Main Logo

Wednesday 16 February 2022

අශූචි ජනමාධ්‍ය

 

අශූචි ජනමාධ්‍ය

 

චමුදිතගෙ නිවසට අශූචි පහරක් එල්ල කරල. එය අශූචි වැඩක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. සර්වතොභද්‍ර වේෂයක් දරණ  ඩලස් අලහප්පෙරුම අශූචි ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැකලා. ඩලසුත් ජනමාධ්‍යවේදියෙක්. ඔහු පළමුවෙන් ම වැඩ කෙළෙ ලක්මිණ පුවත්පතේ. ඒ අවුරුදු තිහකට පමණ පෙර. ලක්මිණ අයිතිකරු වූයේ තිලක් කරුණාරත්න. බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ හා මා උපදේශකවරුන් වුණා. ගෙවිඳු කුමාරතුංගත් විශාල වැඩ කොටසක් කළා. ඔහු එකල ශිෂ්‍යයෙක්.  එහි කතුවරයා ලෙස පත්කෙරුණේ සුනිල් මාධව. එහෙත් තීරණය පරිදි කතුවැකි ලිවුවේ මා. ඒ පුවත්පතට විමල් වීරවංශත් චම්පක රණවකත් වෙනත් නම්වලින් ලිවුවා. ජනරංජන එහි කාටුන් චිත්‍ර ශිල්පියා වුණා.

 

ඩලස් ඉතා කැමතියි තම මාධ්‍යවේදී ඉතිහාසය ගැන කියන්න. එහෙත් ඔහු ලක්මිණ ගැන වැඩි යමක් කියන්නේ නැහැ. මා ලියූ කතුවැකිවලින් දෙමළ ත්‍රස්තවාදයට එරෙහි ව හමුදා මෙහෙයුම් ශක්තිමත් කළ යුතු ය යන්න අවධාරණය කෙරුණා. එහෙත් ඉහත නම් සඳහන් නාලක හිමියන් හා ගෙවිඳු හැර අනෙක් අය එයට විරුද්ධ වුණා. විමල් එකල ජ වි පෙ සාමාජිකයෙක්. චම්පකලා ඊනියා යුද්ධයට විරුද්ධ ව පෝස්ටර ගැසුවා. සුනිල් මාධවත් ජ වි පෙ හිතවතෙක් වුණා. ඒ සියලු දෙනා එකතු වී මා කතුවැකි නොලිය යුතු බවට තිලක්ට පැමිණිළි කළා. නාලක හිමියනුත් මාත් ගෙවිඳුත් පුවත්පතෙන් ඉවත් කෙරුණා. සති දෙකකින් පුවත්පත කඩා වැටුණා.

 

මා චමුදිත දන්නේ ඔහු ටී එන් එල් නාළිකාවේත් වැඩ කරන කාලයේ ඉඳන්. එකල ඔහු බසයෙන් ගමන් කෙළේ. ඔහු අර සුවාදීනයන් කියන මගේ ජපන් මෝටර් රියෙන් නාළිකාවේ සිට බොරලැස්ගමුවට ඇවිත් තියෙනවා. මට දැන් මෝටර් රථයක් නැහැ. චමුදිතට දැන් මෝටර් රථයක් තියෙනවා. ඔහු මාධ්‍යකරුවන් කියන අන්දමට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහුගේ නිවසට අශූචි ගහපු එක වැරදියි. එමෙන් ම ඔහුගේ මාධ්‍ය භාවිතයත් වැරදියි. පහුගිය දිනෙක ඔහු මට තම සාකච්ඡාවකට සහභාගි වෙන ලෙස ආරාධනය කළා. මා එය ප්‍රතික්‍ෂෙප කළා.

 

මා ජනමාධ්‍ය සමග අවුරුදු හතළිහක් පමණ සම්බන්ධකම් පවත්වල තියෙනවා. ඒත් දැන් නම් එහෙම සම්බන්ධයක් නැහැ. සමස්තයක් ලෙස ගත්තම  අදත් හැමදාමත් මෙරට තියෙන්නෙ තිබුණෙ අශූචි ජනමාධ්‍යයක්. මා ප්‍රතිපත්තියක් ලෙස හිරු හා සිරස සමග වැඩසටහන්වලට සහභාගි වෙලා නැහැ. මා දන්නා ජනමාධ්‍යවේදීන් අතරින් ජාතිකත්වයක් තිබුණේ ඉතා ටික දෙනකුට පමණයි. ඉන් එඩමන්ඩ් රණසිංහ ප්‍රධානියා. ඔහු තරම් ජාතිකත්වය වෙනුවෙන් ජනමාධ්‍ය මෙහෙයවූවෙක් නැහැ. ඔහු සියරට පුවත්පතේත් කතුවරයා වෙලා හිටියා. එහෙත් ඔහු ජේ ආර්ගෙ ජාතිද්‍රෝහි ප්‍රතිපත්තියට විරුද්ධ වුණා.

