Main Logo

Friday 18 February 2022

ඇරිස් කතෝලික සභාව හා පාස්කු ප්‍රහාරය

 

ඇරිස් කතෝලික සභාව හා පාස්කු ප්‍රහාරය

 

කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාව තවමත් පාස්කු ප්‍රහාරය පිළිබඳ මහා මොළකරු කවුදැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය කර නැහැ. එහෙත් ඒ කවුදැයි ඔවුන් දන්නා බව ඔවුන්ගේ කතාවලින් කියැවෙනවා. සමහරවිට දෙවියන් වහන්සේ ඔවුන්ගේ ඉවසීම පරීක්‍ෂා කරනවා වෙන්න පුළුවන්. කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් පසුවන ලෙස මා කිව යුතු නැහැ. ඔවුන් ඉහළ ම බැතිමතුන්. 

 

කතෝලික සභාවට අලුත් සාක්‍ෂි කරුවකු ලැබිලා. ඒ ඇමතිවරයෙක්. ලෙහෙසු පහසු පුද්ගලයෙක් නො වෙයි. මා කියන්නේ ඇඟපතින් පමණක් නො වෙයි. කතෝලික සභාව කියනවා ඔහුට සාක්‍ෂි තියෙනවා කියා. ඔහුට සාක්‍ෂි තියෙන බවට කතෝලික සභාවට සාක්‍ෂි නැහැ.  කතෝලික සභාව නිගමනයකට ඇවිත් තියෙනවා. තර්ක බුද්ධියෙන් ඇරිස් අනුගමනය කරමින්. ඇක්වයිනාස් ශාන්තුවරයා කලක් උත්සාහ කළා ඇරිස්ගේ න්‍යාය කතෝලික සභාවේ ධර්මය සමග එකඟ වන බව පෙන්වීමට. එහෙත් එතුමා අසාර්ථක වුණා.

 

කතෝලික සභාවේ ධර්මය ත්‍රිකෝටික න්‍යාය මත පදනම් වෙන්නෙ. ඇරස්ගේ න්‍යාය  ද්විකෝටිකයි. එය ගලප්පන්න බැරි බව මගෙන් ඇහුව නම් කියල  දෙනවා. ඒත් ආර් ප්‍රේමදාස හැර කිසිවකු මගෙන් කිසිවක් අසා නැහැ. කතෝලික ධර්මය හා ඇරිස් අතර පොදු බවක් තියෙනවා. ඒ දෙකෙහි ම ආරම්භයක් තියෙනවා. එය බටහිර දර්ශනයෙහි හා බටහිර විද්‍යාවෙහි ද පොදුවේ බටහිර දැනුමේ ද දකින්න පුළුවන්. ආරම්භය නිර්වචනය වන්නේ නැහැ. අනෙක් සංකල්ප නිර්වචනය නොවූ ආරම්භය ඇසුරෙන් නිර්වචනය කෙරෙනවා.  මගෙන් අහන්න එපා එහෙම පුළුවන් ද කියා. 

 

කතෝලික සභාවේ තර්කය මෙබඳුයි. ප්‍රසන්න රණතුංහ කැබිනට් ඇමතිවරයෙක්. එවැන්නකු යම් ප්‍රකාශයක් කරන්නේ සාක්‍ෂි ඇති නිසයි. ප්‍රසන්න රණතුංග මෛත්‍රිපාල සිරිසේනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කරනවා. එය සාක්‍ෂි ඇති නිසා කරන්නක්. ප්‍රසන්න කැබිනට් ඇමතිවරයෙක්. මට තේරෙන විධියට කතෝලික සභාවට තියෙන සාක්‍ෂිය ම තමයි ප්‍රසන්නට තියෙන්නෙ. අප්‍රසන්න කතාවක් වුණත් එය කියන්න වෙනවා.

 

දෙගොල්ලන් ම පදනම් වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පත් කරන ලද කොමිසමේ වාර්තාව මත. එහි මෛත්‍රිපාල සිරිසේන ගැන කියන කතාව මත. දැන් මෛත්‍රිපාල සිිරිසේන කියනවා ඒ වාර්තාවෙ තමන් වරදකරුවකු කර නැති බව. මෛත්‍රිපාල හිටපු ඇමතිවරයකු මෙන් ම හිටපු ජනාධිපතිවරයකු. කතෝලික සභාවේ උපකල්පන අනුව ඇමතිවරු සාක්‍ෂි නැතුව යමක් ප්‍රකාශ කරන්නේ නැහැ. හිටපු ඇමතිවරු ගැනත් අපට එහෙම කියන්න පුළුවන් ද? බැරි නම් ඒ ඇයි? රනිල් හිටපු අගමැතිවරයෙක්. සජිත් කිරිඇල්ල පමණක් නොව රනිල්දාසත් යටත්විජිතත් හිටපු ඇමතිවරු. ඔවුන් යමක් කියන්නේ සාක්‍ෂි ඇතිව ද නැතිව ද?

