Main Logo

Tuesday 22 February 2022

22222

 22222  

၂၂၂၂၂

 

අද මියන්මා වැසියන්ට ඉතා සුබ දවසක්. ඒ දිනය දෙකේ ඉලක්කම්වලින් පමණක් හරි දෙකේ ඉලක්කම් වැඩිම ප්‍රමාණයකින් හරි ලියන්න පුළුවන් නිසා. එවැනි දිනයක් ක්‍රිස්තු වර්ෂ යටතේ කලින් ලැබී නැහැ. නැවත ලැබෙන්නෙත් නැහැ. අවශ්‍ය නම් අද  දිනය    ၂၂၂၂၂ කියා ලියන්න පුළුවන්. නැත්නම් ඉංගිරිසි ක්‍රමයට ශූන්‍යය ද සහිත ව ၂၂၀၂၂၂  ලෙස ලියන්න පුළුවන් ඇමරිකන් ක්‍රමයට ၀၂၂၂၂၂  ලෙස ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සිංහල ක්‍රමයකට ၂၂၀၂၂၂ කියා ලියන්න පුළුවන්. දෙදහස විසිදෙක කියා අවුරුද්ද ලියුවොත් එය පිළිවෙළින් ၂၂၀၂၂၀၂၂, ၀၂၂၂၂၀၂၂, ၂၀၂၂၀၂၂၂ ලෙස ලියැවෙනවා. මෙහි යනුවෙන් ලියැවෙන්නේ බුරුම 2 ඉලක්කමයි.

 

ඉංගිරිසි ක්‍රමයට දිනය ලියන්නේ දිනය, මාසය අවුරුද්ද පිළිවෙළටයි. ඇමරිකන් ක්‍රමයට එය මාසය දිනය අවුරුද්ද වෙනවා. සිංහල ක්‍රමයකට නම් අවුරුද්ද මාසය දිනය ලෙස ලියන්න ඕන. ශූන්‍යය නැතිව ලිවුවොත් මොන ක්‍රමයටත් ලැබෙන්නෙ  ၂၂၂၂၂ නැත්නම් 22222.එය වැදගත් මොන ක්‍රමයට ලිව්වත් එකම විධියට ලියන්න පුළුවන් එක් දිනයක් වන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් නම් අද දිනයයි.  11111 හා 111111ත් ලියන්න තිබුණා. ඒත් 2011 ආදී වශයෙන් ලිවීමේ දී එය තරමක් අවුල් වුණා. අප සිංහල ක්‍රමයකට කියා කිවුවත් ලියන්නෙ ඉංගිරිසින්ගෙ දිනයක්. අපේ දිනය අද බුද්ධ වර්ෂයෙන් නම් 2565 නවම් මස අව සැටවක. එහෙත් එය අපේ භාවිතයෙන් ඈත් වෙලා. එපමණක් නොවෙයි. සිංහල ඉලක්කම් ද භාවිතා වෙන්නෙ නැහැ. එහෙත් මියන්මාහි තවමත් බුරුම ඉලක්කම් භාවිතා වෙනවා. ඔවුන් සියලු වැඩ කරන්නෙ බුරුම භාෂාවෙන්. වෙළෙඳසල්වල නාම පුවරු බොහෝ විට ඇත්තේ බුරුම භාෂාවෙන්. ඉංගිරිසියෙන් ඇත්තෙ ඉඳහිට. ලංකාවෙ සිංහලෙන් ඇත්තෙ ඉඳහිට.

 

ශූන්‍යයට සංකේතයක් පළමුවෙන් ම දීල තියෙන්නෙ සිංහලයන්. ඒ හල් කිරීමේ සංකේතය. එය සීගිරියේ පස්වැනි සියවසේ සිට පමණ දකින්න ලැබෙනවා කියා කොළඹ විශ්වවිද්‍යාලයේ හර්ෂ විජේවර්ධන කියනවා. හල් කීරීම තමයි පසුව බිංදුව වෙලා තියෙන්නෙ. බිංදුව සංකේතයත් දැනට ඇති පැරණි ම සටහනක ඇත්තෙ තවත් ථෙරවාද රටක් වූ කාම්බෝජයේ. එය හත්වැනි සියවසේ සෙල්ලිපියක සඳහන් වෙනවා. එය කාම්බෝජ කෞතුකාගාරයෙ දැක ගන්න පුළුවන්.

