Main Logo

Tuesday 15 February 2022

ආණ්ඩුව බය ඇයි?

 

ආණ්ඩුව බය ඇයි?

 

අපි කාට ද බය අපිට කවුද බය කියා කතාවක් තියෙනවා. මා නම් හිතන්නේ ආණ්ඩුව හැමෝට ම බයයි. ආණ්ඩුවට කිසිවකු බය නැහැ කියා. එය පුදුමයක් නො වෙයි. මේ ජෙනීවා සෘතුවයි. කොහොමටත් බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුවට වට්ටන්න බලන් ඉන්නෙ. අප චීනය තරහ කර ගත්තා. අප රුසියාවෙන් හා යුක්‍රේනයෙන් බලාපොරොත්තු වන්නේ සංචාරකයන් පමණ ද? අපට එක්සත් ජාතීන්ගේ විවිධ මණ්ඩලවල පිහිටට හිටියේ රුසියාව හා චීනයයි. අප දැන් ඒ රටවල් අත්හැරදාල ද? රවි කුමුදේශ්ලාට මෙතරම් බලයක් ලැබෙන්නේ බටහිර ඊනියා මානව අයිතිවාසිකම් කතා මගින් පතුරවන ආධිපත්‍යය නිසා. උපුල් රෝහණලා සමන් රත්නප්‍රියලා සහාය දැක්වූ ආණ්ඩුවල ජේ ආර් හා ප්‍රේමදාස වෘත්තීය සමිතිවලට කිසිම ඉඩක් දුන්නේ නැහැ. ජූලි වැඩ වර්ජකයන් ගැන දැන් කාටත් අමතකයි. වික්‍රමබාහුටත් අමතකයි. ඔහු රනිල් සමග එකතු වෙලා මේ ආණ්ඩුවට විරුද්ධ ව. බටහිරයන් ජේ ආර්ට විරුද්ධ ව කළේ කුමක් ද? ඉන්දියාව වෙල්ලාලයන් හා දෙමළ ත්‍රස්තවාදීන් වෙනුවෙන් ජේ ආර් බය කරන තෙක් ඔහු කිසිවකුට බය වුණේ නැහැ.

 

බටහිර පාලකයන් කරන්නේ අමු බොරුවක්. එය පට්ටපල් බොරුවක් නො වෙයි. පට්ටපල් බොරු ගොතන්නේ බටහිර බුද්ධිමතුන්. බටහිර පාලකයන්ට ඊනියා මානව අයිතිවාසිකම් කියා දෙයක් නැහැ. ඔවුන් මානව අයිතිවාසිකම් යොදා ගන්නේ ඔවුන් අකමැති බොහෝ විට එ ඒ රටවල යම් ජාතිකත්වයක් ඇති ආණ්ඩුවලට විරුද්ධ ව පමණයි. ලෝකයේ වැඩියෙන් ම ඊනියා මානව අයිතිවාසිකම් කඩා ඇත්තේ බටහිර රටවල්. ඔවුන්ගේ කාටත් පේන මානව අයිතිවාසිකම්වලට අමතර ව සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයක් තියෙනවා. අනෙක් රටවල සංස්කෘතීන්ට හා දැනුම්වලට ඔවුන් තොල් මැතිරීමෙන් පමණක් සහය දෙනවා. ඔවුන්ගේ බසින් නම් ලිප් සර්විස්. නැහැ ගෑස් ලිප් සඳහා නොවෙයි. ඔවුන්ගේ සහාය තොල්වලින් පමණයි.

 

