Main Logo

Monday 21 February 2022

කතෝලික සභාව මෛත්‍රිපාල හා නිලන්ත ජයවර්ධන

 

කතෝලික සභාව මෛත්‍රිපාල හා නිලන්ත ජයවර්ධන

 

කතෝලික සභාවට ලංකාවේ විශේෂ බලතල නැති බව කාදිනල්තුමාත් දන්නා බවට සැකයක් නැහැ. ලංකාවේ තබා ලෝකයේවත් අද එවැනි බලතල නැහැ. පහළොස්වැනි සියවසට පෙර නම් පාප්වහන්සේ මුළු බටහිර යුරෝපය ම පාලනය කළා. පාප්වහන්සේ ලෝකය පෘතුගීසීන් හා ස්පාඤ්ඤයන් අතර බෙදුවේ පහළොස්වැනි සියවස අග භාගයේ දී. එහෙත් එය ම කතෝලික සභාවේ බලය හීන වීමට හේතුවක් වුණා. බටහිරයන්ගේ ව්‍යවහාරය අනුව එය අවසානයේ ආරම්භය වුණා. එකල පාප්වහන්සේ නොදැන සිටි කාරණය වූයේ කතෝලික ආධිපත්‍යය වෙනුවට ක්‍රිස්තියානි ආධිපත්‍යයක් ඇති වීම ආරම්භ වී තිබුණු බව. බටහිර යුරෝපය කතෝලික චින්තනයෙන් කැඩී ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට පිය නගමින් සිටි බව. වැඩි කල් නොගොස් ජර්මනියේ මාටින් ලූතර් පූජකතුමා 1517 දී පාප්වහන්සේට විරුද්ධ ව පෝස්ටරයක් ඇලෙවුවා.

 

ලංකාවට පෘතුගීසීන් පැමිණියේ 1505 සමහරු කියන විධියට 1506 දී. කතෝලිකයන් වූ පෘතුගීසීන් සිංහලයනට ද මුස්ලිමුන්ට ද වද හිංසා කළා. කැලණි පන්සල කඩා බිඳ දැමුණේ එකල. සිංහල බෞද්ධ සංකල්පයක් එකල තිබුණේ නැහැ. සිංහලයන් ආගමක් ඇදහුවේ නැහැ. ඔවුන්ගේ ජීවන මග හැඩ ගෑසුණෙ බුදුදහමින්. කතෝලිකයන් වූ සිංහලයන් සෙසු සිංහලයන්ට ආගම් කාරයන් වුණා. කතෝලික පූජකවරුන් එකල බලවත්. අපත් පෘතුගීසි නම් ගත්තා.

 

එපමණක් නොව අපේ පරම්පරාව කතෝලික ආගම් කාරයන් ද වුණා. ඒ ථකුර අර්ථදේව ආදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ පරම්පරාව. ශබ්ද කිරීමේ දී ථකුර අර්ථදේව ආදිත්‍ය යන්න  ථකුරාර්ථ දේවාදිත්‍ය වෙලා. ඔවුන් දොන් ජුවන් ධර්මපාලටත් සේවය කර තියෙනවා. පඬි නැට්ටන් ඒ බව දැන ඉන්න නැතුව ඇති. නැත්නම් ඔවුන් මඩට එයත් පාවිච්චි කරනවා. ඒත් මා පඬිනැට්ටන් පයිසෙකට මායිම් කරන්නෙ නැහැ. කොහොමත් දඹදෙණි යුගයේ සිට ථකුර පරම්පරාව  සේවය කරලා තියෙන්නෙ රජවරුන්ට. නැහැ දැන් රාජපක්‍ෂලාට සේවය කරන්නෙ නැහැ.  මොරටුවේ රාවතාවත්ත  අපේ පවුලේ අය වැඩි වශයෙන් වාසය කළ ප්‍රදේශය.  පාණදුරේට ගිය අපේ මුත්තා කෙනකු ආගම අත්හැරලා. පඬි නැට්ටකු කියන්න පුළුවන් අප දොන් ජුවන් ධර්මපාලට ද සේවය කළ දේශද්‍රෝහීන් කියා. අද බටහිර දැනුම් ආධිපත්‍යයට සේවය කරන්නන් එකල ධර්මපාලට සේවය කළ අයටත් වඩා දේශද්‍රෝහීන්. පඬිනැට්ටන්ට ඇත්තේ හීනමානයක්. එය ඉංගිරිසින්ගේ නිර්මාණයක්. ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු.

