Main Logo

Monday 28 February 2022

චින්තන පරෂදය යුක්‍රේනය හා බත් පිඟාන

 

චින්තන පරෂදය යුක්‍රේනය හා බත් පිඟාන

 

ඉඳහිට චින්තන පර්ෂදයට මුදල් ආධාර ලැබෙනවා. හඳුන්නෙත්තිට හා රනිල්දාසට තරම් නැති වුවත් අපේ හිතවතුන් මුදල් එවනවා. ඊයේ පෙරේදාත් එංගලන්තයේ එක් ප්‍රාන්තයක (කෝරළයක) වෙසෙන අයකු රුපියල් ලක්‍ෂයකට චෙක්පතක් එවා තිබුණා. අප එයත් ගෞරවයෙන් ස්තුති පූර්වක ව ප්‍රතික්‍ෂෙප කළා. අද චින්තන පර්ෂදයෙන් වෙන එක ම කාර්යය වෙබ් අඩවියක මේ ලිපිය පළකිරීම පමණයි. සකර්බර්ග් නොමිළයේ පළ කරන නිසාත් එමගින් යම් පිරිසක් ලිපිය කියවන නිසාත් අප ඔහුටත් ලිපිය යොමු කරනවා. සතපහකට වැඩක් නැති අනාථ කඳවුර සඳහා නම් නොවෙයි. ඔවුන්ගෙන් රටට කිසිම බලපෑමක් වන්නේ නැහැ. ඔවුන් නර්මාලාප හා නිර්මාලාප කියවනවා පමණයි.

 

2009 මැයි මාසයට පෙර චින්තන පර්ෂදය දෙමළ ජාතිවාදයට ත්‍රස්තවාදයට එරෙහිව සම්මන්ත්‍රණ පැවැත්වූවා. රට වටේ ගියා. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පෙරටු කරගෙන මා නොගිය ප්‍රදේශයක් නැති තරම්. ඒ ගමන් බිමන් සඳහා ජී එල් පීරිස් ඉතා කාරුණික ව මට කොළඹ විශ්වවිිද්‍යාලයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දී තිබුණා. අද ඔහු ජෙනීවා ගිහින්. මා හිතන්නේ ඔහු තමයි යුක්‍රේන අර්බුදයේ මහා මොළකරු. මෙවර ජෙනීවා සමුළුවේ දී ලංකාව වැදගත් වන්නේ නැහැ. කාදිනල්තුමා ගියත් වැදගත් වන්නේ නැහැ. එතුමාට වැඩිම වුණොත්  ඔය කාමරයක වාඩි වෙලා ඔතොඩොක්ස් පල්ලියට  යමක් කියන්න පුළුවන් වේවි. ජී එල් පීරිස් වෙන්න ඕන ජෙනීවාහි අවධානය ලංකාවට යොමු නොවන ලෙස යුක්‍රේන අර්බුදය සැලසුම් කරන්න ඇත්තෙ. කාදිනල්තුමාට ජී එල්ගෙන් මහා මොළකරුවන් ගැන අහගන්න පුළුවන්.

 

