Main Logo

Wednesday 9 February 2022

නූතන බමුණු ආධිපත්‍යය හා ථෙරවාදය

 

නූතන බමුණු ආධිපත්‍යය හා ථෙරවාදය

 

ධරමය නායකත්වයෙහි තබා කටයුතු කිරීමේ දී ඇති වන ප්‍රශ්න  දෙක අප පෙබරවාරි හත්වැනි දා මගේ නොවන මගේ ම ථෙරවාදය ලිපියෙහි සාකච්ඡා කළා. ඒ ප්‍රශ්න දෙක එකිනෙකට සම්බන්ධයි.  පළමුවෙන් ම බුදුහාමුදුරුවන් දෙසූ ධර්මය කුමක් දැයි නො දැනීම. ඒ නිසා ම අද විවිධ ධර්ම ලෝකයේ තියෙනවා. ඒ සියල්ල ඒ ඒ අයගේ අර්ථකථන. මහායාන, හීනයාන, තන්ත්‍රයාන යනුවෙන් දළ වශයෙන් ඒ කොටස් කරන්න නැත්නම් වර්ග කරන්න පුළුවන්. ථෙරවාදය ගොනු වන්නේ හීනයාන යටතේ. මහායානය අද ඇත්තේ ජපානය, කොරියාව වැනි රටවල. මට දැනෙන ආකාරයට බමුණු මත වැඩියෙන් ම ඇතුළු වී ඇත්තේ මහායානයට. අනෙක් යානවලත් බමුණු මත නැතුවා නො වෙයි.

 

යථාර්ථයක් ගැන කතාකිරීම ම බමුණු මතයක් නිසා සිදුවන්නක්. බමුණන්ට යථාර්ථයක් නැතුව බැහැ. බ්‍රහ්මන් තමයි යථාර්ථය. ඒ යථාර්ථය සමග එකතු නොවීම නිසා අප සංසාරයේ සැරිසරනවා. අප බ්‍රහ්මන්ගෙන් වෙන් වූ පෘථග්ජනයන්. සසර කෙළවර වන්නේ බ්‍රහ්මන් සමග එකතු වීමෙන්. මා හිතන්නේ බ්‍රහ්මන් සමග එකතු වෙනවාට වඩා බ්‍රහ්මන්ගෙන් වෙන්වීම වැරදි බව අවබෝධ කර ගැනීම. ලෝකය කියන්නේ එකට බැඳුණු සමස්තයක්. ඒ සමස්තය අවබෝධ කර ගැනීම තමයි සසරේ අවසන. මේ අදහස් මටත් යම් ආකාරයකට බලපා තියෙනවා. මගේ ලෝකයේ පළමුවැනි මුද්‍රණයේ මේ සමස්ත කතාව තියෙනවා. එහෙත් පසුව මට අවබෝධ වුණේ බුදුදහමෙහි සමස්ත කතාවක් නැති බවයි. බමුණන්ගේ සසර හා බුදුදහමෙහි සසර එකක් නොව දෙකක්. ගොම්රිච් වැනි බටහිර උගතුන් ඒ තේරුම් ගෙන නැහැ. ජෛන සසර තවත් එකක්. සසර කෙළවර වීමත් වෙනස්. අපට ගොම්රිච්ලාගෙන් බුදුදහම ඉගෙන ගන්නට සිදු වී ඇත්නම් එය ඛෙදවාචකයක්. 

 

බුදුදහමෙහි සසර කෙළවර වන්නේ සියල්ල බොරු බව සම්මාබෝධයෙන්. එය වෙනත් කිසිම දහමක නොකියැවෙන්නක්. එහි සසර තියෙනවා. සසර කියන සංකල්පය දඹදිව වගේ ම වෙනත් රටවලත් තිබුණා. මිසරයේ මායා රටේ සසර සංකල්පය තිබුණා. ක්‍රිස්තියානි ආගමේත් සසර තියෙනවා. එහෙත් එහි සසර තවත් එක් භවයකට පමණක් සීමා වන අතර සදාකාලික ස්වර්ගයෙන් හරි සදාකාලික අපායෙන් හරි කෙළවර වෙනවා. අද්වෛත බ්‍රහ්මන් සමග එක්වීම හරි වෙන්වීම වැරදි බව අවබෝධ කර ගැනීම හරි කෙළවරව වන්නේත් සදාකාලික වාසයකින්, පැවැත්මකින්. බුදුදහමෙහි මේ සදාකාලික තබා තාවකාලික නිරපේක්‍ෂ පැවැත්මක කතාව නැහැ. නිවන සදාකාලික සැප විඳින තැනක් නො වෙයි. කවුද බමුණකු කියා තියෙනවා ගෞතමගෙ නිවන එහෙම නම් තමාට එය අනවශ්‍ය කියා. මා නම් බෞද්ධයකු වන්නේ පැවැත්මක් යථාර්ථයක් බුදුදහමෙහි නැති නිසා. එහි ඒ සියල්ල බොරු නිසා.

