Main Logo

Saturday 6 August 2022

රනිල්ගෙ කාර්යභාරය අවසන්

 

රනිල්ගෙ කාර්යභාරය අවසන්

 

මා හිතන්නේ දැන් රනිල්ගේ කාර්යභාරය අවසන් කියා. ඔහු ජනාධිපති කරනු ලැබුයේ බටහිරයන් හා ඉන්දියාව විසින්. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ ගෝඨාභය හා මහින්ද ඉවත් කිරීමට. ඒ සඳහා ඔවුන් කාලයක සිට සැලසුම් කළා. ඔවුන්ට හැකි වුණා වමාලා දකුණාලා හා තවත් පඬි නැට්ටන් ගෝඨාභය ඉවත් කිරීමේ කාර්යයට යොදා ගැනීමට. බැසිල් ඉවත් කරන්න ගිය විමල්ලා ද එයට දායක වුණා. ඔවුන්ට ඒ පාප කර්මයෙන් මිදෙන්න බැහැ. එයට පසුව සෙප්පන් ද එකතු වුණා. මා දැක්කා ඕස්ත්‍රේලියානු රටවැසි ගුණරත්නම් කියා තියෙනවා රනිල් ඉවත් කරන තුරු පරගලය අත්හරින්නේ නැහැ කියා.

 

ඔවුන්ට රනිල්ට තරම්වත් ඡන්ද නැහැ. ඒත් ඕස්ත්‍රේලියානුවන් ඇතුළු බටහිරයන් ගුණරත්නම් ජනාධිපති කිරීමට ඉදිරිපත් වෙන එකක් නැහැ. යම් අයුරකින් ඔහු හිරභාරයට ගැණුනොත් නම් ඕස්ත්‍රේලියාව තම රටවැසියා වෙනුවෙන් ඉදිරිපත් වේවි. ඒත් මා හිතන්නේ නැහැ ඔහු අත් අඩංගුවට ගැනේවි කියා. ඔහුට කිසිම සංවිධාන ශක්තියක් නැහැ. ඔහුට කළ හැකි ඉටිගෙඩියක් නැහැ. අන්තරේ මෙහෙයවන එක මහා කාරියක් නො වෙයි. ඒ සඳහා අවශ්‍ය රැඩිකල් සටන්පාඨ පමණයි.

 

රනිල් ජනාධිපති වීමෙන් පසු පරගලය නවතින්න තිබුණෙ. බිරියානි වටලප්පම් නැවතිලා තරමක් කල්. ආතල්හම සරසවි මඬුවට මොක ද වුණෙ. අර පුස්තකාලය වෙන කොහාටවත් ගෙනිච්ච ද? සෙප්පන්ගේ අවශ්‍යතාවට තමයි ඊට පස්සෙ පරගලය ඇදගෙන එනු ලැබුවෙ. රනිල්ට පරගලය පරාද කරන්න සිද්ධ වුණෙ සෙප්පන්ගෙ මෝඩකම් නිසා. ඒ සම්බන්ධයෙන් බටහිරයන් හා රනිල් අතර තිබූ නෝක්කාඩුව දැන් අවසන්. බටහිරයන්ට පෙන්නන්න ඕන වුණා තමන් මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදී ද කියා. දැන් ඒ සියල්ල ඉවරයි. පොඩි වැඩක් ද එංගලන්තයේ රැජනත් රනිල්ට සුබ පතලා. මෛත්‍රිපාලට අර අත්වැසුම් නැතුව අතට අත දුන්න එක මතක් වෙනවා ඇති.

 

රනිල් සර්වපාක්‍ෂික ගුලිය ටිකක් කල් අඹරාවි. සෝබන කතා කියාවි. මා හිතා හිටියේ ජූලි මාසෙ සති තුනක් තමයි රටට අමාරු ම කියල. දැන් බලන කොට එහෙම නොවෙයි. තව මාස හයක් ඉස්සරහටලු අමාරුම කාලය. රනිලුත් කියනව ක්‍රමය වෙනස් කරන්න ඕන කියල. ඒකීය රාජ්‍යය වෙනස් කරල සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැන නො දීම ද ඔහු කරන වෙනස. ඔහු දැනටමත් කියන්නෙ විදේශවල ඉන්න දෙමළ කතාකරන අයගෙ ආධාරයත් රට සංවර්ධනය කරන්න ගන්න. ඔවුන් නිකම් ආධාර කරන එකක් නැහැ. ඒ සඳහා ඔවුන් කොන්දේසි පනවාවි.