එකල චින්තන පර්ෂදය සම්මන්ත්‍රණවලට අමතර ව කළුතර සිට කතරගමට පාද යාත්‍රා කැලණියේ සිට කතරගමට රිය යාත්‍රා පමණක් නොව කොළඹ සිට කිරින්දට බෝට්ටු යාත්‍රාත් සංවිධානය කළා. බෝට්ටු යාත්‍රාවේ රාගම පන්සලේ තුරුවිල හාමුදුරුවන් වැඩියා. ඒ සඳහා ඇතැමුන් අපට ආධාර කළා. අර බෙංගමුවෙ හාමුදුරුවන් සමග ගිය ගමන්වල දී ඇතැම් දවසක මා නිදා ගත්තේ පන්සලක බණ මඩුවේ බංකු දෙකක් ළං කර ගෙන. මා වාමංශිකයකු ව සිටි කාලයේත් බංකුවල නිදා ගත්තා. එකල ස්ටැලින් වාදියකු වූ (දැන් ඉන්න ස්ටැලින්ගේ නොවෙයි) එස් බී දිසානායකට මතක ඇති. බංකුවල නිදා ගෙන ඇති මට බෑංකු වටින්නේ අර 6% නිසයි. අපොයි නැහැ. පඬ නැට්ටන් අධ්‍යාපනය සඳහා ඉල්ලූ 6% නො වෙයි. පඬි නැට්ටන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් ඉල්ලා අයවැයෙන් 6%ක් වෙන් කළා ම උදම් අනනවා. ඔය පහේ  ශිෂ්‍යත්වය සමත් ළමයකුට කියන්න අයවැයෙන් 6%, දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට කීයක් ද කියා ගණනය කරන්න කියා.  බැංකුව මට වටින්නේ මගේ හා භාර්යාවගේ අර්ථසාධක මුදල්වලට 6%ක පොලියක් ගෙවන නිසා. විශාල මුදලක් නොවූවත් අපට එය වටිනවා. 

 

නන්දිකඩාල් ජයග්‍රහණයට ඕන තරම් බාප්පලා ඉන්නවා. කලක් යුද්ධයට විරුද්ධ වූවන් ද එහි බාප්පලා වෙලා. ඒත් මට පේන්නෙ බොහෝ ජාතිකවාදීන් ද ඇතුළුව මෙරට බොහෝ දෙනකුන් චින්තන පර්ෂදය අගය නොකළාට නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු අති විශාල බහුතරයකට පර්ෂදයේ කාර්යභාරය අවසන් වී ඇතැයි කියා පේන බවයි. අපට අර වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට තව අවුරුදු පහළොවකට පමණ මුදල් තියෙනවා. ඊට කලින් මාත් ඉන් පසු ව නොබෝ කලකින් චින්තන පරෂදයත් මිය යනවා. මගේ එක ම පැතුම මා මළ පසු මා ගැන කිසිවකු  කිසිම හොඳක් බොරුවට නොලීමත් නොකීමත් මිනිය (නලින් ද සිල්වා) ආදාහනය කළ පසු මා අමතක කිරීමත්. හැකි නම් පිටරටක දී මිය යෑමත්. එවිට බොරු කාරයන්ට වෙස් මුහුණු පැළඳ ගෙන මගේ මළගමට සහභාගි වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ. මගේ දරුවන් මා මිය යෑමෙන් පසු අවශ්‍ය කටයුතු කරාවි. පින් පමුණුවාවි. මට පින් අවශ්‍ය වෙනවා. මා එතරම් පිනක් කරගෙන නැහැ. පිනක් කර ගන්න ගියත් හෙනහුරකු කඩා වැටෙනවා. අදත් එවැන්නක් වුණා. පින පවක් බවට පෙරළුණා.

 

ඒ කෙසේ වුවත් චින්තන පර්ෂදයෙ මතවාදය යුක්‍රේනයෙන් ද තහවුරු වෙනවා. විසිවැනි  සියවසේ තුන්වැනි දශකයෙන් පසු බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන්න පටන් ගත්තා. අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාද, ක්වොන්ටම් භෞතිකය හා ගර්ඩ්ල් ප්‍රමේය 1900 පමණ සිට  අවුරුදු තිහක පමණ කාලයක් තුළ බිහි වු දේ. ඉන් පසු උදා වූයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ විච්චූරණ යුගයයි. සැරසිලි යුගයයි. ආටෝප යුගයයි. අද වන විට ක්වොන්ට්ම් ක්‍ෂෙත්‍රවාදය ඉබා ගාතේ යන්නේ ක්වොන්ට්ම් ජාගොඩ මෙන්. ඊනියා පශ්චාත්නූතනවාදය කියන්නේත් විච්චූරණයක් සැරසිල්ලක් පමණයි. පශ්චාත්නූතනවාදී අදහස්වලින් පෙන්නුම් කෙළේ බටහිර ක්‍රිසාතියානි නූතනත්වයේ කඩා වැටීම.