අද මෙරට වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ ජාතිකත්වය සම්පූර්ණයෙන් නැති කිරීමට. අප හැමදාමත් නොරොච්චෝලේ කරච්චලේ අහන් ඉන්නවා. මේ විදුලි බලාගාර මෙහෙම කැඩෙන්නේ මොක ද? විවිධ මාෆියා විවිධ තැන්වල ක්‍රියාත්මක වෙනවා. අද ඊනියා වෘත්තීය සමිති අරගල ආණ්ඩුව වැට්ටවීම සඳහා යි. සමහර විට පාදෙණියට සෞඛ්‍ය ලේකම්කම දුන්න නම් මේ ප්‍රශ්න නැති වෙන්න තිබුණා. බටහිර වෙද මහතුන් අනුගමනය කර ගුරුවරුන්  වර්ජනය කළා. ඒ අවුරුදු විසිපහක් පමණ පැරණි ප්‍රශ්නයක් හදිසියේ මතක් වෙලා. යහපාලන කාලෙ ගුරුවරුන්ට  ප්‍රශ්න තියෙන්න නැතිව ඇති. අර අවුරුදු විසිපහට යහපාලන කාලය අයත් නැතුව ඇති. ගුරුවරුන්ගෙන් පසු සෞඛ්‍ය සේවය වැඩට බැහැලා. ඒ කිවුවෙ වැඩ කරනවා කියන එක නො වෙයි. ආණ්ඩුව පෙරළීමේ වැඩේට බැහැල.

 

ගුරුවැන්ගේ පඩි වැඩි කළ නිසා සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය ද වැඩි පඩි ඉල්ලනවා. මා කලිනුත් කියා ඇති ඒ ඒ ක්‍ෂෙත්‍රවල උපාධියේ වටිනාකම ඇගයෙන්නෙ ඒ ඒ ආකාරයට. උපාධියට පොදු වැටුපක් කියා එකක් නැහැ. වැඩ වර්ජකයන්ට මා කියන දේ තේරෙන්නෙ නැතිවේවි. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ උපාධිධාරීන් කී දෙනකුට ගැරුවරුන් ලෙස සේවය කරන්න පුළුවන් ද? අනෙක් පැත්තට ගුරු උපාධිධාරීන්ට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ කළ හැක්කේ කුමක් ද? ආණ්ඩුව පෙරළිමට කරන වැඩ වර්ජන රැල්ල නැවැත්වීමට පියවර ගන්න ආණ්ඩුවට බැහැ. ඊනියා මානව අයිතිවාසිකම් දණ්ඩට ආණ්ඩුව බයයි. බටහිරයන්ට හා ඉන්දියාවට ආණ්ඩුව බයයි. බටහිරයන් ජේ ආර්ටවත් ප්‍රේමදාසටවත් විරුද්ධ ව මානව අයිතිවාසිකම් දණ්ඩ එසෙවුවෙ නැහැ.

 

මට මේ ගැන පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. අසූවේ දශකයේ අග මට ජ වි පෙන් මෙන් ම ආණ්ඩුවෙන් ද තර්ජන තිබුණා. රන්ජන් විජේරත්න මා දඩයම් කීරීමට තීරණයක් ගත්තා. ඒ කුප්‍රසිද්ධ තඩියකුත් සහභාගි වූ රැස්වීමක දී. ඒ පිළිබඳ මට තොරතුරු ලබා දුන්නේ හමුදාවේ අයකු. ජ වි පෙ ආධාරකරුවන් ද මා ඝාතනය කරන බවට තරජනය කළා. මගේ ගුරුවරයා වූ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බිල් මැක්‍රේ මට රාජකීය සංගමයේ (Royal Society) අධිශිෂ්‍යත්වයක් ලබා දී තිබුණා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ වසරක් ගත කිරීමට. මා එහි යෑම මග හරිමින් සිටියෙ. ඒත් ආණ්ඩුවේ හා ජ වි පෙරමුණේ තර්ජන හමුවේ මා තීරණය කළා අධිශිෂ්‍යත්වය ලබා ගැනීමට. ඒ අනුව මාත් භාර්යාවත් පුතාල දෙන්නත් බ්‍රයිටන් ගියා. ඒ කාලෙ දි නම් පුතාලා එහෙ පාසල්වලට ගියා. ඒත් විශ්වවිද්‍යාලෙකට යන්න වයස මදි වුණා. ලොකු පුතාටත් වයස අවුරුදු දහතහරක් පමණ යි. කොහොමටත් උපාධියක් අවුරුද්දකින් නිම කරන්න බැහැ. අපරාදෙ! මේ තොරතුරු මාධව මඩවලට ලක්සිරි වික්‍රමගේට හා ඩිල්කා සමන්මලීට වැදගත් වේවි.

