Main Logo

Friday 4 February 2022

නිදහස ගැන කාදිනල්තුමාට ප්‍රශ්නයක්

නිදහස ගැන කාදිනල්තුමාට ප්‍රශ්නයක්



අද නිදහස් දිනය. එය මෙරට එක ම හා නිල නිදහස් දිනයයි. අපට අවුරුදු හැත්තෑහතරකට පෙර අද වැනි දිනක ඩොමීනියන් තත්වයේ නිදහසක් ලැබුණා. එහෙත් අපේ රජු වූයේ හයවැනි ජෝර්ජ්. අපට ඔහුගෙන් හා ඔහුගේ දියණියගෙන් නිදහස් වීමට තවත් අවුරුදු විසිහතරක් ගියා. ඒ 1972 මැයි 22 වැනි දා. අප එදින සමරන්නේ නැති එක ගැන නම් මට ඇත්තේ කණාගාටුවක් මෙන් ම කළකිරීමක්. ජේ ආර් ඒ දිනය උපක්‍රමශීලී ව අමතක කළේ තම 1977 ව්‍යවස්ථාවෙන් පෙබරවාරි හතර ජාතික දිනය ලෙස නම් කිරීමෙන්. මා හිතන්නේ අපේ ජාතික දිනය විය යුත්තේ මැයි 22. පෙබරවාරි හතරත් සැමරුවාට වරදක් නැහැ. අපට නිිදහස ලැබීම පටන් ගත්තේ 1931 සර්වජන ඡන්දය ලැබීමත් සමග. ඉංගිරිසින් තමන් මෙරට බිහි කළ නායකයන් කෙරෙහි වූ විශ්වාසය නිසා ම අපට සර්වජන ඡන්දය දුන්නා. ඒ නිදහසත් 1948 නිදහසත් මෙරට ප්‍රභූන්ට සීමා වූ නිදහසක්. සාමාන්‍ය ජනයාට නිදහස ලැබෙන්න පටන් ගත්තේ 1956 දී. එයට මුල් වුණෙ ශ්‍රී ල නි පක්‍ෂය. ඒ නිදහසට අදත් බොහෝ දෙනා විරුද්ධයි. අද සිංහල බෞද්ධ විරෝධය වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඒ පනස්හයට දැක්වූ විරෝධයයි. එහි සරදම වන්නේ පනස්හය නිසා ම බිහි වු ඇතැම් පඬි නැට්ටන් ඒ නිිදහසට විරුද්ධ වීමයි.



පනස්හයේ නිදහස තවමත් සම්පූර්ණයෙන් ම ජනතාවට ලැබී නැහැ. එය දිනා ගැනීම අපේ කාර්යභාරය වෙනවා. එහෙත් එය ජාතිකත්ව පක්‍ෂයක නායකත්වයකින් මිස ලිබරල් හරි මාක්ස්වාදී හරි පක්‍ෂවල නායකත්වයකින් ලබා ගන්න බැහැ. සජිත් රනිල්දාස මෙන් ම චම්පකත් ඒ නායකත්වය සඳහා සුදුස්සන් නො වෙයි. ඒ කුමක් වුවත් අද නිදහස් උත්සවය ගාම්භීර ව පැවැත්වුණා. හමුදා පෙළපාලි නරඹන විට මට සිතට (ඔළුවට නොවෙයි. ඔළුවේ ඇති මනසක් නැහැ) ලෝකයේ අති භයානක ත්‍රස්තවාදයක් මුලිනුපුටා දැමුවේ මේ හමුදාව නො වේ ද යන්නයි. එපමණක් නොව ත්‍රස්තවාදයක් මුලිනුපුටා දැමීමට ලොවේ එතෙක් මෙතෙක් සමත් වූ හමුදාව මේ හමුදාවයි. හමුදාව ඒ සමත්කම දැක්වයේ ඊනියා යුද විශේෂඥයන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොකැකි බව කැට තියා ප්‍රකාශ කර තිබිය දී. එහෙත් අවාසනාවකට එකී රොහාන් ගුණරත්නලා වැන්නන් අද ආණ්ඩුවේ උපදේශකයන් වී තියෙනවා. ඊයේ අයි එස් නායකයා ඝාතනය කළ බව බයිඩන් දැනුම් දුන්නා. අයි එස් නායකයාගේ මානව අයිතිවාසිකම් ගැන කතා නොකරන පඬි නැට්ටන්ට ප්‍රභාකරන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කිරීමට මෙරට නිදහස තිබෙනවා. ඒ නිිදහස බටහිර සම්ප්‍රදායකින් ලැබුණක් නො වෙයි. එ තමයි සිංහල සම්ප්‍රදාය.



