින් ගෙනෙනු ලැබූ අය නො වෙයි. කෙසේ වෙතත් වෙල්ලාලයන් තමයි යාපනයේ ඊනියා උසස් කුලය.

 

අද මෙරටට පැමිණි හෝ ආනයනය කෙරුණු හෝ අනෙක් බොහෝ වැසියන් මෙරට තම රට ලෙස සලකනවා. ඉංගිරිසින් ආනයනය කළ නැගෙනහිර හා කඳුකර දෙමළ කතාකරන ජනයා ද වහාබ් අන්තවාදීන් හැරෙන්න අනෙක් මුස්ලිම් ජනයා ද එයට අයත්. පඬි නැට්ටන්ට යන්න වෙන රටක් නැහැ. නෙදර්ලන්තය ඔවුන් පිළිගනීවි ද? නිරාලාට තමන් නෙදර්ලන්තයට කරන සේවය වෙනුවෙන් එහි රටවැසිකම් ලැබේවි ද?

 

මහීෂ් තීක්‍ෂණගේ ප්‍රශ්නය මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙරට දෙමළ ජාතිවාදය එක් පැත්තකින් තමිල්නාඩුව විසින් මෙහෙයවෙන අයුරුයි. අනෙක් පැත්තෙන් මෙහෙයවනු ලබන්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් විසින්.  මහීෂ්ට ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ක්‍රිඩා කරන්න පුළුවන්. එහෙත් දෙමළ ජාතිවාදය මෙහෙයවෙන චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරනවාට විරුද්ධත්වයක් ඇති වෙලා. මේ අවස්ථාවේ දී මට සිහි වෙන්නෙ චෙල්වනායගම්. ඔහු රෙපරමාදු ක්‍රිස්තු භක්තිකයකු වුණා පමණක් නොව දකුණු ඉන්දීය පල්ලියට ද අයත වුණා. රෙපරමාදු ක්‍රිස්තියානිය ලන්දේසීන්ගෙ ආගම.

 

මට සමහර විට හිතෙනවා ඉංගිරිසින්ටත් වඩා ලන්දේසීන් අද මෙරට ප්‍රශ්නවලට වග කියන්න ඕන කියා. ඔවුන් තමයි ප්‍රශ්න ආරම්භ කෙළේ. ඔවුන් අද මෙරට ලන්දේසි තෝම්බු හා ලියකියවිලි ලබා ගන්නේ මේ ඉතිහාසය මකා දැමීමට ද? අපට පෙනෙන අයුරින් නෙදර්ලන්ත බලපෑම් ඉදිරියේ අගමැතිතුමාත් අසරණ වෙලා. එතුමාටත් අදාළ ලිපි ලේඛන ආරක්‍ෂා කර ගන්න බැහැ. එංගලන්තයටත් නෙදර්ලන්තයටත් අප හසුරවන්න පුළුවන් වෙලා තියෙන්නෙ අප ඩීල්ලන්තයක් වී තියෙන නිසා.