 

මෙරට ජනමාධ්‍ය එදා ධර්මපාලතුමාට තදින් පහර දුන්නා. ඒ ඩී ආර් විජේවර්ධනගේ ලේක්හවුසියෙන්. මෙරට පුදුම රටක්. සිංහල බෞද්ධයන් ධර්මපාලතුමාට මෙන් ම ඩී ආර් විජේවර්ධනටත් සලකනවා. ඊනියා වාමාංශිකයන් විජේවර්ධනගේ ලේක්හවුසියෙ සේවය කළා. මාර්ටින් වික්‍රමසිංහ ලේක්හවුසියෙන් අස්වුණෙ විජේවර්ධනට විරුද්ධ ව නො වෙයි. වික්‍රමසිංහට තම පොත් ව්‍යාපාරයට සම්පූර්ණ කාලය යොදවන්න අවශ්‍ය වුණා.

 

ලේක්හවුසියෙ ජාතික විරෝධී අශූචි ජනමාධ්‍ය ප්‍රතිපත්තිය අදත් හැම මාධ්‍ය ජාලයක ම වගේ ක්‍රියාත්මක වෙනවා. ජාතිකත්වයට අද ප්‍රධාන ජනමාධ්‍යයේ ඉඩක් නැහැ. ඉඩක් දෙන බව පෙන්නන්න නම් හදනවා. අලි හෙම්බිරිස්සාව ගැන පාරම්පරික වෙදමහතුනට තබා ආයුර්වේද වෙදමහතුන්ටවත් තැනක් දෙනවා ද? සමහරවිට ධම්මික වෙදමහතාගේ සොහොයුරා මිය ගිය බව නම් තලු මර මරා ප්‍රචාරය කරාවි. මට තේරෙන විධියට සොහොයුරාට අලි හෙම්බිරිස්සාව තිබුණත් ඔහු මිය ගිහින් තියෙන්නෙ වෙනත් රෝග නිසා. එන්නත් ගත් අය අලි හෙම්බිරිස්සාව නිසා ම පෙනහළු ආබාධවලින් මිය ගිහින් නැත් ද?

 

අශූචි ජනමාධ්‍ය බටහිර විද්‍යාවට බයයි. පොදුවේ ගත් කල බටහිර දැනුමට බයයි. ඔවුන් හිතන්නෙ මා මිථ්‍යා මතධාරියකු මෝඩයකු ඉක්මනින් කේන්ති යන පුද්ගලයකු වංචනිකයකු කියා. ආසනික් පිළිබඳ කතාව කී පසු මෙරට ජනමාධ්‍ය මට හඹාගොස් පහර දුන්නා. මා වංචනිකයකු හොරකු කියන දේ නොකරන පුද්ගලයකු බවට ඔවුන් මතයක් ගෙන ගියා. මගේ දරුවන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා බවට මතයක් ඇති කරන්න උත්සාහ ගත්තා. මා කියන්නේ බොරු බවත් මා ඇත්තක් කිවුවොත් එය වෙනත් අයකුගේ බවත් ජනමාධ්‍යයෙන් ප්‍රචාරය කරන්නට උත්සාහ ගැණුනා.

 

මා ඒ උදාහරණ දුන්නේ මා ගැන වුවත් පොදුවේ මෙරට අශූචි ජනමාධ්‍ය ක්‍රියාකරන්නේ ජාතිකත්වයට විරුද්ධ ව. ඔවුන් අද පොහොය දා බෞද්ධ වැඩ සටහන් ප්‍රචාරය කරාවි. එහෙත් හෙට ඉඳන් නැවත ජාතික විරෝධී ප්‍රතිපත්තිවලට අනුගත වේවි. කාබනික පොහොර ප්‍රශ්නයේ දී ජනමාධ්‍ය (හා ඊනියා උගතුන්) වැඩ කෙළේ බටහිර පොහොර සමාගම් වෙනුවෙන්.  අශූචි ජනමාධ්‍ය මගින් චීන පොහොර නැව අශූචි පොහොර නැවක් බවට පත් කෙරුණා.  ඒ සියල්ලන්ට ම වඩා අප චීනය සමග තරහ කෙරෙවුවා. අද අප ඉන්දියාවේ හිරකාරයෙක් වෙලා තියෙන්නෙ වෙනත් දේ අතර අශූචි ජනමාධ්‍යයත් නිසා. මෝදි ලංකාවට එන්නෙ පලාලෙ ගුවන් තොටුපොළෙන් කියනවා. ඔහු වෙන කොහෙන් එන්න ද? 

 

අශූචි ජනමාධ්‍ය මුළුමනින් ම නැතත් මා ප්‍රතික්‍ෂෙප  කරනවා. ඒ ගැන මට ඇත්තෙ සතුටක්.