 

රෙපරමාදු ලන්දේසීන් පැමිණීමෙන් පසු කතෝලිකයන්ට හිරිහැර සිදු වුණා. සිංහල රජවරුන් කතෝලිකයන් බේරාගෙන මාතලේ වහකෝට්ටේ ආදී ප්‍රදේශවල පදිංචි කෙරෙවුවා. ඉන්දියාවෙන් පැමිණි බ්‍රාහ්මණ වාංශිකයකු වූ ජුසේ ද වාස් පූජකතුමා කතෝලික ආගම ප්‍රචාරය කළා. ලන්දේසි කාලයේත් ඊට පෙරත් මෙරටට බ්‍රාහ්මණ වාංශිකයන් පැමිණ තියෙනවා. ඒ වුණත් ලන්දේසි කාලයේත් ඊට පසුව ඉංගිරිසි කාලයේත් කතෝලික සභාවට රාජ්‍යයේ එතරම් තැනක් ලැබුණෙ නැහැ. එහෙත් කතෝලික පාසල් මගින් බිහි වූ අය හේතුකොට ගෙන ඉංගිරිසි උගත් කතෝලිකයන් සමාජයේ බලවත් වුණා.

 

එකල කතෝලික ආක්‍රමණයක් (Catholic Action) ගැන කියවුණා. හමුදාවල බලයේ සිටි උසස් නිලධාරීන් කතෝලිකයන්. මෙත්තානන්ද මහතා හා එන් කිව් ඩයස් මහතා හමුදාවට එකල ව්‍යවහාරය අනුව සිංහල බෞද්ධයන් බඳවා ගැනීමට කටයුතු කළා. 1962 සිදු වූ හමුදා කුමන්ත්‍රණයට සහභාගි වූ සියල්ලන් ම පාහේ කතෝලිකයන්. ඒ කුමන්ත්‍රණයට පසුගිය දා වසර හැටක් පිරුණා. ඒ අසාර්ථක කුමන්ත්‍රණයෙන් පසු මෙරට කතෝලික බලය අඩුවෙන්න පටන් ගත්තා. එහෙත් ඉන් පසු කතෝලික සභාව දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන් සමග පෙළ ගැහුණා. වත්මන් කාදිනල්තුමාත් දෙමළ ත්‍රස්තවාදීන් මුණගැසීමට යාපනයේ ගියා. එකල කතෝලික සභාව දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන් පිටුපස සිටි මහමොළකාරයන් හඳුනා ගැනීමට උනන්දු වුණේ නැහැ.

 

කාදිනල්තුමා ටික කලක් මෙරට බෞද්ධ සංස්කෘතියේ අගය ගැන කියෙවුවා. එකල ජාතිකවාදීන් ද බොහෝ දෙනකු එතුමා ගැන පැහැදීමෙන් හිටියා. ඇතැම් භික්‍ෂූන් වහන්සේ කාදිනල්තුමා සමග ළඟින් ඇසුරු කළා. නැහැ කාදිනල්තුමා මහණ කෙළෙ නැහැ. ඒත් මා කාදිනල්තුමා ගැන දන්නේ එතුමා රත්නපුරේ බිෂොප් පදවියට පත්වීමටත් පෙර.  එතුමා වතිකානුව විසින් ම තෝරා ගනු ලැබූවෙක්. අද එතුමා බෞද්ධ සංස්කෘතිය ගැන කියවන්නේ නැහැ. අද එතුමාට අවශ්‍ය පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා හෙළිදරවු කරන්න.

 

අද කතෝලික සභාව මෛත්‍රිපාල සිරිසේනගේ හා නිලන්ත ජයවර්ධනගේ ලේ කොහොම වෙතත් යමක් ඉල්ලනවා. ඔවුන් කළ වරද කුමක් ද කියා කතෝලික සභාව දන්නවා ඇති. අපටත් දැන ගන්න එය කියනවා නම් හොඳයි. එහෙමත් නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව කතෝලික සභාවට භාර කරනවා ද?  වෙනත් කිසිවකුට නැති බලයක් කතෝලික සභාවට ඇතැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයට අවුරුදු තුන පිරෙන වෙලාවෙ හැට දෙකේ කුමන්ත්‍රණයටත් අවුරුදු හැටක් පිරෙන බවත් අමතක වෙන්නෙ නැහැ.

 

කතෝලික සභාව කියන්නෙ පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තියෙන බව ද? සහරාන් බෝම්බ ගැහුවෙ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කරන්න ද? (ඒ සම්බන්ධයෙන් මේ පිටුවේ ඇති ලිපිය කියවන්න). එය සංවිධානය කෙළේ මෛත්‍රිපාල සිරිසේන හා නිලන්ත ජයවර්ධන ද? මෛත්‍රිපාල ගෝඨාභය වෙනුවෙන් එය කළා ද? එහෙත් මට ලැබෙන තොරතුරු අනුව මෛත්‍රිපාලට ගෝඨාභය ජනාධිපති කිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. මෛත්‍රිපාලට නොව අනෙක් රාජපක්‍ෂලාටත් වුවමනාවක් තිබුණෙ නැහැ. මහින්දට අවශ්‍ය වුණෙ තමා ජනාධිපති වී මෛත්‍රිපාල අගමැති කරන්න. එයට ඉතිරි රාජපක්‍ෂලා කැමති වුණෙ නැහැ. මෙය සංකීර්ණ ප්‍රශ්නයක්.

