Main Logo

Saturday 26 February 2022

ප්‍රශ්නය චින්තනය හා ජර්මනිය මිස යුක්රේනය නොවෙයි.

 

ප්‍රශ්නය චින්තනය හා ජර්මනිය මිස යුක්රේනය නොවෙයි.

 

යුද්ධය බියකරුයි. ඉන් වඩාත් ම විපතට පත්වන්නේ ස්ත්‍රීන් හා ළමුන්. ඊනියා මානව හිතවාදීන් යුද්ධයට විරුද්ධයි. ඒ තමන්ට යුද්ධය දිනන්න බැරි නම්. තමන්ට තම මතය සනාථ කිරීමට ඊනියා සාධක නැත්නම්. යුක්රේනයේ යුද්ධයක්. එය පළමු යුද්ධයවත් අවසාන යුද්ධයවත් නො වෙයි. ප්‍රශ්න විසඳෙන්නේ සාකච්ඡාවලින් නොව අවියෙන්. අප කැමති වුණත් නැතත් වැඩ කෙරෙන්නෙ එහෙමයි.

 

තවමත් කවුරුන්වත් කියා නැද්ද යුද්ධය නිසා රුසියාව ක්‍රිස්තියානිය පාවා දී ඇතැයි කියා. අපේ රටේ නම් ක්‍රිස්තියානි ස්ටැන්ලි තම්බයියා අපට කියා දුන්නා යුද්ධය බුදුදහමට විරුද්ධය කියා. යුද්ධ කිරීම බුදුදහම පාවාදීමක් කියා. යුද්ධය ක්‍රිස්තියානිය පාවා දීමක් නොවනවා වෙන්න පුළුවන්. කොහොමටත් රුසියාවෙ තියෙන්නෙ ග්‍රීක ඔතොඩොක්ස් ක්‍රිස්තියානිය. සාමයට කැප වූ පාප් වහන්සේ රුසියන් තානාපති හමු වෙන්න ගිහින්. එකල හිටපු පාප් වහන්සේලා ග්‍රීක ඔතොඩොක්ස් පල්ලිය සමග භේද නැතිව හිටිය නම් ලෝකය පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට බෙදල නොදුන්න නම් අද යුක්රේනයක් ඇති නොවන්න තිබුණා.

 

ග්‍රීක ඔතොඩොක්ස් පල්ලිය කියන්නෙ නැගෙනහිර ක්‍රිස්තියානි පල්ලියෙ කොටසක්. එහි ග්‍රීක භාෂාව වැදගත්. කතෝලිකයන් රෝමානු කතෝලිකයන් ලෙස හඳුන්වන ආකාරයට ම නූණත් නැගෙනහිර පල්ලියෙ ග්‍රීක කතාවක් තියෙනවා. සමස්තයක් ලෙස ගත්ත ම නැගෙනහිර යුරෝපය හා බටහිර යුරෝපය අතර වෙනසක් ඇත්තේ මේ රෝමානු කතෝලික ග්‍රීක ඔතොඩොක්ස් කතා හරහා. ග්‍රීක ඔතොඩොක්ස් පල්ලිය රෝමානු කතෝලික පල්ලියෙන් වෙන් වෙලා තියෙන්නෙ එකොළොස්වැනි සියවසේ. ඒ කියන්නෙ විජයබාහු රජු කල.

 

යුක්රේනය රුසියාවට අයත්වන්නේ විප්ලවයට පෙර ඉඳන් කියල පුටින් කියනවා. එය සාර් රාජ්‍යයේ ම කොටසක්. බොහෝ දෙනකු අහල නැතිව ඇති ලෙවි ඩෙවිඩොවිච් බ්‍රොන්ස්ටයින් ගැන. ඔහු කලක් මා විසින් ගෞරවයෙන් හදාරනු ලෑබූ අයෙක්. ඒ තමයි බොහෝ දෙනකු අහල තියෙන ලියොන් ට්‍රොට්ස්කි. ඔහු ඉපදිල තියෙන්නෙ 1879 ඔක්තෝම්බර් 26 වැනි දා යුක්රේනයෙ. මා ඔහුගෙ උපන් දිනේ සඳහන් කෙළේ පුටින් කියන දේ සනාථ කරන්න. ට්‍රොට්ස්කි යුක්රේනියාව කියන ප්‍රදේශයේ උපන් යුදෙවුවෙක්. මා තවත් ගරු කරන අයකු වූ ඇල්බට් අයින්ස්ටයින් ඉපදිල තියෙන්නෙ ට්‍රොට්ස්කිට මාස කිහිපයකට කලින් 1879 මාර්තු 14 වැනි දා ජර්මන් අධිරාජ්‍යයෙ යුදෙවු පවුලක. මගේ ජීවිතයට විශාල බලපෘමක් කළ ඒ දෙදෙනා වියුක්ත යුදෙවු චින්තනයෙ ඉහළට ම ගිය අය. ඔවුන් යුදෙවු ආගමිකයන් නො වෙයි. එහෙත් යුදෙවු චින්තකයන්. අපට ඒ චින්තනයෙ වැඩි ඈතකට යන්න බැහැ. ඒ ගැන මට කණගාටුවක් නැතුවා නොවෙයි. යුදෙවුවන් සමස්තය දකින්නත් උත්සාහ කරනවා. මාත් මෙහි දී කරන්නේ මට හැකි ආකාරයෙන් සමස්තය දැකීමක්.

