Main Logo

Wednesday, 23 February 2022

අපි ඔක්කොම පඬියො ඔක්කොම ණය කාරයො

 අපි ඔක්කොම පඬියො ඔක්කොම ණය කාරයො


ජනමාධ්‍යට මෙතරම් හොඳ කාලයක් තවත් නොතිබී ඇති. ඩොලර් අර්බුදය හා සම්බන්ධ ප්‍රශ්න රාශියක් තියෙනවා. තෙල් විදුලිය පොහොර ඉන් ප්‍රධානයි. ඊනියා වොයිස්කට් ගන්න ඕන තරම් ජනයා ඉන්නවා. මාධ්‍ය සාකච්ඡා දවසකට තුන හතරක් වුණත් තියන්න පුළුවන්. ආචාර්ය මහාචාර්යවරුන් තම ඊනියා ප්‍රාමාණික දැනුම ලබා දීමට සෑදී පෑදී ඉන්නවා. අර වත්මන් සමාජයේ ව්‍යවහාරයක් අනුව ඔවුන් කන්ටේනර් ටෝක් දෙනවා. සමහරු කන්ටේනර ඇතුළෙ සමහරු පිට. වරායෙ කන්ටේනර අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියන්න පුළුවන් අය අපට ඒ පිළිබඳ දැනුම බෙදා දෙනවා. ප්‍රශ්න සාකච්ඡා කරනවා. පොඩි අඩුපාඩුවක් පමණයි තියෙන්නෙ. ඔවුන්ට විසඳුම් නැහැ. ඒක ගණන් ගන්න එපා. අවශ්‍ය සාකච්ඡාවයි.

ප්‍රශ්නයට රනිල්ට කිරිඇල්ලට හරෂ ද සිල්වාට විසඳුම් ඇතැයි කියනවා. එක ම ප්‍රශ්නය ඔවුන් බලයෙ නොමැති වීමයි. බලයෙ හිටිය නම් ප්‍රශ්නය මෙළහකට විසඳලා ඉවරයි. ඔවුන් නීතිඥයන් ආර්ථික විද්‍යාඥයන් වෙන්න පුළුවන්. ඒත් මට රනිල්ගෙ හැරෙන්න අනෙක් අයගෙ සාමාන්‍ය පෙළ සහතිකය ගැන ප්‍රශ්න තියෙනවා. රනිල්ට ඒ ප්‍රශ්නය නැහැ. කොහොමටත් රනිල් ඉපදිච්ච දවසෙ ඉඳන් කියන්නෙ ජාමූලෙට (IM F) යමු කියලා.

කවුද ඊනියා පර්යේෂණයක් කරල හොයා ගෙන තිබුණ අපි දැනට විසිනව වාරයක් ජාමූලෙට ගිහින් තියෙනවා කියා. ඒක බැරෑරූම් පර්යේෂණයක් නැත්නම් අද බොහෝ දෙනා කියන විධියට රිසර්ච් එකක් වෙන්න ඕන. රිසර්ච් කියන්නෙ රී සර්ච් නැත්නම් නැවත සෙවීම. ඔය බොහොමයක් රිසර්ච් ඉංගිරිසි වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම නැවත සෙවීම් තමයි. ඒ කොහොම වුණත් විසිනව වතාවක් ගිය එකෙ තිස්වැනි වතාවට ගියා ම මොකද වෙන්නෙ.

නැහැ මා යන්න කියනවා නො වෙයි. තිස්වැනි වතාවට ගියා ම තිස්එක්වැනි වතාවටත් යන්න වේවි. ජාමුලෙ කොන්දේසි අපට හිතවත් වෙන්නෙ නැහැ. ජාමූලෙ වෙස්සන්තර රජ්ජුරුවො නැහැ. දැන් විසිනව වතාවක් ගිහින් මොකද වෙලා තියෙන්නෙ? එක ම එක දෙයයි. තිස්වැනි වතාවටත් යන්න සිද්ධ වෙලා. අපට යන්න තැන් දෙකක් තියෙනවා. එකක් ජාමූලෙ අනෙක ජෙනීවා. දැන් ජෙනීවා වන්දනා සමයයි. වඳින්න යන ගාමිණීට අයි එම් එෆ් සරණයි. ගාමිණී කිවුවෙ මා මිත්‍ර ගාමිණී ලක්‍ෂමන් පීරිස්ට.