 

ගෝඨාභය ජනාධිපති කිරීමේ අවශ්‍යතාව තිබුණේ ඇතැම් ජාතිකවාදීන්ට පමණයි. පොදු ජන පෙරමුණ අවසානයේ දී එයට කැමති වූයේ ජාතිකවාදීන්ගේ බලපෑමට. ඒ ජාතිකවාදීන් අතරත් දැන් බලන් යනකොට විවිධ මත තිබිලා. ඇතැමුනට දින පනස්දෙකේ ආණ්ඩුව පවත්වාගෙන යෑම ප්‍රධාන කරුණ වුණා. කිහිප දෙනකු  මෛත්‍රිපාල අගමැති වේය යන්න උඩ එයට විරුද්ධ වුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ දින පනස්දෙකේ ආණ්ඩුව පෙරළා දාන්න. මා කියනවා දින පනස්දෙකේ ආණ්ඩුව ගෙන යන්න ලැබුණ නම් පාස්කු ප්‍රහාරය වෙන්න තිබූ ඉඩකඩ නැති වෙන්න තිබුණ කියා. ඒත් මා තර්ක කරන්න යන්නෙ නැහැ පාස්කු ප්‍රහාරයට දින පනස්දෙකේ ආණ්ඩුව පෙරළා දැමූ අය වග කියන්න ඕන කියා. ඒ මගේ තර්ක ක්‍රමය නො වෙයි.

 

දින පනස්දෙකේ ආණ්ඩුව  වැටුණට පස්සෙ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වුණා. ගෝඨාභයට විරුද්ධ වූ මෛත්‍රිපාලවත් අනෙක් රාජපක්‍ෂලාවත් ගෝඨාභය ජනාධිපති කරවීමට කිසිවකු ලවාවත් බෝම්බ ගස්සවන්නෙ නැහැ. කතෝලික සභාව කියන දෙයක් කෙලින් කියනවා නම් හොඳයි. ඔවුන් දන්නා තොරතුරක් වේ නම්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරි නීතිපති දෙපාර්තමේන්තුව හරි ඔවුන්ට විශ්වාස නැත්නම්, ජනතාව දැනුවත් කිරීම සඳහා ඒ ප්‍රසිද්ධ කරන්න.

 

කතෝලික ජනතාව ඝාතනය කිරීම සඳහා බෝම්බ පිපිරවීමේ අවශ්‍යතාවක් තිබුණෙ කාටද? එදා තරු පහේ හෝටල්වලත් බෝම්බ පිපිරෙව්වේ ජනතාව නොමග යැවීමට ද? ජ වි පෙ ජාතික ලැයිස්තු සාමාජික ඉබ්‍රාහිම්ටත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමට අවශ්‍ය වුණා ද? ජ වි පෙරමුණටත් අවශ්‍ය වුණා ද?   යහපාලන ආණ්ඩුවේ රනිල් නිකම් ම නිකම් අගමැති කෙනකු ද? රටේ ආරක්‍ෂාව ගැන ඔහු වග කියන්න ඕන නැද්ද? බුද්ධි අංශවලට පාස්කු ප්‍රහාරය පිළිබඳ නිශ්චිත තොරතුරු ඉන්දියාවෙන් ලැබී තිබුණා ද? අපේ බුද්ධි අංශ දුර්වල කිරීම ගැන රනිල් වග කිව යුතු නැද්ද? කතෝලික සභාව කියන්නේ නිලන්ත ජයවර්ධන හා මෛත්‍රිපාල සිරිසේන කතෝලිකයන් ඝාතනය කළ බව ද? ඒ කා වෙනුවෙන් ද? ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් ද? එහෙත් මෛත්‍රිපාලට ගෝඨාභය ජනාධිපති කිරීමේ වුවමනාවක් තිබී නැහැ. කතෝලික සභාව තමන් දන්නා තොරතුරු හංගා ගෙන සිටීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? අද කතෝලික සභාව ඊනියා ජාත්‍යන්තරයට යනව නම් ඔවුන්ට යන්න වෙන්නෙ ක්‍රිස්තියානි නූතනත්වයට මිසක් වතිකානුවට නො වෙයි. වතිකානුවත් අද ක්‍රිස්තියානි නූතනත්වයට යටත්. මේ පහළොස්වැනි දහසයවැනි සියවස් නො වෙයි.