 

මේ ලිපිය මෙසේ දිග් ගැස්සීම බොහෝ දෙනකුට රුචි නැති බව මා දන්නවා. යුක්රේනයේ යුද්ධෙ ගැන කියන්න අයින්ස්ටයින් අහවල් දේකට ද? ඒත් මේ කතාව මා කියන්නෙ කාගෙවත් වුවමනාවකට නො වෙයි.  මගේ ම අදහස් නිරවුල් කර ගන්න. අද ප්‍රශ්නය යුක්රේනය නො වෙයි. ජර්මනිය. ඒ මගේ සමස්ත කතාවට පෙනෙන ආකාරය. නැගෙනහිර යුරෝපයේ මිනිසුන් හා බටහිර යුරෝපයේ මිනිසුන් හිතන ආකාරය වෙනස්. ජර්මනුන් ඉන්නෙ ඒ අතර මැදක. බටහිර යුරෝපයටත් නැගෙනහිර යුරෝපයටත් අවශ්‍ය ජර්මනිය තම පැත්තට ගන්න. යුක්රේන යුද්ධය ඒ සඳහායි.

 

පුටින් කියන ආකාරයට ම යුක්රේනය සාර් අධිරාජ්‍යයෙ කොටසක් වුණා. ඒ නිසා තමයි ට්‍රොට්ස්කි සාර් ට විරුද්ධව සටන් කෙළේ. සාර් රාජ්‍යය ඔහු සයිබීරියාවට පිටමං කෙළෙත් ඒ නිසා. යුක්රේනයෙ යුද්ධ ඇති වුණු පළමු අවස්ථාවවත් ඇති වෙන අවසාන අවස්ථාවවත් මෙය නො වෙයි. මා කියා ඇති මගේ මතකය දුර්වල කියා. එහෙත් සමහර දේ මට මතක හිටිනවා. සමහරුනට ඒ කිසිම වැදගත්කමක් නැතුව වෙන්න පුළුවන්. මෙයින් අවුරුදු හැත්තෑවකට පමණ පෙර ප්‍රාථමික පංතිවල දි මා ඉගෙන ගත් කවි පදයක් මට සිහියට එනවා. මා එකල ඉගෙන ගත් කවිවලින් මට කිසිම කවියක් සම්පූර්ණයෙන් මතක නැහැ. මේ කවි පදය සහ සුදෝ සුදු කවි පද කිහිපයක් පමණක් මට මතක තියෙනවා. ඉංගිරිසි කවිවලින් දිස් ඕල්ඩ් මෑන් මට තරමක් මතකයි.  මා දැන් මහළු වියේ. ඒත් ඉරෙන්න කබායක් නැහැ. ඉරා ගන්න කොළේකුත් නැහැ.

 

ඒ කවි පදයෙන් කියැවුණේ කිව් නගරයත් ළඟදී ම යයි දොරි දෝරේ වැන්නක්. ඊනියා දෙවැනි ලෝක යුද්ධයේ දී බිරිතානින් වෙනුවෙන් සටන් කරන්න ගිය සිංහලයකුගේ අත් දැකීමක් ඉන් කියැවෙන්නෙ. ඊනියා දෙවැනි ලෝක යුද්ධය වැඩි හරියක් යුක්රේනයෙ කෙරිල තියෙන්නෙ.   එකී සිංහලයා කිව් නගරයට ළඟදී ම ගංවතුරක් ඒවි කියා කියනවා. කිව් කියන්නෙ මොකක් ද කියල මා ඒ දිනවල දන්නෙ නැහැ. ඒත් කිව් කියා නගරයක් තියෙන්නෙ කොහොම ද යන්න මට ප්‍රශ්නයක් වුණා. Kiev කියන එක ශබ්ද කරන්නෙ කොහොම ද කියා මා දන්නෙ නැහැ. ඉංගිරිසින් එය ශබ්ද කරන විධිය කිව් වෙන්න ඇති. එය සමහර විට කීෆ් වෙන්නත් පුළුවන් කියෙෆ් වෙන්නත් පුළුවන්. එතනත් ජර්මන් ප්‍රශ්නයක් තියෙනවා. ජර්මනුන්ගෙ ෆොක්ස්වාගන් වොක්ස්වාගන් වෙනවා වගෙ. v ජර්මනුවන්ට f වෙන්න පුළුවන්.