 

අද අපට ඇත්තේ හුදු ආටෝපයක් පමණයි. නොතේරෙන වචන භාවිතය එහි ප්‍රධාන අංගයක් වෙනවා. මේ විච්චූරණ සැරසිල්ලට හොඳ ම උදාහරණය තමයි බත් පිඟාන. බටහිරයන්ගෙන් පිහි ගෑරුප්පු පුරුදු වුණාට පසු මෙරට ඉහළ මධ්‍යම පාංතිකයන් පළමුවත් ඉන් පසු අනෙක් අයත් හැඳි ගෑරූප්පුවලින් බත් කන්න පටන් ගත්තා. ඔවුන්ට යම් නිර්මාණශීලීත්වයක් තිබුණා. බත් කන්න හැන්දක් ගත්තේ එබැවිනුයි. එහෙත් බටහිරයන් පාවිච්චි කරන්නේ පිහිය හා ගෑරුප්පුවයි. පිහියෙන් කපා ගෑරුප්පුවෙන් ඇණ ආහාර කටට දමා ගැනීමයි ඔවුන් කරන්නෙ.

 

අද වන විට මෙරට අනුකාරකයන් බත් කන්නත් පිහිය හා ගෑරුප්පුව යොදා ගන්නවා. ගෑරුප්පුවෙන් බත් ඇටවලට අනින්න බැහැ. ඔවුන් කරන්න දෙයක් නැතුව ගෑරුප්පුව හැන්දක් ලෙස යොදා ගන්නවා. බලන් ඉන්න එකත් මළ කරදරයක්. අද ඇත්තෙ ඊනියා ඉදිරිපත් කිරීම. නැත්නම් ප්‍රදර්ශනය. අපට කටට රහට සාමාන්‍ය කඩයකින් රුපියල් දෙසීය පනහකට බත් කන්න පුළුවන්කම තිබිය දී අර සැරසිලි සහිත එහෙත් එතරම් රහක් නැති කෑම වේලකට හොඳ හෝටලයකට රුපියල් තුන්දාහක් පමණ ගෙවන්න සූදානම්. ඒ තමයි නූතනත්වයේ විච්චූරණය සැරසිල්ල ආටෝපය. අපි හොඳ හෝටලයකින් කාල නැහැ. ඩෙරීඩාලා ෆූකෝලා ජිජැක්ලා ලකාන්ලා හුදු සැරසිලිකරුවන් පමණයි. භෞතික විද්‍යාවේ නම් තන්තුප්‍රවාදය නිකම් සැරසිල්ලක් පමණයි. 

 

අද සැරිසිලි වැහැරිලා.  යුක්‍රේනය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වැදගත් වෙනවා. පළමුවෙන් ම අද ලෝකයට වෙනස් ආකාරයකට හිතන්න වෙලා. ධනවාදය සමාජවාදය ලෙස ලෝකය බෙදන්න බැරි බව අද වැටහිලා. රනිල්දාස, යටත්විජීිත යුක්‍රේනය ගැන මොකක් ද කියන්නෙ. ඔවුන් අද ඇටිකෙහෙල් ගිලපු උගුඩුවන්ගෙ තත්වයට වැටලා. ඒත් සාමාන්‍ය ජ වි පෙ හිතවතා පුටින්ට පක්‍ෂයි. ඒ අර පැරණි සෝවියට් ලැදියාව. පුටින් ඊනියා සමාජවාදියෙක් නො වෙයි.  මෙරට විදේශ අමාත්‍යංශයටත් පැත්තක් ගන්න බැහැ. ඊනියා වමාලට වමක් නැහැ. ඔවුන් දකුණේ වමාලා. ඔවුන් බටහිරට පක්‍ෂයි පුටින්ට විරුද්ධයි. අනාථ කඳවුර තවත් අනාථ වෙලා. පශ්චාත්නූතනවාදී සැරසිලි වැහැරිලා. ඩෙරීඩා ස්පිවැක් ගැන කතා කරන්නේ කවුද?