 

බමුණන් සසුනට ඇතුළු වීමෙන් පසු බමුණු මත ඒ ඒ බුදුදහමට  අවශෝෂණය වී තියෙනවා. එයට කරන්න දෙයක් නැහැ. බමුණන් තමයි එකල දඹදිව දැනුමේ අයිතිකරුවන්. ක්‍ෂත්‍රියයන් යුද්ධ කළ රණවිරුවන්. අනෙක් වර්ණවලට, වංශවලට සමාජයේ වැදගත් තැනක් තිබුණේ නැහැ. බුදුසසුනෙහි වුවත් පඬිවරුන් වුණේ බ්‍රාහ්මණ වංශයෙන් පැවිදි වූ අය. අදත් ඉන්දියාවේ උගතුන් බුද්ධිමතුන් බමුණු කුලයේ අය. ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය මෙහෙයවෙන්නේ බමුණන් අතින්. ඔවුන් බෞද්ධ ලංකාවකට කැමති කියා හිතන්න එපා. ඔවුන් බෞද්ධ ලංකාව කඩන්නේ මෙරට දෙමළ කතාකරන ජනයා යොදා ගනිමින්. ඔවුන් නූතන බමුණකු වූ ජී එල් පීරිස් මගින් රට දෙකඩ කරන්න හදනවා. නූතන බමුණා යන්න පසුව විග්‍රහ කරනවා.  ඉන්දියාවේ මාධ්‍ය හසුරුවන්නේත් බමුණු කුලයෙන්. එපමණක් නොවෙයි. අද වන විට එක්සත් ජනපදවල මයික්‍රොසොෆ්ට් ගූගල් වැනි ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් (CEO) වී ඇත්තේ ඉන්දීය සම්භවයක් ඇති බ්‍රාහ්මණ වාංශිකයන්.  

 

ලංකාවේ ථෙරවදයේත් ප්‍රධානීන් වූයේ ආන්ද්‍ර ප්‍රදේශයෙන් වැඩම කළ බ්‍රාහ්මණ වංශයෙන් පැවිදි වූ  ධර්මපාල බුද්ධඝෝෂ වැනි හිමිවරුන්. අද නම් මෙරට පැරණි බමුණු කුලය නැහැ. එහෙත් බමුණු මත තියෙනවා. ථෙරවාදයේත් බමුණු මත තියෙනවා. අවාසනාවකට අප ඒ බමුණු මත අපේ ලෙස සලකා රකිනවා.  එහෙත් අපට හැකිකම තිබුණා ඉතා විශාල ප්‍රමාණයකට බමුණන්ට පහර දෙන්න බමුණු මත  පරදවන්න. කෙසේ නමුත් අද ඇත්තේ බටහිරයන්ගේ ආශිර්වාදය හා අනුග්‍රහය ලබන නූතන බමුණන් ටිකක්. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියන්නේ නූතන බමුණන්. පැරණි බමුණන් කිව්වේ තම වංශයේ මත. නූතන බමුණන් කියවන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මත තමන්ට තේරෙන ආකාරයට. ජී එල් පීරිස් ද නූතන බමුණකු වන්නේ එ පරිදියි. 

 

තිබ්බත බුදුදහම තන්ත්‍රයාන යටතේ වර්ග කෙරෙනවා. අප ථෙරවාදය ගැන අභිමානයෙන් කතා කළත් දැනුම වර්ධනය වී ඇත්තේ තිබ්බත බුදුදහමෙහි. අප ථෙරවාදය ආරක්‍ෂා කරගෙන තියෙනවා, වර්ධනය කරගෙන නැහැ. වර්ධනය කියන එකෙන් මා  අදහස් කරන්නේ බමුණු මත බැහැර කිරීමයි. අද බටහිර වඩාත් ප්‍රචලිත වන්නේත් අධ්‍යයනය කෙරෙන්නේත් තිබ්බත බුදුදහම බව අමතක නොකළ යුතුයි.

 

ධර්මය නායකත්වයෙහි තබා ගැනීමේ දී මුහුණ පාන දෙවැනි ප්‍රශ්නය නායකත්වයට පත් කර ගන්නේ කිනම් අර්ථකථනය ද යන්නයි. මෙහි දී අප සැලකිල්ලට ගත යුත්තේ වර්තමානයෙහි අප මුහුණ පාන ප්‍රශ්නයයි. වර්තමාන ප්‍රශ්නය බටහිර නූතන බමුණු මතයි. අපට පරාජය කිරීමට ඇත්තේ ඒ බටහිර නූතන බමුණු මතයි. මාර්ටින් වික්‍රමසිංහ පනස්හයේ ජයග්‍රහණයෙන් පසු, පෙර නොව, බමුණු කුලයේ බිඳ වැටීම මැයෙන් ලිපියක් ලිව්වා. ඔහුට ඒ සඳහා දහසින් බැඳි පියල්ලක් ද ලැබුණා. එහෙත් බමුණු කුලය බිඳ වැටී නැහැ. අද සිදු වී ඇත්තේ අනෙක් කුලවල අයත් නූතන බමුණු  කුලයට රිංගීමට උත්සාහ කිරීමයි. මාර්ටින් වික්‍රමසිංහ ද තමන් ද බමුණු කුලයේ බව අමතක කළා. මා ඉංගිරිසි පොතපත කියවීමට පෙර මට බලපෑ ප්‍රධාන ම ලේඛකයන් වූයේ මාර්ටින් වික්‍රමසිංහ හා ඊ ඩබ් අදිකාරම්. ඔවුන් දෙදෙනා ම දැරුයේ නූතන බමුණු කුල මත. මට ඔවුන්ගෙනුත් පසුව ඉංගිරිසි බමුණන්ගෙනුත් කැඩීමට කලක් ගතවුණා.

 

නූතන ඉංගිරිසි බමුණු මතවාද ආධිපත්‍යය දරණ ලංකවේ සම්මත ථෙරවාදය නායකත්වයේ තබා ගෙන කටයුතු කිරීම මට ප්‍රශ්නයක් නො වෙයි. සම්මත ථෙරවාදය සමග මා එකඟ නොවන තැන් ඇතත් සමාජයීය වශයෙන් එය නායකත්වයේ තබා ගෙන කටයුතු කිරීම මට ප්‍රශ්නයක් නො වෙයි.