Main Logo

Thursday, 10 February 2022

සල්ගාදු පිටියේ ඈතින් සිට

 

සල්ගාදු පිටියේ ඈතින් සිට

 

ඊයේ අනුරාධපුරයේ පැවති රැස්වීම සාර්ථකයි. පොදුජන පෙරමුණේ වැටීම බලාපොරොත්තු වූ පඬියන්ට පඬිනැට්ටන්ට බටහිරයන්ට ඉන්දියාවට සහ තවත් විජාතිකයන්ට එය අතුල් පහරක් වුණා. මැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි ඉලක්ක කරගත් රැස්වීමක් සමග එය සංසන්දනය කරන්න බැහැ. මැතිවරණ ආසන්නයේ රැස්වීම්වලට එන සෙනග වෙනත් කාලයක පවත්වන රැස්වීම්වලට එන්නේ නැහැ. ඊයේ රැස්වීම 2019 රැස්වීම සමග සංසන්දනය කරන්න බැහැ. 2019 දී මාත් රැස්වීමට සහභාගි වුණා. ඒත් ඊයේ ගියේ නැහැ. ඒ සජිත්ට පක්‍ෂ ව නො වෙයි.      

     

 

ඊයේ පවත්වපු රැස්වීමට සෙනග ගේන්න ඇති. එසේ නොකරන දේශපාලන පක්‍ෂයක් වේ ද? ඒත් ඊයේ පැවැත්වූ රැස්වීම මට්ටමේ රැස්වීමක් සජිත්ට තියන්න බැහැ. රනිල්දාසට සජිත් තරමටවත් බැහැ. කැනඩාවෙන් ඩොලර් ගෙනැල්ලත් බැහැ. චම්පකට කොහොමටවත් බැහැ. ඊයේ රැස්වීම පැවැත් වූ සල්ගාදු පිටිය නම්කර ඇත්තේ ජී එල් පිරිස්ගේ මව් පාර්ශ්වයේ සීයලා වූ පාණදුරේ සල්ගාදුලා නමින් යනු මගේ විශ්වාසයි. එකල සල්ගාදුලාට දිවයින පුරා විහිදුණු හෝටල් (ආපන ශාලා) ජාලයක් තිබුණා. අනුරාධපුර සල්ගාදු හෝටලය තවමත් තියෙනවා. සල්ගාදුලාට පීරිස්ලාව වඩා ජාතිකත්වයක් තිබුණා.

 

මෙහි දී පාණදුරේ ගැනත් වචනයක් නොකියා ම බැහැ. මා කියන දේ සමග පාණදුරේ ද බොහෝ දෙනකු එකඟ වන එකක් නැහැ. අද පාණදුර පානදුර යනුවෙන් ව්‍යවහාර කළත් අපේ පියාගේ පරම්පරාවේ අය නගරය හැඳින්වූයේ පාණදුරේ කියා. මාත් ඒ අනුව ගොස් කියන්නේ පාණදුරේ කියා. පාණදුරේ යන වචනය සෑදී ඇත්තේ කොහොමද ? පාණදුරේ වෙරළට ගොස් බැලූ කල ඈත මුහුදේ විශාල ගලක් පේනවා. එය පහණ ලෙස ගෙන ඈත පාෂාණය  යන තේරුමක් සමහරු පාණදුරේට දී තිබෙනවා.

 

එහෙත් මට හිතෙන්නේ වෙනත් දෙයක්. පාණදුරේ යන්න දෙමළ වචනයකින් බිඳී ආ එකක් ලෙසයි මා හිතන්නේ. එය පාණ්තුරෙයි වෙන්න පුළුවන්. කන්කසන්තුරෙයි වගේ කතාවක් පාණ්තුරෙයි යන්නෙ තියෙනවා. අප කියන්නේ කන්කසන්තුරේ කියා මිස කන්කසන්තුර වැන්නක් නො වෙයි. තුරෙයි යන්න තොට වෙන්න ඕන. කළුතර බෙන්තර බිඳී ඇත්තේ තුරෙයි යන්නෙන් නො වෙයි. එහෙත් ඒ වචනත් තොට යන්න මතක් කරනවා. දෙමළෙන් පාණ් කියා ගීතයට කියන බව කැලණිය විශ්වවිිද්‍යාලයේ මහාචාර්යවරයකුව සිටි ඩබ් එස් කරුණාතිලක මහතා සම්පාදනය කළ කරුණාතිලක දෙමළ සිංහල අකාරාදියෙහි සඳහන් වෙනවා. පාණ්තුරෙයි යන්න ගීතවත් තොට වෙන්න පුළුවන්.

 

දෙමළ ආභාසයක් පාණදුරේ ද තිබී තියෙනවා. පාණදුරේට එහායින් දකුණට ඇත්තේ නල්ලූරුව. පැහැදිලිව ම එය නල්ලූර් හෙවත් හොඳ ගම (නල්ල ඌර්) යන්නෙහි සිංහල ස්වරූපය. යම් කලක සමහරවිට දහතුන්වැනි සියවසේ පමණ කෝරමණ්ඩලයෙන් (ඇතැමුනට අනුව කුරු මණ්ඩලය) හරි වෙනත් දේශයකින් හරි පැමිණි පිරිසක් පාණදුරේ හා නල්ලූරුවේ පදිංචි වෙන්න ඇති. පාණ්තුරෙයි හා නල්ලුර් ඔවුන් ඒ ප්‍රදේශවලට දුන් නම් වෙන්න පුළුවන්.

