Main Logo

Sunday 21 August 2022

ඊනියා ඩයස්පෝරා ඩොලර් අපට ඕන ද?

 

ඊනියා ඩයස්පෝරා ඩොලර් අපට ඕන ද?

 

රනිල්දාස නුගේගොඩ දී කියලා ජනතා නැගිටීමක් සිදුවුණු නමුත් ලබාගත හැකි වූයේ අර්ධ ජයග්‍රහණයක් බවත් එයට හේතු වූයේ හොඳ සටන්කාමී ව්‍යාපාරයකට එයට නායකත්වය දීමට නොහැකි වීම බවත්. ඔය වගේ කතා මාක්ස්වාදීන්ගෙන් විශේෂයෙන් ම ට්‍රොට්ස්කිවාදීන්ගෙන්  දශක ගණනාවක් තිස්සේ අහන්න ලැබිල තියෙනවා. මෙහි දී කිව යුතු කරුණක් නම් ලියොන් ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ දී ජෝසෆ් ස්ටැලින්ගේ ඒජන්තයකු විසින් අයිස් පොරොවකින් පහර දෙනු ලැබ ඝාතනය වී අදට අවුරුදු අසූදෙකක් වන බව. ඔහු ලෙනින් මෙන් නොව මාක්ස්වාදියකු වූවා. ඔහුගේ අසාර්ථක භාවයට මූලික හේතුව එයයි. එහෙත් ඔහු විශිෂ්ට ගණයේ බුද්ධිමතෙක්. අදත් එදත් රුසියාවේවත් චීනයේවත් මාක්ස්වාදී සමාජවාදී රාජ්‍ය තිබුණෙවත් ඇත්තේවත් නැහැ.

 

මාක්ස්වාදීන්ගේ කතාව තමයි ඊනියා විප්ලව අසාර්ථක වන්නේ විප්ලවවාදී නායකත්වයක් නොමැති වීම නිසා බව. ඒත් දැන් අවුරුදු සියයකටත් වැඩි කාලයක් තිස්සේ ඔය කියන විප්ලවවාදී නායකත්වය ගොඩ නගා ගන්න බැරි වෙලා. මාක්ස්වාදීන් පිළිගන්න කැමති නැහැ මාක්ස්වාදය කිසි දිනෙක වැඩ නොකළ දැනුම් පද්ධතියක් බව. එය මොන විධියට සංශෝධනය කළත් හරියන්නෙ නැහැ. 

 

ඒ කෙසේ වෙතත් රනිල්දාස කියන්නේ ඒ කතාව ම නොවෙයි. ඔහු කියන්නේ අර පරගලයට නායකත්වය දීමට හොඳ සටන්කාමී ව්‍යාපාරයකට නොහැකි වූ බවයි. ඔහු එයින් අදහස් කරන්නේ හොඳ සටන්කාමී ව්‍යාපාරයක් වූ  ජ වි පෙරමුණට පරගලයට නායකත්වය දීමට නොහැකි වූ බව ද එසේත් නැත්නම් ජ වි පෙ හොඳ සටන්කාමී ව්‍යාපාරයක් නොවන බව ද කියා පැහැදිලි නැහැ. ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේ දී එය පැහැදිලි කර දෙන්නේ නම් වමාලා සතුටු වේවි.

 

පරගලය පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගත්තා. ඒ එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය ව තිබූ ජයග්‍රහණය. එනම් රාජපක්‍ෂලාගෙන් නන්දිකඩාල් පරාජයේ පළිය ගැනීම. අද මහින්දත් ගෝඨාභයත් ඉවත් කරලා රනිල් ජනාධිපති කරලා. එපමණක් නොවෙයි. රණවිරුවන් ජීවිත කැප කිරීමෙන් ලබා ගත් ජයග්‍රහණ සියල්ල ආපසු හැරවීමට සූදානම්. අර ඊනියා දෙමළ ඩයස්පෝරාව රනිල්ට තොණ්ඩුව දාලා.

 

ඔවුන් තොණ්ඩුව දාලා කිවුවත් තොණ්ඩුවේ අනෙක් කෙළවර ඇත්තේ එංගලන්තයේ. එංගලන්තය තමයි එදත් අදත් ඇතැම් විට ඉන්දියාවේ ද සහාය ලබමින් මෙරට සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ජාතිවාදය මෙහෙයවන්නේ. මෙරට ඉන්න විද්වතුන් බුද්ධිමතුන් උගතුන් කලාකරුවන් ආදී එකී නොකී ප්‍රබුද්ධයන් ඒ කතාව පිළිගන්නේ නැති බව මා දන්නවා. මෙරට දෙමළ ජනකොටස්වලට තමන් දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයක් නැහැ. එහෙත් එංගලන්තයට ප්‍රශ්නයක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂ තැන අහිමි කිරීම. නිකමට බලමුද එංගලන්තයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය නැති කිරීමට. අද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝකයේ හැම තෑන ම තියෙනවා. චීනයේත් රුසියාවේත් තියෙනවා. පුටින් ක්‍රියා කරන්නේ ඒ පරාජය කිරීමට.  රුසියාව චීනය හා ඉන්දියාව එක් වන්නේ නම් ඒ පරාජය කළ හැකියි.

