Main Logo

Tuesday 8 February 2022

මූසිලටත් වඩා අසාධාරණ ලංකා වසන්තයේ වෘත්තීය සමිති නායකයෝ

 

මූසිලටත් වඩා අසාධාරණ ලංකා වසන්තයේ වෘත්තීය

 සමිති නායකයෝ

 

මේ ආණ්ඩුව පෙරළීම බටහිරයන්ගේ මූලික බලාපොරොත්තුවයි. බටහිරයන් දින පනස්දෙකේ ආණ්ඩුවවත් ඉවසුවේ නැහැ. දින පනස්දෙකේ ආණ්ඩුව පෙරළීම සඳහා බටහිරයන් මංගලලා පමණක් නොව යටත්විජිතලා රනිල්දාසලා ඇතුළු යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ල නිප විරෝධී කණ්ඩායම සමග එක් වී කටයුතු කළා. අවාසනාවකට අපේ දේ රැකගැනීමට නිතර දෙවේලේ කතාකරන අයත් හුදු පෞද්ගලික කරුණු මත රනිල්ලා සමග එකතු වුණා. ඒ සියලු දෙනා එකතු වී සකස් කළ විශ්වාසභංග යෝජනාව තමයි යටත්විජිත මීටර් සීයේ වාර්තාව කඩා පාර්ලිමේන්තු ලේකම්ට භාරදුන්නෙ.

 

බටහිරයන් විශ්වාසභංගය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ අත්පොළසන් දෙමින් ප්‍රතිචාර දැක්වීමෙන් ඉතා පැහැදිලිව ඔවුන්ට අවශ්‍ය කුමක් ද කියන එක පෙන්නුම් කෙළේ සියලු ජාත්‍යන්තර ගිවිසුම් එකඟතා කඩ කරමින්. දින පනස්දෙකේ ආණ්ඩුවට විරුද්ධ වූ බටහිරයන් (හා ඉන්දියාව)  දින එක්දහස් පන්සීයකට වඩා පැවතීමට වරම් ලබා ඇති මේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට විරුද්ධ නො වේ යැයි සිතනවා ද? ඊනියා සමාජවාදයක් ගැන කතා කළත් ජ වි පෙරමුණට බටහිරයන් මේ ආණ්ඩුවට වඩා කැමතියි. අද ලෝකයේ දේශපාලනය මෙහෙයවෙන්නේ ධනවාදය සමාජවාදය වැනි සංකල්ප මත නොව ජාතිකත්වය මතයි. අද ලිබරලුනුත් වමාලාත් ජාතිකත්වයට එරෙහිව අත්වැල් බැඳගෙන. අද ඔය ඊනියා සිවිල් සමාජ රාජ්‍ය නොවන සංවිධාන නෙදර්ලන්ත උපාධි කම්මල ආදිය යොදා ගන්නේ ජාතිකත්වයට විරුද්ධ ව.  වික්‍රමබාහු ජාතිකත්වයට එරෙහි ව රනිල් සමග ප්‍රසිද්ධියේ එකතු වුණා.

 

බටහිරයන් සූදානම් වන්නේ මෙරට ඊනියා ලංකා වසන්තය උදාකර ගැනීමට. ඩොලර් අර්බුදය අවුරුදු හැත්තෑවක් තිස්සේ අපේ අනවශ්‍ය වියදම් නිසාත් මහන්තත්වය හා පුරාජේරුව සරණ ගිය මධ්‍යම පංතියේ ප්‍රසාරණය නිසාත් අපනයන ආනයනයවලට වඩා වැඩිවීම නිසාත් අපේ ආකල්ප නිසාත් මෙරට නිෂ්පාදන වියදම වැඩිවීම නිසාත් වෘත්තීය සමිති ආකල්ප නිසාත් කම්කරු නීති නිසාත් මෙරට ආයෝජකයන් නැති වීම නිසාත් කෙතරම් උත්සාහ කළත් පිටරට ආයෝජකයන් ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසාත් ආදී වශයෙන් වූ හේතු කිහිපයක් නිසා ඇති වූවක්.

 

බටහිරයන් වඩාත් ම විරුද්ධ වන්නේ ඒ ඒ රටවල ජාතිකත්ව ආණ්ඩුවලට. බටහිරයන්ට මේ ආණ්ඩුව පෙරළා දැමීමට අවශ්‍යයි. මේ ආණ්ඩුව අපේ මට්ටමට ජාතිකත්ව ආණ්ඩුවක් නොවුවත් සජිත් රනිල් රනිල්දාස ආදීන් සමග සසඳන විට ජාතිකත්වයෙන් ඉහළයි. ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදයටවත් මුස්ලිම් අන්තවාදයටවත් ඉඩක් දෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ පූර්වගාමිකයකු වූ 2005 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තමයි බටහිරයන්ගේත් ඉන්දියාවේත් අනුග්‍රහය හා ආශිර්වාදය ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙළේ. වත්මන් ජනාධිපති එදා ආරක්‍ෂක ලේකම්. බටහිරයන් එදා ලැබූ පරාජය කිසි දා අමතක කරන්නේ නැහැ. ජෙනීවාහි ඔවුන් කරන්නේ තමන් පරාජය කළ රණවිරුවන්ගෙන් පළිගැනීමයි.   මංගලලා යටත්විජිතලා එකතු වී ජෙනීවා හි බටහිරයන්ගේ රණවිරු විරෝධී යෝජනාවක සහයෝජකයන් වුණා.