 

කලක් සිංහලයන්ට හිතන්න පුළුවන්කම තිබුණා. නිර්මාණ කිරීමේ හැකියාව තිබුණා. ශූන්‍යයට සංකේතයක් ලියන එක ලෙහෙසි වැඩක් නො වෙයි. සිංහලයන් එය කරල තියෙනවා. ඒ පිළිබඳ ව මා කලකට පෙර ලිපියක් ලිවුව. අවාසනාවකට මට දැන් එය හොයා ගන්න බැහැ. එහි සඳහන් වුණේ මෙවැන්නක්. ශූන්‍යයට අගයක් තියෙනව ඒ වගේ ම නැහැ. 2022,  0 නැතුව  ලිවුවොත් කියැවෙන්නෙ 222. එහි බිංදුවට අගයක් තියෙනවා. එහෙත් 0 තනිව ම ලිවුව ම අගයක් නැහැ. හල්කිරීමත් තනිව ම ලිවුව ම ශබ්දයක් නැහැ. එහෙත් වෙනත් ව්‍යංජනයක් සමග ලිවුව ම ශබ්දයක් තියෙනවා. අක්කා කිවුව ම මෙන්. හල් කිරීම නැතුව ලිවුවොත් එය අකකා වෙනවා. සිංහලයන් තම නිර්මාණ ශක්තියෙන් ශූන්‍යය යන්න හල්කිරීම සංකේතයෙන් දැක්වූවා.

 

ඇතැම් දකුණු ඉන්දීය භාෂාවල හල්කිරීම ලියන්නෙ අකුරට උඩින් බිංදුවක් ලෙස. ශූන්‍යයට බිංදුව සංකේතය ලැබී ඇත්තේ එලෙසින් කියා විශ්වාස කරන්න පුළුවන්. හල්කිරීම බිංදුව වෙනවා මිස බිංදුව හල් කිරීම වෙන්නෙ නැහැ. අනෙක් අතට චතුස්කෝටිකය හා නාගර්ජුනපාදයන්ගෙ ශුන්‍යතාව ගැන අවබෝධයක් නැතුව ඒ නිර්මාණය කරන්නත් බැහැ. මේ පිළිබඳ ගවේෂණයක් කරන මෙන් මා සිංහල පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් කිහිප දෙනකුන්ගෙන් ම ඉල්ලා සිටියත් ඔවුන් එය පයිසෙකට මායිම් කළෙ නැහැ. කොහොමටත් මට ඒ සම්බන්ධයෙන් GTZ පර්යේෂණ දීමනාවක් දීමට හරි නීරා උපාධියක් දීමට හරි හැකියාවක් නැහැ. අඩු තරමෙන් ජර්මනියටවත් ගිහින් එන්න අවස්ථාවක් සලස්සන්න බැහැ.  දැන් බිංදුව හින්දූන් අරගෙන.  අපට හැම අතින් ම බිංදුව.

 

අප පාසල් ගිය කාලයෙ ඉන්දියාවෙ රුපියල් ඇනා පයිස ගැන ඉගෙන ගත්තා. පයිස 12ක් ඇනා එකයි. ඇනා දහසයක් රුපියලයි කියලයි ඉගෙන ගත්තෙ. ඒ කියන්නෙ පයිසයක් කියන්නෙ රුපියලකින් 192න් එකක්. සතපහටත් අඩුයි. අපේ තාත්තලගෙ පරම්පරාවෙ අය නොවටින දේ ගැන සඳහන් කෙළෙ පයිසයක් වටින්නෙ නැහැ කියමින්. කලකට පෙර ලංකාවෙත් පයිස භාවිතා වුණා ද දන්නෙ නැහැ. අපේ ඉතිහාසඥයන් අප කළ දේ පයිසෙකට මායිම් කරන්නෙ නැහැ. ඔවුන් ලෝකය බලන්නෙ ක්‍රිස්තියානි ඇහැකින්. අපට අපේ දේ වටින්නෙ නැති වුණාට මියන්මා වැසියන් බස්රියවල මාර්ග අංක සටහන් කරන්නෙත් බුරුම ඉලක්කම්වලින්.

 

අපට අද ජාතියක් ලෙස හිතන්න බැහැ. ජාතිය කියන වචනය නේෂන් වගේ ම උපත හා සම්බන්ධයි. අද අපට ජාතියට වඩා පාසල උසස්. එහෙමත් නැත්නම් කුලය උසස්. මෙය ඉංගිරිසින් අපට ඉතිරි කර ගිය දෙයක්. මෙරට කුල ක්‍රමයක් තිබුණත් එය කුල භේදයක් බවට පත් කරනු ලැබුයේ ඉංගිරිසින් විසින්. අප අද ජාතියක් ලෙස සිතන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී පමණයි.  මියන්මා වැසියන්ට අපට වඩා ජාතික හැඟීමක් තියෙනවා. අපේ ජාතිකත්වය පාසල් හා කුලය හරහා නැති වෙලා.