ජාමූලෙට තිස් වතාවක් නොවෙයි හැට වතාවක් ගියත් අප තව තවත් අමාරුවෙ වැටෙන එක පමණය සිද්ධ වෙන්නෙ. හර්ෂ ද සිල්වා ආචාර්යතුමා කියල තිබුණ දැන් ස්වදේශීය විසඳුම් නැත ඇත්තේ ජාත්‍යන්තර විසඳුම් පමණයි කියා. දැන් හර්ෂ ද සිල්වල හා අනෙක් අය යොදා ගත්ත දේශීය විසඳුම් කියනවා ද? හුදෙක් දැන ගැනීම පිණිස. රනිල් නම් කලක් අටුකොස් වැවුව කියල ආරංචියි. රනිල්ට පාණදුරේ කොස් මාමා හමු වෙලා නැතුව ඇති. කොස් මාමා හතළිස් අටේ පෙබරවාරි හතරවැනි දා කළු කොඩියක් දැම්ම කියල තාත්තා කියනව මා අහල තියෙනවා. කොස් මාමාට හොඳ දැක්මක් තිබිල තියෙනවා.

අපි ණයයි. ඒක කවුරුත් දන්නවා. එක්සත් ජනපදත් ණයයි. ඒක හඟ දෙනෙක් දන්නෙ නැහැ. ඔවුන් කාට ද ණය. ලෝකයෙ ණය නැති අය කවුද? රටවල් හැටියට පුද්ගලයන් හැටියට. අපේ ජීවිත ම ණයක්. මා දිනක් ඇහුව මෙරට ආර්ථික විද්‍යාඥයකුගෙන් ඒ ඒ රටවල ණය එකතු කළොත් ශූන්‍ය අගයක් ලැබෙනවා ද කියා. කවුරු හරි ණයක් ගන්නෙ කාගෙන් හරි නම් ඒ දෙදෙනාගෙ ණය එකතු කළා ම ශූන්‍ය වෙන්න ඕන. එක් අයකුට ධන වෙන විට අනෙක්අයට සෘණ වෙන නිසා.

එහෙත් ජාතීන් අතරත් එහෙම වෙනවා ද? කාට හරි බැරිද ඔය රිසර්ච් එකක් කරන්න. අපි කාට ද ණය අපිට කවුද ණය. මුළු ලෝකෙම ණයයි. අපි ස්වභාව ධර්මයට ණයයි. අපි ස්වභාව ධර්මයෙන් ණයට කනවා. ණයට අඳිනවා. ණයට ගමන් බිමන් යනවා. ණයට ඉගෙන ගන්නවා. අපි ඔක්කොම ණයපත් (ක්‍රෙඩිට් කාඩ්) නිසා විපත් ළං කර ගෙන. මේ අලිහෙම්බිරිස්සා කාලෙ නම් ණයපත් වටිනවා. මුදල් ගණුදෙනු අවම කරන්න. ඒත් ගෙවන්න පුළුවන් තරමට ණයට ගන්න ඕන.

අද ලංකාවෙ ප්‍රශ්නෙ තව කාලෙකින් ලෝකෙට ම ඒවි. දැනට ලෝකය පවත්වගෙන යන්නෙ ඩොලරයට ඇති ව්‍යාජ අගයක් මුල් කර ගෙන. 1973 දි පමණ බ්‍රෙට්න් වුඩ්ස් ගිවිසුම කඩා දැම්මට පස්සෙ ඩොලරයට තියෙන්නෙ ව්‍යාජ අගයක්. නික්සන් ඩොලරය රත්තරන්වලට තිබූ බැඳීම කඩල දැම්ම. අපි හිතනවා බටහිර විද්‍යාවට ප්‍රශ්න විසඳන්න පුළුවන් කියා. ඒක එහෙම වෙන්නෙ නැහැ. බටහිර ආර්ථික විද්‍යාවට විසඳන්න පුළුවන් ප්‍රශ්නය මොකක් ද? ස්වභාව ධර්මය අපට හැමදා ම ණය දෙන්නෙ නැහැ. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන්නෙ මාක්ස් කිවුව විධියට නො වෙයි. මාක්ස් ධනවාදය ඇති නොවූ රටවල රාජ්‍ය ධනවාදය ඇති කිරීමක් ගැනයි නොදැනුවත් ව කියල තියෙන්නෙ. රුසියාව චීනය රාජ්‍ය ධනවාද ඇති කර ගත්තෙ ජාතිකත්වය මත පදනම් වෙලා. ඒ මිසක් ජාතිකත්වය නැති කර ගෙන නො වෙයි.