 

අද මේ ආණ්ඩුව නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කිරීමේ ව්‍යාපෘතියක ද නිරත වී සිටිනවා. එයට දෙමළ ජාතිවාදීන් මුස්ලිම් වහාබ් අන්තවාදීන් පමණක් නොව බටහිරයන් ද විරුද්ධයි. සජිත් හරි වෙනත් කවුරු හරි ඒ කාර්යය දිගට ම කරගෙන නොයන බවට ඔවුන්ගේ ඉතිහාසය  සාක්‍ෂි දරණවා. බටහිරයන් ඩොලර් අර්බුදය මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමට යොදා ගන්නවා. ඔවුන් මේ අර්බුදය ලංකා වසන්තය උදාකර ගැනීමට යොදා ගන්නවා.

 

මේ වෘත්තීය සමිති අරගල ලංකා වසන්තය සඳහායි. ඔය වෘත්තීය සමිති නායකයන්ගේ ඉතිහාසයත් සොයා බලන විට ඔවුන් කාගේ කවුදැයි වැටහෙනු ඇති. රවි කුමුදේශ්, සුනිල් රත්නප්‍රිය, උපුල් රෝහණ, ජෝසෆ් ස්ටැලින්, මහින්ද ජයසිංහ ජාතිකත්වයක් ඇති අය නොවන බව  නොදන්නා කෙනකු ඉන්නවා ද? ඔවුන් කිනම් දේශපාලන පක්‍ෂවල අනුගාමිකයන් ද? සජිත්ගෙන් හා රනිල්දාසගෙන් අහල බලන්න. සජිත් රනිල්දාස චම්පක ආදීන් අද වන විට සේවය කරන්නේ බටහිරයන්ට. ඔවුන්ගේ ඇති ජාතිකත්වයක් නැහැ. ඔවුන් එකිනෙකාට විරුද්ධ වෙන්න පුළුවන්. ඔවුන් ඒ අතර රටටත් විරුද්ධයි.

 

ගුරුවරුන්ගේ වැටුප් අඩුයි. එහෙත් වසර විස්සකට වඩා තිබූ ප්‍රශ්නයක් යහපාලන ආණ්ඩු කාලයේ විසඳා නොගෙන ඩොලර් අර්බුදය අස්සේ විසඳා ගැනීමට ක්‍රියා කෙළේ හුදෙක් ගුරුවරුන්ට යහපතක් කිරීමට නම් නො වෙයි. ඒ අවස්ථාවේ දී සෞඛ්‍ය ක්‍ෂෙත්‍ර වෘත්තීය සමිති එයට ආධාර කළා. අද සෞඛ්‍ය ක්‍ෂෙත්‍රවල එක් ඉල්ලීමක් වන්නේ උපාධියට සමාන වැටුප් දිය යුතු ය යන්න. ඒ අතර ඔවුන් කියනවා සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය සංවෘත සේවයක් කරන්න කියා. මෙය විසංවාදයක්.

 

උපාධියට සම වැටුප් කියන එක මූසිලගේ ඉල්ලීමක්. එකල උපාධි තියෙන්න නැතුව ඇති. ඒත් මූසිල සම වැටුප් ඉල්ලුවේ එක ම ක්‍ෂෙත්‍රයක. ඔහු දිසාපාමොක්ගෙ  හරි වෙනත් කාගේ හරි ක්‍ෂෙත්‍රයක සම වැටුප් ඉල්ලුවේ නැහැ. ඒ අතින් මූසිලත් රවි කුමුදේශ්ලාට සුනිල් රත්නප්‍රියලාට උපුල් රෝහණලාට වඩා සාධාරණයි. ගුරුවරුන් උපාධි ගෙන ඇත්තේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ නො වෙයි. ගුරුවරුන් සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ රැකියා ඉල්ලන්නේ නැහැ. ඒ ඒ උපාධිවලට ගෙවන වැටුප් ඒ ඒ ක්‍ෂෙත්‍රවල තීරණය වන්න ඕන. සංගිත උපාධියට ගෙවන වැටුප  කෘෂිකර්ම උපාධියට හරි අනෙක පැත්තට හරි ඉල්ලන්න බැහැ. උපාධිය ඒ ඒ ක්‍ෂෙත්‍රවල වටින්නේ එක ම ආකාරයට නො වෙයි. පොදුවේ උපාධියට හිමි වැටුපක් කියා දෙයක් නැහැ.  සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය සංවෘත්ත ක්‍ෂෙත්‍රයක් කරන්න ඉල්ලන  අතර ම එකී ක්‍ෂෙත්‍රය වෙනත් ක්‍ෂෙත්‍ර සමග සංසන්දනය කිරීම එකිනෙකට පරස්පරයි.

 

මේ වර්ජනවල එක ම අරමුණ බටහිරයන්ට ඊනියා ලංකා වසන්තය උදා කරවීමට සහාය වීමයි. යම් ආකාරයක හරි ජාතිකත්වයක් ඇති ආණ්ඩුවක් පෙරළා දැමීමයි. ඔය වෘත්තීය සමිති නායකයන්ට පසුගිය යහපාලන දවස්වල රනිල් හා සජිත් සමග එකතු වී සියලු ප්‍රශ්න විසඳා ගන්න තිබුණා. බටහිරින් ණයට අරන් හරි ප්‍රශ්න විසඳා ගන්න තිබුණා.  රනිල් සජිත් එතරම් දක්‍ෂයි.