 

රනිල් අවුරුදු පනහක් පමණ පාර්ලිමේන්තු දේශපාලනය කරල තියෙනවා. ඒ කියන්නෙ නිදහසෙන් පස්සෙ අවුරුදු හැත්තෑපහෙන් තුනෙන් දෙකක්. ඒ කාලයෙ ඔහු කරල තියෙන්නෙ මොනවා ද? ඔහු හිටපු ආණ්ඩු රට කොයි තරම් ලෝකෙට ණය කරල තියෙනවා ද? අදත් ඔහු කතා කරන්නෙ ණය ගන්න. ජාමූලට යන්න. ජාමූල කොන්දේසි ලෙහෙසි වෙන එකක් නැහැ. රනිල් ඒ කොන්දේසි ඉටු කරල 2024 දි ජනාධිපති ඡන්දෙ දිනන එකක් නැහැ. හැබැයි ඉතින් ජනාධිපති වෙන්න ඡන්ද දිනන්න ම ඕන නැති බව රනිල් දන්නවා.

 

මා දැක්ක මහා විද්‍යාඥයෙක් අහල තිබුණ ජාමූල යන්නෙ නැතිව විකල්පය මොකක් ද කියල. විකල්ප තියෙනවා. ඉතා ම අඩු කරදරයකින් කරන්න පුළුවන් දේ තමයි රුසියාවෙන් තෙල් ගන්න එක. ඒකට බටහිරයන් හා ඇතැම් කොමිස් කාක්කන් කැමති වෙන එකක් නැහැ. බලමු රනිල් එය කරාවි ද කියා. ඒ විකල්පය යොදා ගත්තත් අපට හොඳක් වෙන එකක් නැහැ. අපි ණය වීම හරි හිඟමනට වැටීම හරි තමයි සිද්ධ වෙන්නෙ.

 

මහා විද්‍යාඥයන් කොතරම් අකමැති වුණත් අපට ඇති හොඳ ම විකල්පය තමයි අනුරාධපුරයට ආපසු යැම. ඒ අර සුවාදීනයන් කිවුව වගේ බරකරත්තයෙන් නො වෙයි. ආකල්පමය වශයෙන්. සරල ප්‍රෞඪ ජීවිතයකට ආපසු යෑම. හැකි තාක් අඩුවෙන් තෙල් යොදා ගැනීම. අධිපරිභෝජනය නතර කිරීම. බොරු ෂෝක් නැති කිරීම. බොරු උගත්කමට තැනක් නො දීම. උසස් පෙළ ඒ සාමාර්ථ තුනෙන් හරි උපාධියේ ප්‍රථම පංතියෙන් හරි ආචාර්ය උපාධියෙන් හරි මිනිසුන් නොමැනීම. සමහරුන්ට නම් මහාචාර්ය උපාධිත් තියෙනවා!

 

අපේ අධ්‍යාපනය වැටිල තියෙන තැන තමයි අපි පරගලයෙනුත් දැක්කෙ. අපි කරල තියෙන්නෙ හිතන්න බැරි අය බිහි කිරීම පමණයි. මෙරට උගතුන් බුද්ධිමතුන් බිහිකරල තියෙන සංකල්ප ප්‍රවාද මොනවා ද? ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ඇත්තේ කොහේ ද? මා අවුරුදු හැටක් පමණ උගතුන් බුද්ධිමතුන් ඇසුරු කර තියෙනවා. මා උගතකු හරි බුදධිමතකු හරි නොවීම ගැන මට ඇත්තේ සතුටක්.

 

රනිල්ගේ කාර්යභාරය අවසන්. ඔහුට නියම වෙලා තිබුණෙ ගෝඨාභය ඉවත් කිරීම හා පරගලය අවසන් කිරීම පමණයි. ඔහුට ණය ගන්න පුළුවන් කියා සමහරු හිතන් හිටියා. ඊනියා ජාත්‍යන්තරය එක්ක කතා කරන්න දන්නෙ ඔහු පමණයි කියාත් සමහරු කිවුව. ඔය ඊනියා ජාත්‍යන්තරය කියන්නෙ බටහිර රටවලට හා ජපානයට. ඔහුට අද එතරම් ණයක් ගන්න බැහැ. ජාමූල ණය දෙන්නෙ එල්ලෙන්න වැළක් එක්ක. රනිල්ට රට සංවර්ධනය කරන්න වෙන්නෙ ජාමූල කියන විධියට. රනිල් කවදා වෙන කම් ජනාධිපති වෙලා ඉඳීවි ද කියල මට කියන්න බැහැ. ක්‍රමයට විකල්පයක් මහා විද්‍යාඥයන්ට නැතුව වගේ ම දැනට රනිල්ට විකල්පයකුත් නැහැ. රනිල්ට කරන්න පුළුවන් සංවර්ධනයකුත් නැහැ. බැසිල්  නාමල් ඩලස් ආදීන් ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි.