Main Logo

Thursday 11 August 2022

පරංගි පරගලය හා සිංහල බෞද්ධයා

 

පරංගි පරගලය හා සිංහල බෞද්ධයා 

 

පරංගි පරගලය අවසන් වූයේ සිංහල බෞද්ධයන් පසුබැමකට ලක් කරමින්. එයින් අදහස් කරන්නේ සිංහල ජාතිකත්වය පරාජය වී ඇති බවක් නො වෙයි. සෙප්පන් කියන බොරු සිංහ කතා පැත්තකට දමමු. ඔවුන්ට අනුව පරගලය තවමත් අවසන් වී නැහැ. අන්තරේ ආතල්ගමින් ගියාට ඕන වෙලාවක ඕන ගොඩනැගිල්ලක් අත්කර ගන්නවලු. ඔවුන්ට සමහර විට ජෙප්පන්ගෙ කර්යාලය අත්පත් කරගන්න පුළුවන් වේවි. ඒ පුහු කතා අමතක කළ විට ඉතිරි වී ඇත්තේ කුමක් ද?

 

අද ගෝඨාභය තැනින් තැන යන්නකු බවට පත් වෙලා. ඔහුට රටක් නැද්ද? බටහිරයන් හා ඉන්දියාව ඔහුට විරුද්ධ ව යුද අපරාධ චෝදනාත් ගෙන ඒමට ඉඩ තියෙනවා. ඔහු තැනින් තැන යන්නේ මොන වරදක් කළාට ද? ඔහු කළ හොරකම් මොනවා ද? ඔහු කොමිස් ගත් බවට චෝදනා තියෙනවා ද? මහින්දට රටින් පිටව යන්න බැහැ. මා හිතන්නෙ නැහැ ඔහුට රටින් පිට ව යාමට අවශ්‍ය කියා. එහෙත් ඔහුගේ නිදහස සීමා වී තියෙනවා. ඒ අතර බැසිල් කිසි ප්‍රශ්නයක් නැතිව දේශපාලනයේ යෙදෙනවා. මා ඔහුගේ නිදහස සීමා කරන්න කියනවා නො වෙයි. ඔහුට ඇති නිදහස මහින්දටත් ගෝඨාභයටත් නැහැ.

 

බැසිල් ගෙදර යනු කියන සටන් පාඨය කිසි විටෙකත් ඉදිරිපත් වුණේ නැහැ. වැඩිම වුණොත් අර කපුටු කතාව කියන්න ඇති. ඔහුට රටින් පිට ව යෑමට ඉඩ නොදී ඇත්තේ ගුවන් තොටුපොළේ වැඩ කළ නිලධාරීන් පිරිසක්. ඔහු තවමත් ද්විත්ව රටවැසියෙක්. එහෙත් ගෝඨාභයට බටහිර රටකට හරි ඉන්දියාවට හරි යෑමට වීසා ලබා ගන්න බැහැ. ඔහු අග්නිදග ආසියාවට කොටු වෙලා. තායිලන්තය වුණත් ඔහුට වැඩි කලක් ඉන්න දේවිය කියා හිතන්න බැහැ. තායිලන්තයට බටහිර බලපෑම වැඩියි. රනිල් කියනවා ගෝඨාභයට දැම්ම ලංකාවට එන්න බැහැ කියල.

 

අද මෙරට ජනාධිපති රනිල්. නිමල් සිරිපාලට නම් ඔහු යුග පුරුෂයෙක්. යුග පුරුෂයා යන්නෙහි අර්ථදැක්වීම, නිර්වචනය මොකක් ද කියා නිමල්ගෙන් අහන්න ඕන. රනිල් පිටරට ඉන්න දෙමළ කතා කරන ජනයාගේ ආධාර ගෙන රට දියුණු කරන්න යනවා කියනවා. පිටරට ඉන්න දෙමළ කතා කරන ජනයාට ඔය තරම් මුදලක් ලැබුණේ කොහොම ද? ඔවුන් එංගලන්තය දුන් ධනය යොදා ගෙන විවිධ වෙළඳාම් කළා ද? රනිල් ඒ වෙළඳාම් අනුමත කරනවා ද? ඒ කෙසේ නමුත් ඔවුන් ආධාර කරන්නේ කොන්දේසි විරහිතව ද? අද ඩේලි නිවුස් පත්තරේට අනුව රනිල් සුළු ජන පක්‍ෂවලට පොරොන්දු වෙලා ඔවුන්ට සාධාරණ ආණ්ඩු කිරීමේ ව්‍යුහයක් සපයන බවට. දි අයිලන්ඩ් පත්තරේට අනුව විග්නේස්වරන් කියනවා රනිල් තම ඉල්ලීම් සියල්ල පිළිගත්තා කියා.

 

අප රණවිරුවන් මහින්දගේ දේශපාලන නායකත්වය හා ගෝඨාභයගේ සැලසුම්කරණ යටතේ ලබාගත් නන්දිකඩාල් ජයග්‍රහණයට කන කොකා හඬලන්නේ මහනුවර ඇසළ පෙරහරේ  රන්දෝලි පෙරහැර පවත්වන විට. අද බලපිටිය රත්ගම පෙදෙස්වල ජොරා මැරීම නමින් හැඳින්වෙන උත්සවය පැවැත්වෙනවා. බටහිරයන් හා ඉන්දියාව මරන්නේ කවුරුන් ද? බටහිරයන් හා ඉන්දියාව නන්දිකඩාල් ජයග්‍රහණයේ නියමුවන් දේශපාලනයෙන් ඉවත් කර ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කිරීමට කිලිනොච්චි ගිය රනිල් ජනාධිපති කරල.

 

සෙප්පන් හා පුහු වීරයන් බටහිරයන්ගේ අතකොළු වුණා විතරයි. බටහිරයන් නන්දිකඩාල් පරාජයේ පළිය ගැනීමේ මූලික අඩිතාලම සකස් කරගෙන. රාජපක්‍ෂලා අතරින් බැසිල්ටවත් නාමල්ටවත් ඇති ජාතිකත්වයක් නැහැ. නාමල්ට වැඩි කල් යන්න පෙර ඉහළ තනතුරක් ලැබේවි ද?  ඇතැම් සිංහල බෞද්ධයනට පරංගි පරගලය සිංහල බෞද්ධ විරෝධී බව එදා තේරුම් ගියේ නැතත් අදවත්  තේරෙන්න ඕන.

 

පරගලය බටහිර හා ඉන්දීය (රෝ ඔත්තු සේවය) සැලසුමක එක් පියවරක් පමණයි. අප තම ඊනියා විප්ලවය පරාජය වූ බව නොපිළිගෙන විවිධ පඬි කතා පවත්වන වමාලා මෙන් නොව පරගලයෙන් සිංහල බෞද්ධයන් යම් පසුබෑමකට ලක් වී ඇති බව  පිළිගන්න ඕන. එහෙත් සිංහල බෞද්ධයන් වමාලා මෙන් පරාජය වී නැහැ. වමාලා පෙනී ඉන්නේ ලොවේ කිසි දා ඇති නොවුණු කිසි දා ඇති නොවන ඊනියා කම්කරු පංති විප්ලවයක් වෙනුවෙන්, මිහිපිට නැති සමාජවාදයක් වෙනුවෙන්.

 

අප පෙනී සිටින්නේ සරල සිංහල බෞද්ධ සමාජයක් වෙනුවෙන්. එහි කිසිම ජනකොටසකට අසාධාරණයක් වන්නේ නැහැ. අපේ එකම අවශ්‍යතාව සිංහල බෞද්ධ සංස්කෘතියට ඓතිහාසික ව  එක්සේත් රාජ්‍යයක හිමී වී තිබුණු විශේෂ තත්වය නැවත ලබා දීම පමණයි. බටහිර සෑම රටක ම, බෙල්ජියමේත් ස්විට්සර්ලන්තයේත්, විශේෂත්වය නොව ආධිපත්‍යය ඇත්තේ යම් ක්‍රිස්තියානි සංස්කෘතියකට. මෙරට පඬියන් ද මූලික වශයෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය පිළිගන්නවා. ඔවුනුත් කැමති නැහැ ඒ ආධිපත්‍යයෙන් රට මුදා ගෙන සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි ආධිපත්‍යය නොව විශේෂත්වය ලබා දීමට.

 

අද මෙරට අධිකරණය අධ්‍යාපනය ආදී සියල්ලක් ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි. සිංහල බෞද්ධ චින්තනයක් ඉගැන්වීමට විශ්වවිද්‍යාලවල ඉඩක් නැහැ. අධිකරණ සංඝනායක හාමුදුරුවරු අලුත්කඩේ රෝම ලන්දේසි නීතිය පසිඳලන අධිකරණයට වඩින්න ඕන. අප කියන්නේ බටහිර සියල්ල ප්‍රතික්‍ෂෙප කරන්න නො වෙයි. බටහිර දැනුම අපේ සංස්කෘතියට අවශෝෂණය කර බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයෙන් මිදෙන්න. අප මෙටාව (මුහුණු පොත) යොදා ගන්න ඕන. ඒ අපේ දෙයක් සඳහා මිස ඔවුන්ගේ දෙයක් සඳහා නො වෙයි.

 

පරංගි පරගලයෙන් සිංහල බෞද්ධයන් පසුබෑමකට ලක් වෙලා. නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හරවන්නයි බටහිරයන්ගේ හා ඉන්දියාවේ සූදානම. අපි ඒ බව තේරුම් ගෙන ක්‍රියාත්මක වෙමු. ඇතැම් සිංහල බෞද්ධයන් තමන් කළ වරද පිළිගනීවි ද යන්න ප්‍රශ්නයක්.  බටහිරයන් හා ඉන්දියාව ආර්ථික අර්බුදය  ඔවුන් නොමග යැවීමට යොදා ගත්තා. ඒත් රනිල්ට ආර්ථික අර්බුදයට විසඳුම් නැහැ. අද ආණ්ඩුව කරන්නේ ඇස් බැන්දුමක්. අතනින් ටිකක් කපා මෙතැනට දීම පමණයි ආණ්ඩුව කරන්නේ. වැඩි කල් යන්න පෙර ආර්ථක අර්බුදය උග්‍ර වේවි. නොමග ගිය සිංහල බෞද්ධයනට කියන්න වෙන්නෙ නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියා පමණයි. ඒත් පරංගි පරගලය කුමක් සඳහා දැයි මුල සිට ම දත් අපට නම් මගක් තියෙනවා.