ඒ කොහොම වුණත් ලංකාවෙත් ලෝකෙත් ප්‍රශ්නයට තියෙන්නෙ එක විසඳුමයි. ඒ උපයන ප්‍රමාණයට අඩුවෙන් වියදම් කිරීම. මා හිතන්නෙ චීනය දැනටත් එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියා. ලංකාවෙ සමහර පවුල් තියෙනවා උපයන ප්‍රමාණය අත්‍යවශ්‍ය දේ සඳහාවත් ප්‍රමාණවත් නොවන. ඒ අයට සහන සලසන්න ඕන. සහන ගසා කන අයත් ඉන්නවා. ඒත් සහන නොදී ඉන්න බැහැ. අද අප අත්විඳින්නෙ අවුරුදු හැත්තෑවක් පමණ ණයට කෑමේ හා නිසි සැලසුම් නැති වීමේ ප්‍රතිපළ.

අපේ ප්‍රශ්නය විසඳුමක් නැති බව නොව විසඳුම ක්‍රියාත්මක නොකිරීම. කවුරුත් දන්නවා ආනයන අඩු කර අපනයන වැඩි කරන්න ඕන කියා. එහෙත් අපනයන එක රැයෙන් වැඩි කරන්න බැහැ. සංචාරකයන්ගෙන් කියන තරම් ආදායමක් ලැබෙනවා ද යන්න ප්‍රශ්නයක්. ඇල්ල හික්කඩුව පැත්තෙ වැඩිය ඉන්නෙ දෙකයි පනහෙ සුද්දො. ඔවුන් එතරම් වියදමක් කරන්නෙ නැහැ. සංචාරකයන්ගෙ ඔළුගෙඩි ගණන් කිරීමෙන් පමණක් සතුටු වෙන්න බැහැ. ඇඟලුම් කර්මාන්තයෙනුත් එතරම් අපනයන වත්කමක් ලැබෙන්නෙ නැහැ. අවශ්‍ය මූලද්‍රව්‍ය ආනයනය කරන්න යන විදේශ විනිමය අඩුකරල ගණන් බලන්න.

අපට අකමැත්තෙන් හරි ක්‍ෂණික ව අපේ අවශ්‍යතා අඩු කර ගන්න වෙනවා. අපනයන වැඩි කර ගන්න වෙන්නෙ දීර්ඝ කාලීනව. එහෙත් අප අපේ අවශ්‍යතා අඩු කර ගන්න කැමති නැහැ. අපට අවශ්‍යතා ගැනත් එකඟත්වයක් නැහැ. බෙහෙත් ආනයනය කරන්න බැරි වුණත් අප රූපවාහිනී දුරකතන ආනයනය කරනවා. ඒ ගජ මිතුරන් ගජ ධනපතියන් කරන්න. හැම ආණ්ඩුවක් ම ගජ මිතුරන් ගජ ධනපතියන් කළා. ධම්මික පෙරේරා කියා තිබුණා පොහොසත් කරන්න අධ්‍යාපනය ලබා දෙන්න කියා. ධමමික පෙරේරාට ඉහළ ම අධ්‍යාපනය ලැබී ඇති.

අපට ඉහත කී විසඳුම ක්‍රියාත්මක කරන්න බැහැ. විපක්‍ෂය විසඳුම ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ආණ්ඩුවත් විපක්‍ෂයත් බලන්නෙ ඩොලර් උපයන්න නොවෙයි ඡන්ද උපයන්න. මේ රටේ අවුරුදු හැත්තෑවක් දේශපාලන පක්‍ෂ කරල තියෙන්න ගජ මිතුරන් ගජ ධනපතියන් කරන අතර සාමාන්‍ය ජනතාවගේ ඡන්ද ඉපයීම.

ආණ්ඩුව තෙල් මිල වැඩි කරන්නෙ නැත්තෙ ඡන්ද ඉපයීමට. එහෙත් යුක්‍රේන ප්‍රශ්නයත් සමග තෙල් තවත් ගණන් යාවි. අපට තෙල් මිල වැඩි කරන්න වෙනවා. තෙල් මිල වැඩි කරන්න. ඇතැමුනට සහන ක්‍රමයක් ඇති කරන්න. අප ගජ මිතුරු ප්‍රතිපත්තියෙන් හා ඡන්ද ඉපයීමේ ප්‍රතිපත්තියෙන් ඈත් වෙන්න ඕන.