 

ඔය කාලෙ තමයි ත්‍රීමාවිතාරණ ඝාතනය කෙරුණෙ. ඔහු එකල කොළඹ වෛද්‍ය පීඨයෙ සිසුවෙක්. මා ඔහු හැඳින හිටියෙ නැහැ. එහෙත් වෛද්‍ය පීඨයෙ වෙනුර කොල්ලුරේ ආදීන් මට හමුවෙලා තිබුණා. ඔවුන් අද මන්ත්‍රීවරුන් වන ගෙවිඳුගේ හා පැස්කුවල්ගෙ මිතුරන් ව හිටියා. ත්‍රීමාවිතාරණ ඝාතනය රටේ ලොකු කැලඹීමක් ඇති කළා. මාත් එයින් කම්පනයට පත් වුණා. ඒ සම්බන්ධයෙන් මා එංගලන්තයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් මුණ ගැහුණා. ඒත් ඔහුට කළ හැකි දෙයක් තිබුණෙ නැහැ. පසුව මා ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයේ (Amnesty International) ලන්ඩන් කාර්යාලයට ගොස් එහි ලංකාච භාරව ක්‍රියා කළ නිලධාරිනිය හමු වුණා.

 

ඇය සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ සමාජයීය විද්‍යා ඉගැන්වූ අයකුගේ භාර්යාව. ඔවුන් පදිංචි වී සිටියේ ලන්ඩනයෙන් දකුණේ පිහිටි රිච්මන්ඩ් පෙදෙසේ දුම්රියපොළ අසල නිවසක. ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයට ඒ නම ලැබුණෙ මේ පෙදෙස නිසා බවට ජනකතාවක් (ජනප්‍රවාදයක්) තියෙනවා. ඒ කුමක් වුණත් මා රිච්මන්ඩ්හි පිහිටි ඔවුන්ගෙ නිවසටත් ගොස් එ ජා ප ආණ්ඩුවේ මර්දනය ගැන කතා කළා.

 

ඒත් ඔවුන් ප්‍රශ්නය අතට ගත්තෙ නැහැ. ඉතා පැහැදිලි ව ක්‍ෂමා ආයතනය කෙළේ එ ජා ප ආණ්ඩුවට විරුද්ධ ව තොල් මැතිරීමක් පමණයි. මේ පිළිබඳ ව මා එකල විවෘත විශ්වවිද්‍යාලයේ මා මිත්‍ර අර්ජුන සොයිසාට ලිපි මගින් දැන්වූවා. එකල සකර්බර්ග් නැහැ. විද්‍යුත් ලිපිත් නැහැ. ජාත්‍යන්තර දුරකතන පණිවුඩ ලබා ගැනීමත් දුෂ්කරයි. මේ වන තුරු මේ කතාව දැන සිටියේ තුන් හතර දෙනකු පමණයි. මහින්ද රාජපක්‍ෂලා මට මතක හැටියට ජෙනීවා ගියා. ප්‍රින්ස් ගුණසේකර තමන්ට පුළුවන් දේ කළා. එහෙත් බටහිරයන් තොල් මැතුරුවා මිස කට ඇරියේ නැහැ.

 

මට එකල තේරුණා බටහිර මානව අයිතිවාසිකම්වල අමු බොරුව. බටහිරයන්ට ජේ ආර් ප්‍රේමදාස ආණ්ඩු යහපත්. එසේ යහපත් වන්නේ ඒ ආණ්ඩු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ සුවච මෙහෙකරුවන් නිසා. කිසිම ජාතිකත්වයක් නැති නිසා. යම් ජාතිකත්වයක් ඇති ආණ්ඩුවල  විරුද්ධ ව ඔවුන් මානව අයිතිවාසිකම් දණ්ඩ ඔසවනවා. සමන් රත්නප්‍රියලා රවි කුමුදේශ්ලා උපුල් රෝහණලා ජොසෆ් ස්ටැලින්ලා මහින්ද ජයසිංහලා ඒ දණ්ඩට මුවා වෙනවා. කාදිනල් තුමාට පඬි නැට්ටන්ට හා විවිධ මාෆියාවලටත් ඇත්තේ ඒ දණ්ඩේ ආරක්‍ෂාවයි.