 

දැන් මෛත්‍රිපාල හිටපු ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරු යමක් කියන්නේ සාක්‍ෂි ඇතිව ද නැතිව ද? ජනාධිපතිධුරය ඇමතිධූයක් තරම් වටින්නෙ නැද්ද? හිටපු ජනාධිපතිවරු යමක් කියන්නෙ සාක්‍ෂි ඇතිව ද නැතිව ද? මේ සියල්ල සම්බන්ධයෙන් කතෝලික සභාවේ උපකල්පන හා නිගමන කවරේ ද? ඇරිස්ට අනුව හරි ඇක්වයිනාස් ශාන්තුවරයාට අනුව හරි ඒ තේරුම් කර දෙනවා ද?

 

කතෝලික සභාව තවත් දෙයක් කියලා. ආණ්ඩුව මෛත්‍රිපාල ආරක්‍ෂා කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දය පවත්වා ගෙන යෑමට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් අවශ්‍ය නිසා බව සභාව කියනවා. කතෝලික සභාව කිවුව ම අප කොහොම වෙතත් කතෝලිකයන් පිළිගන්න එපායැ. ප්‍රසන්න රණතුංග තරග කරන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එහි කතෝලික බැතිමතුන් යම් ප්‍රමාණයකට ඉන්නවා. ප්‍රසන්නට කතෝලික සභාවෙන් ලැබෙන චරිත සහතික ප්‍රයෝජනවත් වේවි.

 

ඒත් දැන් ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රසන්න රණතුංගට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ තබා ගනීමට අවශ්‍ය නැත්ද? ඔහුත් කතෝලික සභාව කියන ආකාරයට ම මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. කතෝලික සභාව කියන්නේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් අනවශ්‍ය බව ද? ඒ ඇමතිවරුන්ට තුනෙන් දෙකක අනවශ්‍ය බව ද? මේ ආණ්ඩුවේ ස්වභාවය අනුව එහෙම වෙන්නත් පුළුවන්. එක් ඇමතිවරයකු කියන දේ සමග තවත් ඇමතිවරයකු ප්‍රසිද්ධියේ එකඟ නොවන්නත් පුළුවන්.

 

කවුරුත් දන්නවා තුනෙන් දෙකේ වැඩි ඡන්දයක් නැතිවත් ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන් කියා. සමහර ඇමතිවරුන්ට අවශ්‍ය ආණ්ඩුව පවත්වාගෙන යෑම මිස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දය පවත්වා ගෙන යෑම නොවන්න පුළුවන්. බැසිල් ඇමතිතුමා මේ ගැන කියන්නේ කුමක් ද? ඊයෙ පෙරේදා ගෙදර යන්න අමාත්‍යංශයෙ තිබූ තම පෞද්ගලික භාණ්ඩ එකතු කළ පුංචි රෝමය නියෝජනය කරන ලන්සා රාජ්‍ය ඇමතිතුමා මේ ගැන කුමක් කියනවා ද? ප්‍රසන්නත් ලන්සාත් දෙදෙනා ම ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරු.

 

අද ආණ්ඩුව කියන්නේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න බවයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයක් අවශ්‍යයි. ඇමති ප්‍රසන්න රණතුංගට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත් ද?  බැසිල් ඇමතිතුමාටත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැද්ද? අර මුස්ලිම් මන්ත්‍රිවරුන්ට බොරු නොකර ආපසු තම පක්‍ෂවලට යන්න කියමු ද? නව ව්‍යවස්ථාවක් නැතිව මේ ව්‍යවස්ථාව මගින් ම ජනාධිපති වීමට බැසිල් ඇමතිතුමාට හැකි කමකුත් තියෙනවා. කතෝලික සභාව දැන  හිටියත් නැතත්  බැසිල් ඇමතිතුමා ඒ ගැන දන්නෙ නැහැයි කියල හිතන්න බැහැ. 

 

ඒ කතා මොකක් වුණත් පාස්කු නඩුවෙන් පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු නිදොස් කර නිදහස් කර තියෙනවා. අර කොමිසම් වාර්තාව හා නඩු තීන්දුව අතර පරස්පරයක් තියෙනවා ද? ඒ ගැන කතෝලික සභාව මොකද කියන්නෙ. අද ම කියන්න ඕන නැහැ. සතියක් විතර කල් ගත්තත් කමක් නැහැ. ඒ නඩු තීන්දුව මෛත්‍රිපාලට බලපානවා ද? එසේ නම් ඒ කෙසේ ද?  කෝ මේ ඇරිස්? කෝ මේ මහ මොළකරු?