 

එහෙත් ඒ පිරිස් අද වන විට සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙලා. කාලෝ ෆොන්සේකා වැන්නන්ට තමයි ඊනියා වර්ගය (race) වැදගත් වන්නේ. ඔවුන් ජානවාදීන්. එහෙත් මිනිසුන්ගේ වර්ගීකරණය සිදුවන්නේ ජාන මත නොව සංස්කෘතිය මත. මිනිසුන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙද්දී පාණ්තුරෙයි පාණදුරේ වෙලා නල්ලුර් නල්ලූරුව වෙලා. පාණදුරේ යන්න තවදුරටත් විකාශය වී අද පානදුර වෙලා. මා වැන්නන් පමණක් තවමත් පාණදුරේ කියනවා. පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා කියන්න ඕන අපේ පරම්පරාව දඹදෙණි යුගයේ පැමිණි ඨකුර්ගෙන් (ඉංගිරිසි උච්චාරණය අනුව තගෝර්. රබින්ද්‍රනාත් තගෝර් කියන්නෙ රබින්ද්‍රනාත් ඨකුර්ට ) පැවත එන අය බව. ඔවුනුත් අද සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙලා. අපේ පරම්පරාව දඹදෙණියෙන් කුරුණෑගලටත් එතැනින් කෝට්ටේටත් සංක්‍රමණය වී තියෙනවා. ඔවුන් අද සංකේන්ද්‍රීය වී ඇත්තේ මොරටුවේ. පාණදුරෙත් සුළු පිරිසක් ඉන්නවා.  

 

එහෙත් ඊයේ රැස්වීම වැදගත් වන්නේ සල්ගාදු පිටිය නිසා නො වෙයි.  එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කළ කතාව නිසා එය වැදගත් වෙනවා. එය වැදගත් වන්නේ එතුමා ගොවීන් ගැන කී දේ නිසාවත් වෙනත් කරුණු නිසාවත් නො වෙයි. මට කරුණුවලට වඩා ඊයේ වැදගත් වන්නේ ජනාධිපති කතා විලාශය. මා හිතන්නේ ඊයේ එතුමා කතා කෙළේ දේශපාලනඥයකු මෙන්. එය පළමු දේශපාලන කතාව වෙන්න පුළුවන.

 

මා පසුගිය ලිපි කිහිපයකින් අවධාරණය කෙළේ වර්තමානයෙහි මෙරට පාලනය කිරීමේ දී කිසිවකුට යාන්ත්‍රණය නැති බව. ඒ ඒ අය තම තමන්ට අවශ්‍ය කතා කියනවා. ප්‍රේමදාස පරිපාලන යාන්ත්‍රය මෙහෙය වූ ආකාරයට කිසිම විධායක ජනාධිපතිවරයකුට ඒ මෙහෙයවීමට නොහැකි වී තියෙනවා. ජනාධිපති වීමෙන් පසු ප්‍රේමදාස එසේ කෙළේ කොහොම ද යන්න ගැන අපට පිළිතුරක් තියෙනවා. ඔහු මොනවා කළත් බටහිරයන් ඔහුට ආධාර කළා. ඔහු ආරක්‍ෂා කළා. ඔහු ජ වි පෙ මර්දනය කළ ආකාරය මානව විරෝධී කියා බටහිරයන් කියන්නේ නැහැ. විජේවීර පණ පිටින් දවාලූ බවට ඔවුන් මතයක් ගෙන යන්නේ නැහැ. ප්‍රේමදාසට විරුද්ධ ව බටහිරයන් ජෙනීවා ගියේ නැහැ. එහෙත් රාජපක්‍ෂලා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම තවමත් ජෙනීවාහි සාකච්ඡාවලට භාජනය වෙනවා. ඒ තත්වය යටතේ බටහිරයන් හා ඉන්දියාව සිංහල බෞද්ධ ජාතිකත්වයට විරුද්ධ ව කටයුතු කරනවා. ඊනියා මානව අයිතිවාසිකම් දණ්ඩෙන් අපට පහර දෙනවා. බටහිරයන්ට ප්‍රේමදාස යුගයෙහි මානව හිමිකම් දණ්ඩ අමතක වෙන්න ඇති.

 

මේ ආණ්ඩුව මොන දුර්වලකම් තිබුණත් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන්නේ නැහැ. ඒ නිසා ම බටහිරයන් හා ඉන්දියාව ජනාධිපතිතුමා ආරක්‍ෂා කරන්නේ නැහැ. ඉන්දියාව කෙසේ වෙතත් බටහිරයන් ප්‍රේමදාස ආරක්‍ෂා කළා. ප්‍රභූ පවුලක නූපන් ප්‍රභූ අධ්‍යාපනයක් නොලැබූ ප්‍රේමදාස ලවා ජ වි පෙ මරදනය කිරීමට බටහිරයන් කටයුතු කළා. මා ජ වි පෙ ත්‍රස්තවාදය හොඳයි කියනවා නො වෙයිි. බටහිරයන්ට ජ වි පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමටත් කොටි ත්‍රස්තවාදය ආරක්‍ෂා කිරීමටත් අවශ්‍ය වුණා. ප්‍රේමදාස ආරක්‍ෂා කරමින් රාජපක්‍ෂලාට පහර  දෙන්න අවශ්‍ය වුණා. ජ වි පෙ විජේවීර වෙනුවෙන් ජෙනීවා යන්නෙ නැද්ද?  (මතු සම්බන්ධයි)