 

ඊනියා දෙමළ ඩයස්පෝරාව අපට ඩොලර් දෙන්න සූදානම්ලු. ඔවුන්ට පුදුම දේශප්‍රේමයක් ඇති වෙලා. මෙරට ඇතැම් පඬි නැට්ටන්ටත් ඊනියා දෙමළ ඩයස්පෝරාවට කැමැත්තක් ඇති වෙලා. එක් පඬි නැට්ටකු කියා තිබුණා නලින් ද සිල්වා එපා ඊනියා දෙමළ ඩයස්පෝරාව පිළිගන්න සූදානම් කියා. ඒකත් හොඳ තත්වයක්. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මට ප්‍රශ්නය ඊනියා දෙමළ ඩයස්පෝරාව අපට ඩොලර් දීමට පනවන කොන්දේසි.

 

දැනටමත් ආණ්ඩුව දෙමළ ජාතිවාදී සංවිධාන හයක තහනම ඉවත් කරලා. පුද්ගලයන් සමූහයක් නිදහස් කරලා. ඊනියා දෙමළ ඩයස්පෝරාව මගින් එංගලන්තය තවත් සංවිධානවල තහනම ඉවත් කරන ලෙසත් තවත් පුද්ගලයන් නිදහස් කරන ලෙසත් ඉල්ලනවා. රනිල් තම හිතවතුන් උතුරු හා නැගනහිර පළාත්වල ආණ්ඩුකාරයන් ලෙස පත් කරන්න යන්නේ නාගදීපයට හා සේරුවිලට වන්දනාවේ යෑමට නො වෙයි.

 

ඊනියා දෙමළ ඩයස්පෝරාවට කොළඹ කාර්යාලයක් විවෘත කරන්න යනවා. එය දැන් ශ්‍රී ලාංකික ඩයස්පෝරාවලු. කාට කියන්න ද? අර නිමලන් විශ්වනාදන් කියා තිබුණ ඔවුන් කොටින්ට හා පරංගි පරගලයට මුදල් දුන් බව. එය සුළුපටු ප්‍රකාශයක් නො වෙයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරන්න ඕන. ඒක එහෙම නොවන්නේ ඇයි? ඔහු විජයදාස රාජපක්‍ෂ මගින් රනිල් වික්‍රමසිංහ හමු වුණා ය කියනවා. ඔහු කියන්නේ ඇත්තක් ද කියා මා දන්නේ නැහැ. එහෙත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම අවශ්‍යයයි. මෙහි දී විජයදාස රාජපක්‍ෂගේ භූමිකාව මොකක් ද?

 

දැන් වාර්තා වෙන විධියට ඊනියා දෙමළ ඩයස්පෝරාව කියනවා ඩොලර් දෙන්න නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියා. එය එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් දශක ගණනාවක් තිස්සේ කරන ඉල්ලීමක්. තමන් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වීමට අදහස් කරන්නේ නැත්නම් එකී පනත ඔවුන්ට ප්‍රශ්නයක් නොවිය යුතුයි. එංගලන්තය තිබෙන තාක්, එහෙමත් නැත්නම් එංගලන්තයේ සිංහල විරෝධී ආකල්ප තිබෙන තාක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍යයයි. එහි දෙමළ ත්‍රස්තවාදයට ඉඩක් නොලැබෙන පරිදි සුළු සුළු සංශෝධන කළාට කමක් නැහැ. 

 

ඊනියා දෙමළ ඩයස්පෝරාවට මෙරට ආයෝජනය කිරීමට අවශ්‍ය නම් ආයෝජන මණ්ඩලය යටතේ දේශපාලන ඉල්ලීම් නැතිව එය කරන්න පුළුවන්. එංගලන්තය අපට ඊනියා දෙමළ ඩයස්පෝරාව මගින් විශාල මුදලක් දෙන්නේ නැහැ. එහෙත් ඩොලර් සොච්චමක් දී දෙමළ ජාතිවාදය වර්ධනය කිරීම සඳහා කෙන්දේසි රාශියක් පනවනවා.

 

සිංහලයන්ට අවශ්‍ය ඩොලර් සොච්චමකට රට පාවා දීමට ද? රණවිරුවන්ගේ කැප කිරීම් නොසලකා හැරීමට ද? අපට කියන්න ඇත්තේ ඊනියා දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් අපට එපා යන්න පමණයි. මනා කළමනාකරණයකින්, යම් කැප කිරීමකින් හා යැපුම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් අනුගමනය කිරීමෙන් අපට ආර්ථික අර්බුදය ජයගන්න පුළුවන්. අපේ අධිපරිභෝජනයට පළමුවෙන් තිත තියමු.