 

අද ආසන්න ව ගත්තොත් රුසියාවෙ ඉඳන් ජර්මනියට ගෑස් බට සවි කරනවා. රුසියාවෙ ගෑස් ජර්මනියට දෙන්න. ජර්මනිය රුසියාව මත ගෑස් සඳහා යැපෙන එක බටහිරට හොඳට හිටින්නෙ නැහැ.  බටහිරයන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රයෝජනයට ගන්න උත්සාහ කළා. 1991 දී සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු නැගෙනහිර යුරෝපීය රටවල් ස්වාධීන වුණා. යුක්රේනය සාර් කාලයේ සිට ම රුසියාවේ කොටසක් වූ නමුත් බටහිරයන් දුර්වල ව තිබූ සෝවියට් දේශයෙන් කඩා තම අනුගාමිකයන් යුක්රේනයේ ජනාධිපතිල කෙරෙවුවා.

 

එහෙත් බටහිරයන් යුක්රේනය තම යුද සංවිධානය වූ නේටෝවට බඳවා ගත්තේ නැහැ. බටහිරයන්ට අද පෙන්වන ශක්තිය නැහැ. ඔවුන් දන්නවා යුක්රේනය නේටෝවට බන්දා ගෙන එය වෙනුවෙන් හමුදා යැවීමට බැරි බව. බටහිරයන් යුක්රේන ජනාධිපතිලා රැවටු එක පමණයි කෙළෙ. එසේ රවටන්න සිද්ධ වුණෙ බටහිරයන්ට ශක්තිය නොමැති නිසා. බටහිරයන් ජර්මන් ගෑස් බට සවි කිරීමත් සමග යුක්රේනයෙ වත්මන් ජනාධිපතිට දැඩි පීඩනයක් එල්ල කළා. නේටෝ යුද ටැංකි යුක්රේනය දෙසට එවුවා. ඔවුන් රුසියාව යුද්ධයකට කැඳෙවුවා. සෙලෙන්සිකි හිතුවේ නේටෝව තමාට ආධාර කරාවි කියා.

 

එහෙත් නේටෝවට පෙන්වන ශක්තිය නැහැ. ඔවුන් සෙලෙන්ස්කි පාවා දුන්නා. ඔවුන් ඔහුට දැන් කියනවා යුක්රේනය අත්හැර යන්න කියා. මා හිතන්නෙ නැහැ ඔහු තව දුරටත් බටහිරයන්ට රැවටේවි කියා. ඔහු පුටින් සමග සාකච්ඡා කරාවි. ඒ සාකච්ඡාවෙන් පසු නේටෝව පරඬැලක් බව කාටත් වැටහේවි.

 

මෙය අවසාන වශයෙන් චින්තනය පිළිබඳ ප්‍රශ්නයක්. නැගෙනහිර යුරෝපය හිතන විධියට නොවෙයි බටහිර යුරෝපය හිතන්නෙ. ජර්මනිය ඒ දෙක මැද. ජර්මනියට නැගෙනහිරින් ඇති ඕස්ත්‍රියාව මෙහි දී ඉතාමත් වැදගත්. මේ මැද චින්තනයේ ප්‍රධාන තැන වියනා නගරය. අර්නස්ට් මාක් හා වියනා කවය මතක ද? අයින්ස්ටයින්ට වියනා කවය බලපෑවා. ජර්මනියට පෙරදිග චින්තන එක්ක පෑහෙන්න බැරි කමක් නැහැ. ඊනියා ලෝක යුද්ධ දෙක ම ජර්මනිය මුල් කර ගත්තා. හිට්ලර් නැගෙනහිර යුරෝපයට මෙන් ම බටහිර යුරෝපයට ද විරුද්ධ වුණා. පසුව දෙගොල්ලන් ම එකතු වී හිට්ලර්ට ගැහුවා. අද දෙගොල්ලන් ම ජර්මනිය තම පැත්තට ගන්න හදනවා.

 

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී රුසියාව හෙළා දැකීමේ යෝජනාව රුසියාව විසින් නිෂේධ (වීටෝ) බලය යොදා පරාජය කරලා. එහෙත් එහි වැදගත්ම අංගය චීනය ඉන්දියාව හා එක්සත් අරාබි රාජ්‍යය යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමයි. මේ අතර මියන්මා දේශය රුසියාවට පක්‍ෂයි. මියන්මා හා රුසියාව අතර ඇත්තේ ඉතා ශක්තිමත් මිතුදමක්. අද ලෝකයේ බල තුලනයේ වෙනසක් සිදුවෙමින් පවතිනවා. ඉන්දියාවට තව දුරටත් බටහිරයන්ට පක්‍ෂපාත වෙන්න බැහැ. යුක්රේන ප්‍රශ්නය විසින් ආසියාව හා නැගෙනහිර යුරෝපය ළං කෙරෙනවා. (මතු සම්බන්ධයි)