 

රනිල්ලා හැත්තෑව පැනපු අය, රනිල්දාසලා චම්පකලා රතන හිමි දැන් පනහ පැනලා හැටට ළඟයි. රතන හිමිට බණක් භාවනාවක් කර ගන්න හිතිච්ච එක හොඳයි. ගෙවිඳුටයි පැස්කුවල්ටයි හැටට කිට්ටුයි. සජිත්ලා කිරිඇල්ලලා ගැන මොනව කියන්න ද?   රාජපක්‍ෂ තුන්වැනි පරම්පරාවට වයස තිබුණත් රටේ නායකත්වයක් ලැබෙන්නේ නැහැ. ඊනියා සමාජවාදයක් ඇති වුණෙත් නැහැ. ඇති වන්නෙත් නැහැ. ලෝකය බෙදෙන්නේ චින්තනය වශයෙන්. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව චින්තනයට නැත්නම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට පුටින් විරුද්ධයි. රුසියාවේ ඇත්තේ නැගෙනහිර යුරෝපයේ ග්‍රීක ඔතොඩොක්ස් චින්තනය. චීනයේ ලාඔට්සු චින්තනය. ඉන්දියාවේ වෛදික චින්තනය. අපේ ථෙරවාදී චින්තනය. අප එකිනෙකා හිතන හැටි වෙනස්. පඬි නැට්ටන් හා ජඩමාධ්‍යවේදීන් යට වුණත් රුසියාව සූදානම් නැහැ බටහිර ක්‍රිස්තියානි චින්තනයට යටවෙන්න.

 

මෙරට පඬි නැට්ටන් ජඩමාධ්‍යවේදීන් නම් බටහිර ක්‍රිස්තියානි චින්තනයට යටවෙලා. ඔවුන් හිතන්නෙ පතන්නෙ විද්‍යාත්මක ව. වැඩ කරන්නෙ විිද්‍යාත්මක ව. ඔවුන්ට අනුව මා මැන්ටලයක්. මිථ්‍යා මත ධාරියෙක්. කියන දේ නොකරන වංචාකාරයෙක්. පිස්සෙක් වෙන්නත් බැරි නැහැ. ඔවුන් බටහිරත් සමග එකතුයි. ජාතිකත්වයට අපේ දැනුමට පහර ගහන්න ඔවුන් බටහිරත් සමග එකතු වෙනවා. යුක්‍රේනය සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන්නෙ  බටහිරයන්ගෙ ක්‍රේන් දැනුම. කොක් දැනුමක්. ඒකෙ කොකු තියෙනවා.

 

යුක්‍රේනය නිසා අද වන විට බටහිරයන්ගෙ ජාතිය ඊනියා ස්වයං නීර්ණ අයිතිය වැනි පයිසයක් නොවටිනා සංකල්ප අවලංගු වෙලා. චින්තන පර්ෂදයට ඒ ගැන ආඩම්බරයක් තියෙනවා. නැහැ අර ඊනියා නිහතමානි ආඩම්බරය නො වෙයි. ආඩම්බරකාරී ආඩම්බරයක්. එහෙත් චින්තනය සම්බන්ධයෙන් චින්තන පර්ෂදය ලබා දී ඇති දායකත්වය බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. ඔවුන්ට චින්තනය පර්ෂදය සුළුවෙන් හරි වැදගත් වුණත් ඒ නන්දිකඩාල් සම්බන්ධයෙන් පමණයි.  බොහෝ දෙනකුට සුළුවෙන්වත් වටින්නෙ නැහැ.