කාදිනල්තුමා රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරලා. එතුමා ඒ බව නොකියන්න එය කිසිවකුට නොදැනෙන්න ඇති. එතුමා අද පොලිස්පති නීතිපති පමණක් නොව විනිසුරු පදවි ද දරණවා ද කියා අහන්න වෙනවා. අපට එතුමාගෙන් තමයි අහන්න වෙලා තියෙන් අහවල් අහවල් වරදට වැරදිකරුවන් කවුරුන් ද කියා. එහෙත් ජනමාධ්‍ය අපේ අදහස්වලට ප්‍රචාරය දෙන්නේ නැහැ. අප කිහිප දෙනකු එක් වී කාදිනල්තුමාගේ ප්‍රකාශ ගැන මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. ජනමාධ්‍ය ඒ මාධ්‍ය සාකච්ඡාවට එතරම් ප්‍රචාරයක් දුන්නේ නැහැ. දෙරණ ඒ ප්‍රචාරය කෙළේ මගේ කතාව සම්පූර්ණයෙන් ම කපා දැමීමෙන්. දෙරණට අරුණට අනුව මා වැදගත් දෙයක් කියන්නේ නැහැ. ඔවුන් ජාත්‍යන්තර ගණයේ විද්‍යාත්මක මාධ්‍යවේදීන්. මා දන්නා විද්‍යාවක් නැහැ.



ඒ කොයිහැටි වුවත් කාදිනල්තුමාගෙන් හා අනෙක් අයගෙන් අහන්න මට ප්‍රශ්නයක් තියෙනවා. අද අප නිදහස දිනාගත් දිනය නම් අපට නිදහස නැති වුණේ කවදා ද? 1815 මාර්තු දෙවැනි දා කියන්න පුළුවන්. ඒත් අපට නිදහස නැතිවෙන්න පටන් ගත්තේ කවදා ද? කතෝලික පෘතුගීසීන් මෙරටට පැමිණි දා ද? සිංහලයන්ට පළමුවෙන් ම නිදහස නැති කෙළේ කතෝලික පෘතුගීසීන් ද? ඊට ටික කලකට පෙර මෙරටට පැමිණ සිටි මුස්ලිමුන් වෙනත් රටවල කෙසේ වෙතත් මෙරට සිංහලයන්ට නිදහස නැති කිරීමට මුල දී කටයුතු කෙළේ නැහැ. පසු කලෙක නම් ඉංගිරිසින් ඔවුන් යොදා ගත්තා.



කතෝලික පෘතුගීසීන්ගෙන් පසුව රෙපරමාදු ලන්දේසින් (අද නෙදර්ලන්ත උපාධි කම්හලේ නායකත්වයෙන් තවදුරටත් කෙරෙන) ඇංග්ලිකන් ක්‍රිස්තියානි ඉංගිරිසින් සිංහලයන්ට නිදහස අහිමි කිරීම දිගට ම කරගෙන ගියා අදත් කරනවා. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන උපාධි කම්හල් ඒ සඳහා යොදා ගන්නා මෙවලම් පමණයි. අපට බටහිර දැනුමෙන් නිදහස් වීමට තව සෑහෙන කාලයක් ගතවේවි. ඒ ඊනියා සමාජයීය විද්‍යාවන්හි මහිමය නිසා නො වෙයි. ඒ ඊනියා සමාජයීය විද්‍යා බංකොළොත් දැනුම් පද්ධති පමණයි. බටහිර දැනුම ඒ සමාජයීය විද්‍යාවන් මගිනුත් අපට පටවන්නේ බටහිර තාක්‍ෂණයේ බල මහිමයෙන්. අද බටහිර විද්‍යාව කඩා වැටිලා. බටහිර තාක්‍ෂණය පමණක් තවමත් නව නිපැයුම් ලොවට දෙනවා. අලි හෙම්බිරිස්සාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේ හා මෙරට මහජන උපයෝගිතා කමිටුව කියන දේ අතර එතරම් වෙනසක් නැහැ. තමන් කියන්නේ මොකක් ද කියා ඒ දෙගොල්ලන් ම දන්නේ නැහැ. මනස ඇත්තේ කොහේ ද යනුවෙන් මා ඇසූ ප්‍රශ්නයට තබා ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට ද යන සුළු ප්‍රශ්නයටවත් කිසිවකුගෙන්වත් පිළිතුරක් නැහැ. නාථ දෙවියන් ගැන පඬි කතා කීමට පෙර මා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.



බටහිර ගණිතය ස්වසිද්ධි මත පදනම් වෙන්නෙ. ඒ ස්වසිද්ධිවල ඊනියා නිරවද්‍යතාව ගැන කවුරුන්වත් අහන්නෙ නැහැ. ඒ උපකල්පන පමණයි. බටහිර යුක්ලීඩිය ජ්‍යාමිතිය පදනම් වන්නෙ ඊනියා දාර්ශනිකයන් කියන අන්දමට ත්‍රිකෝණ හරි වෙනත් බහුඅස්‍ර හරි මත නොවෙයි. ත්‍රිකෝණත් ඇතුළු යුක්ලීඩිය ජ්‍යමාතිය පදනම් වන්නේ වෙනත් ස්වසිද්ධි මත. එ ස්වසිද්ධිවලින් ඉතා ම ප්‍රසිද්ධ එක අර සමාන්තර අක්‍ෂ ස්වසිද්ධිය. ඒ ස්වසිද්ධිය වෙනස් කළොත් නිර්යුක්ලීඩිය ජ්‍යාමිති ලබා ගන්න පුළුවන්. අයින්ස්ටයින්ගෙ සාධාරණ සාපේක්‍ෂතාවාදය පදනම් වන්නෙ එවැනි නිර්යුක්ලීඩිය ජ්‍යාමිතියක් මත. එහි ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 නො වෙයි.



බටහිර සෑම දැනුමකට ම මුලක් තියෙනවා. බටහිර දර්ශනයටත් තියෙනවා. මහා පොළොවේ යථාර්ථයක් ගැන පඬි නැට්ටන් කියවනවා. දර්ශනයේ පදනම පොළොව ද? පොළොව කියන්නෙ මොකක් ද? එය සංකල්පයක් නො වෙයි ද? එහි පදනම කුමක් ද? බටහිර දැනුම ඇරිස්ගේ දැනුම මේ සියල්ලට මුලක් තියෙනවා. ඒ මුල අර්ථදැක්වෙන්නෙ නැහැ. එහෙමත් නැත්නම් නිර්වචනය කෙරෙන්නෙ නැහැ. ඒක අර පුද්ගලයා මූලධර්ම මගින් නිර්වචනය කෙරෙනවා කියන බහුබූත කතාවට තරමක් වෙනස්. යුක්ලීඩිය ජ්‍යාමිතියේ ලක්‍ෂ්‍යය නිර්වචනය කරන හැටි දන්නවා ද? ලක්‍ෂ්‍යයක් කියන්නෙ නිර්වචනය නොකරන ලද භූතාර්ථයක් (entity). පොළොව නිර්වචනය නොකරන ලද්දක් ද?



බටහිර දැනුමට රේඛීය චින්තනයෙන් හා නිර්වචනය නොකරන ලද භූතාර්ථවලින් ගැලවෙන්න බැහැ. දෙවියන් වහන්සේ තමයි පළමු සංකල්පය. එය නිර්වචනය කරන්න බැහැ. කාදිනල්තුමා නිතර අහන්නෙ මහා මොළකරු කවුද කියලා. එතුමාටත් ඕන මුල දැන ගන්න. ඒත් දෙමළ ත්‍රස්තවාදයෙ මුල ගැන එතුමා ඇහුවෙ නැහැ. ඇතැම් කතෝලික පූජකවරුන් දෙමළ ත්‍රස්තවාදයට උදවු කිරීම ගැන එතමා විනිශ්චයක් දුන්නේ නැහැ.  අපට එච්චර මුලක් ඕන නැහැ. සිංහලයන්ට නිදහස නැති වෙන්න පටන් ගත්තෙ කොහොම ද කියල දැන ගන්න පුළුවන් නම් ඒ ඇති. බටහිර දාර්ශනිකයන්ට පොළොව නිර්වචනය කරන්න බැහැ. බටහිර ගණිතයෙ ලක්‍ෂ්‍යය නිර්වචනය කරන්න බැහැ. යම් සංකල්පයක් නිර්වචනය කරන්න වෙන්නෙ තවත් සංකල්පවලින්. එතකොට එ සංකල්ප. බටහිර දැනුම කියන්නෙ වැලි ගොඩක් මත නිර්මාණය වූ වැලි මාළිගාවක්. එය සමහර වෙලාවට වැඩ කරනවා. එච්චරයි. ඒකට කමක් නැහැ. කාදිනල්තුමා රාජ්‍ය නිදහස් උත්සවයට සහභාගි නොවූයේ අපට නිදහස නැති වෙන්න පටන් ගත්තෙ කොහොමද කියල දන්න නිසාවත් ද?



පොඩි කරුණක්. මේ ලිපි පළවෙන්නෙ අප මිලට ගන්නා වෙබ් අඩවියක. එයට අමතරව සකර්බර්ග්ගෙ පිටුවකත් පළවෙනවා. මා මේ ලිපි පනස් දෙනකුට පමණ දිනපතා හරි විටින් විට හරි යවනවා. එය ඔවුන්ගේ නිදහසට බාධාවක් කියා මට මේ නිදහස් දිනයේ හිතුනා. මින්මතු එ අයට ලිපි එවන්නේ නැහැ. අවශ්‍ය නම් සකර්බර්ග් පිටුවට හරි කාලය වෙබ් අඩවියට හරි යන්න පුළුවන්.

p